Uncategorized

සබීතාගෙන් කවදාවත් ජයලලිතා කෙනෙක් බලාපොරොත්තු වෙන්න එපා – සුරූපී ප්‍රවීණ නිලි සබීතා

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ ජනප්‍රිය සම්මානනීය වගේම ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි සබීතා පෙරේරා කියලා කියන්නේ. කොහොම නමුත් ඇය වර්තමානයේ වැඩිය කළා නිර්මාණ සඳහා රංගනයෙන් දායක නොවුනත් ඉතාම ප්‍රශස්ත මට්ටමේ සිනමා නිර්මාණ රසවිඳීන ප්‍රේක්ෂිකාවක් විදිහට අපිට හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් මේ වසරේ එළිදැක්වුණු තෙලෙවි නම් චිත්‍රපටය දෙමළ, හින්දි සහ තෙලිඟු යන භාෂා ත්‍රිත්වයෙන්ම නිර්මාණය කරලා තියෙනවා. තෙලෙවි යන දෙමළ වචනයෙහි අ‍ර්ථය නායිකාව යන්නයි. මේ කතාව ඔවුන්ගේ හදවතේ ජීවත් වුණු නායිකාවක් ගැනයි. ඉන්දියාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් සහ දේශපාලනික නායිකාවක් ලෙස ප්‍රකට ජයලලිතා ජයරාම්ගේ ජීවිත කතාව අලළා සැකසුණු මේ චිත්‍රපටි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ඒ.එල්. විජයි විසිනි. ජයලලිතා ජයරාම්ව හඳුන්වන්නේ 60 දශකයේ දකුණු ඉන්දියානු සිනමාවේ නිළි රැජන ලෙසයි. ඉතින් මේ වසරේ එළිදැක්වුණු තෙලෙවි නම් චිත්‍රපටය ගැන මෙරට සිනමාවේ දක්ෂ රංගන ශිල්පිනියක් වන සබීතා පෙරේරා පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් පවසලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

තෙලෙවි කියන්නේ දෙමළ භාෂාවෙන් නායිකාව කියන අර්ථය. ඉන්දියාවෙ හිටපු එක් ජනතා නායිකාවකගේ ජීවිත කතාව තමයි මේ චිත්‍රපටයෙන් නිරූපණය වෙන්නේ. ඒ වෙන කවුරුත් නෙමෙයි ජයලලිතා ජයරාම්. ජයලලිතා ගැන සහ ඇගේ දේශපාලනය ගැන අපි හැමෝම අහලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් දන්නේ ඇය 60 දශකයේ ඉන්දියාවේ දෙමළ සිනමා රැජින, ඇය එම්.ජී.ආර් සමඟ රඟපෑවා, පසුව දේශපාලනයට ආවා වගේ මූලික දේවල් ටිකක්. නමුත් ඉන් ඔබ්බට ඇගේ ජීවිතය ගැන මේ චිත්‍රපටය හරහා දැනගත්තා සහ ඇය ගැන හිතපු සමහර දේවල් වෙනස් වුණා. කවුරුත් බලාපොරොත්තු වුණේ නැති ජයලලිතා කෙනෙක් තමයි අපි මේ තුළින් දකින්නේ. තෙලෙවි චිත්‍රපටය බැලුවට පසුව මට කාන්තාවක් විදිහට තවත් ගැහැනියක් ගැන ආඩම්බර හිතුණ චිත්‍රපටයක් මේක.

තෙලෙවි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ඒ.එල්. විජයි කියන අධ්‍යක්ෂවරයා. චිත්‍රපටයේ වැඩිපුරම තියෙන්නේ ජයලලිතාගේ සිනමා ජීවිතය ගැන. මමත් සිනමා නිළියක් නිසා චිත්‍රපටයේ තියෙන හැමදේම හරි හුරුපුරුදුයි. හැම රංගන ශිල්පියෙකුටම ශිල්පිනියකටම අපේම දෙයක් කියලා තේරෙන්නේ. චිත්‍රාගාරවල රූගත කිරීම්, ජයලලිතාගේ සහ එම්.ජී.ආර්ගේ සබඳතාව ගොඩනැඟෙන හැටි ඇය දේශපාලනයට යන හැටි, විශේෂයෙන් දකුණු ඉන්දියාවේ දේශපාලනය ගැන පුදුම ලස්සනට හරිම සිනමාත්මකව අධ්‍යක්ෂවරයා චිත්‍රපටය තුළින් කතා කරනවා. හරියටම සිනමාව කියන එකට උදාහරණයක් විදිහට මේ චිත්‍රපටය පෙන්වන්න පුළුවන්. සිනමාව කියන්නේ ප්‍රේක්ෂකයා දකින දේ තුළ ඔවුන්ව ජීවත් කරවන්න පුළුවන් එකට.

රංගන ශිල්පියො විදිහට අපි හැමෝටම කතාවක් තියෙනවා. මේ වගේ චිත්‍රපටයක් බලනකොට අපිට ඒක දැනෙනවා වැඩියි. මොකද එතන ඉන්නෙත් රංගන ශිල්පිනියක් සහ රංගන ශිල්පියෙක්. ඒ වගේම ජයලලිතා ඉන්දිරා ගාන්ධි අගමැතිනියව පාර්ලිමේන්තුවේදි මුණගැහිලා ඉංග්‍රීසියෙන් කතාවක් කරනවා. ඒ ජවනිකාව කංගනා ඉතාම ලස්සනට රඟපානවා.

ජයලලිතා ජීවත්වෙලා ඉන්න කාලේ මම ඇය ගැන හොයලා තියෙනවා. ඒ වගේ ඉස්මතු වුණු කාන්තා චරිත ගැන මම කොහොමත් විශේෂ අවධානයක් යොමු කරනවා. ඒත් ඇය ගැන විශේෂ ආදරයක් තිබිලා නැහැ මට. මේ චිත්‍රපටයේදි ඇගේ දේශපාලනයට වඩා ගැහැනියක් ලෙස ඇය නැඟී සිටින ආකාරය තමයි මට ගොඩක් වටින්නේ. ලංකාවේ දේශලාපන තත්ත්වය ගැන ගොඩක් ඉස්සර ඉඳලාම මගේ ඒ තරම් පැහැදීමක් නැහැ. ඒක අද ඊයේ ඉඳලා නෙමෙයි ඉස්සර ඉඳලා තිබුණු අපැහැදීමක්. ඒ නිසා සබීතාගෙන් කවදාවත් කාටවත් ජයලලිතා කෙනෙක් බලාගන්න බැරි වෙයි.