Paper Article

මම කැමතියි චරිතයක් වෙනුවෙන් මගේ ඇඟේ හැඩය පවා වෙනස් කර ගන්න – චූලාක්ෂි රණතුංග

චූලාක්ෂි රණතුංග කිව්වම අපිට මතක් වෙන්නේ සිනමාවේ පෙරළියක් සිදු කරමින් මෑතකදී විකාශය වු ගිනිමල් පොකුරු සිනමාපටයයි. වැඩිහිටියන්ට පමණයි ගණයට අයත් වන එම සිනමා පටය සඳහා අග්‍රගන්‍ය රංගන දායකත්වයක් ලබා දුන් ඇය බොහෝ රසික රසිකාවියන්ගේ ආදරය සහ ආකර්ෂණය දිනා ගනිමින් සිටිනවා. මින් පෙර දේදුනු ආකාසේ චිත්‍රපටය තුළින් අපට ඇයව දැක ගන්නට පුළුවන් වුණා. ඉතින් පසුගිය දිනකදී ඇය එක් වූ එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්චාවකදී ඇයගේ නවතම තොරතුරු රසිකයා සමඟ බෙදා ගත්තේ මේ විදිහට.

“මේ දවස් වල ප්‍රියන්ත කොළඹගේ මහතාගේ මන්දාරා චිත්‍රපටයේ ඩබින් කරගෙන යනවා. මන්දාරා කියන්නේ මගේ සිනමා රංගනය තවත් අලුත් කරන සිනමා නිර්මාණයක් වෙයි. ඒ එක්කම තව ඉදිරියේදී රූපගත කිරීම් ආරම්භ කරන්න නියමිත සිනමාපටයක චරිතය වෙනුවෙන් පෙර සූදානම් කටයුතු කරගෙන ඉන්නවා. ලැබෙන හැම නිර්මාණයක්ම මම බාරගන්නෙ නැහැ. බොහෝ නිර්මාණවලට මට ආරාධනා නම් ලැබුණා. තෝරා බේරාගැනීමේදී චරිතය ලොකුද පොඩිද කියන දේ මට වැදගත් වෙන්නෙ නැහැ. ඒ තුළ මට දෙයක් රූපණය කරන්න පුළුවන් නම් ඒක තමයි මගේ තෝරා ගැනීම වෙන්නේ. ඒකාකාරී චරිතවලට මම කැමැති නැහැ.

මම කරපු නිර්මාණ සියල්ල ගැන මට තෘප්තියක් තියෙනවා. නමුත් ලැබෙන ආරාධනා ගැන තෘප්තිය ගැන අපේ රටේ මේ මොහොතේ පවතින සිනමා කර්මාන්තයේ තත්ත්වය එක්ක නැහැ කියන්න බැහැ. මම ඉන්නේ වතුර වගේ. විවිධ භාජනවලට මාව දැම්මම ඒ හැඩය මගෙන් ලබා ගන්න පුළුවන් රංගන ශිල්පිනියක්. මම කැමතියි චරිතයක් වෙනුවෙන් මගේ ශරීරයේ හැඩය පවා වෙනස් කර ගන්න. ඒ නිසා මම කැමතියි තවදුරටත් විවිධ වූ හැඩයේ චරිත මට ලැබෙනවට. මොකද මම මේ ගමන යන්නේ ලොකු ගෝල් එකක් එක්ක.”

මේ විදියට තමයි ඇය කියලා තිබුණෙ. ඉතින් මේ ආදරණීය රංගන ශිල්පිනියගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.