Paper Article

ළඟදීම දරු සුරතල් බලන්න ආසාවෙන් මායි මහත්තයයි දෙන්නම ඉන්නේ-ජනප්‍රිය සුරූපී නිලි සිනෙති අකිලා

අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන දක්ෂ ජනප්‍රිය සුන්දර රංගන ශිල්පිනියක් තමයි සිනෙති අකිලා කියලා කියන්නේ. ඇය පහුගිය කාලයේ යුග දිවියට පිවිසුණා කියලත් මේ වනවිට නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් ඒ වගේම ලංකාවේ ඉන්න දැවැන්ත සිනමාකරුවකු වන සෝමරත්න දිසානායකගේ සිරි පැරකුම් චිත්‍රපටයේ කලු එතනාගේ චරිතයෙන් තමයි ඇය සිනමා ක්ෂේත්‍රයට පය තබන්නේ. ඊට පස්සේ සරිගම චිත්‍රපටයේ ඕලු ලෙසටත්, රන් සයුර චිත්‍රපටයේ සදලිගේ චරිතයෙනුත්, සේයා චිත්‍රපටයේ මාලිගේ චරිතයෙනුත් ඇය ප්‍රේක්ෂකයන් අතරට ආවා. කොහොම නමුත් මේ දිනවල මෙට්‍රෝ හීන ටෙලිනාට්‍යයේ සදලිගේ චරිතයෙන් ප්‍රේක්ෂකයින් හමුවට එන ඇය ඇයගේ අලුත්ම තොරතුරු ගැන පහුගිය දවසක පුවත්පතක් සමඟ කතා බහ කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

ඇත්තටම විවාහයෙන් පස්සේ මම කලාවෙන් ඈත් වුණා නෙමෙයි, විවාහ වෙනවාත් එක්කම තමයි කොරෝනා වසංගතය ලංකාවට බලපෑවේ. කොරෝනා වසංගත තත්වය එක්ක වැඩ ගොඩක් අඩු වුණා. කරන්න හිටපු වැඩ නතර වුණා. වැඩ නොකර හිටියේ නැහැ. කඩින් කඩ කලා කටයුතුවලට දායක වුණා. කරපු වැඩ, චිත්‍රපට, ටෙලිනාට්‍ය ගොඩක් ඉස්සරහට එන්න තියෙනවා.

ඇත්තටම වැඩිපුරම චිත්‍රපටිවලට තමයි මූලික තැන දෙන්නේ. හොඳ චරිතයක් ලැබුණොත් ටෙලිනාට්‍ය කරනවා. මෙගා නාට්‍යවලට නම් මගේ ලොකු කැමැත්තක් නැහැ. කොටස් අඩු නාට්‍යවලට නම් හොඳ චරිත ලැබුණොත් මම දායක වෙනවා. දැනටත් ටෙලිනාට්‍ය කිහිපයක්ම කරලා තියෙනවා. ඒවා ඉතින් කොයි කවදා විකාශනය වේවි ද කියලා නම් දන්නේ නැහැ. මට ගොඩක් ආරාධනා ලැබෙන්නේ සිනමා නිර්මාණවලට. ඉදිරියටත් කරපු චිත්‍රපට හතරක් තිරගත වෙන්න තියෙනවා.

මම කරපු හැම චරිතයකටම ආදරෙයි. සිරි පැරකුම් චිත්‍රපටයේ කළු එතනාගේ චරිතයටයි, සරිගම චිත්‍රපටයේ ඕලුගේ චරිතයටයි මම ගොඩක් ආදරෙයි. ඒ චරිත දෙක කලාව තුළ මට හොඳ අත්තිවාරමක් වුණා. ඉතින් ඒ වගේම කාලෙකට පස්සේ මෙට්‍රෝ හීන ටෙලිනාට්‍යය එක්ක සඳලි කියන චරිතයට හිතුවාටත් වඩා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම කොහොමත් ෆැන්ටසි චරිතවලට කැමැති නැහැ. අභියෝග තියෙන චරිතවලට මම හරිම කැමැතියි.

මෙට්‍රෝ හීන ටෙලිනාට්‍යයේ පිටපත අතට ගත්තාම සඳලිගේ චරිතය මගේ පපුවටම වැදුණා. මම මීට කලින් කරලා තියෙන්නේ පොඩි ළමයින්ගේ, අවුරුදු 16, 17 වයස්වල ළමයින්ගේ චරිත. සඳලි කියන්නේ අම්මා නැති ගෙදර මල්ලිට අම්මා කෙනෙක් වෙන අක්කෙකුගේ චරිතයක්. සඳලි කියන්නේ සමබරව හැමදේම දරාගෙන හැම ප්‍රශ්නයකට මුහුණ දෙන දිරිය කාන්තාවක්. විශේෂයෙන් සජිත ඇන්තනී අයියා මතක් කරනවා. මම ඔහු එක්ක රඟපාන පළමු අවස්ථාව. මේ චරිතය සාර්ථක කරගන්න ඔහුගෙන් මට විශාල සහයෝගයක් ලැබෙනවා.

සිනමාව තමයි මගේ ජීවිතයට බලාපොරොත්තු ගොඩක් ගෙනාවේ. අදටත් මට ඕනෑ හොඳ සිනමා නිළියක් වෙන්න. ඒ කියන්නේ ටෙලිනාට්‍යවලට අකැමැතියි කියන එක නෙමෙයි. හොඳ චරිතයක් ලැබුණොත් මම භාර ගන්නවා.

කළු එතනාගේ චරිතයෙන් ආපු කාලේ මම හරිම ආඩම්බරයි කියලා ගොඩක් අය කිව්වා. කළු එතනා ආඩම්බර වුණාට සිනෙති කවදාවත් ආඩම්බර වෙලා නැහැ. ඇත්තටම මම මේ ජනප්‍රියත්වය සොයාගෙන ආපු ගමනක් නෙමෙයි. ටෙලිනාට්‍ය පැත්තෙන් ගොඩක් වැඩ කළා නම් ප්‍රේක්ෂකයන් අතර මීට වඩා ජනප්‍රිය වෙන්න තිබුණා. ඒත් මට එහෙම ජනප්‍රිය වෙන්න වුවමනාවක් එදා තිබුණෙත් නැහැ. ඉදිරියටත් නැහැ. හෙමින් ගමන ඇඟට හොඳයි. කළු එතනාගේ චරිතයෙන් පටන් ගත්ත මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මගේ අඩුපාඩු හදාගත්තා. තාමත් මම ඉගෙන ගනිමින් තමයි මේ ගමන යන්නේ.

ඇත්තටම මගේ පවුල් ජීවිතේ හොඳින් ගෙවිලා යනවා. විවාහ වුණු අලුතම රටේ තත්වය නිසා ඇඳිරිනීතිය දැම්මානේ. ඒ තත්වයත් එක්ක අපිට එකට ඉන්න අවස්ථාව ලැබුණා. අපි දෙන්නා ඉතින් හරිම සතුටෙන් ජොලියෙන් ජීවත් වෙන දෙන්නෙක්.

ආදරය කරන කාලෙදිවත් සැමියා මට රඟපාන්න එපා කියලා තහංචි දාලා නැහැ. මට එයාව මුණගැහෙනෙත් සිරි පැරකුම් චිත්‍රපටයේ කළු එතනාගේ චරිතය වෙනුවෙන් ඇග හදාගන්න ජිම් එකට ගිය වෙලාවෙි අකිල අයියලා හරහා. ඔහු කවදාවත් මාව නීති රාමුවක් ඇතුළේ කොටු කරලා නැහැ. ඔහු මගේ කලා කටයුතුවලට උපරිම නිදහස දීලා තියෙන්නේ. ඒ වගේම ඔහු මගේ වැඩවලට විශාල සහයෝගයක් දෙනවා. විවාහයෙන් පස්සේ කොහොමත් මගේ ජීවිතේ පළමු තැන දුන්නේ මගේ පවුලට. විවාහ වෙන්න කලින් මම ගුවන්විදුලි සංස්ථාවේ සේවය කළා. එතැනින් පස්සේ රැකියාවට සමු දුන්නා. මොකද මගේ සැමියාගේ අම්මායි තාත්තයි දෙන්නාම නැහැ. මම එයාගේ ළඟින්ම ඉන්න ඕනෑ කියලා හිතුවා. විවාහයෙන් පසසේ ජීවිතේ ලොකු කාලයක් කැප කළේ මම එයා වෙනුවෙන්. දැන් විවාහ වෙලා අවුරුදු 2ක් වෙනවා.

ඇත්තටම දැන් දරු සුරතල් බලන්න ආසාවෙන් අපි දෙන්නත් මේ ඉන්නේ. ඉතින් කල් අරින්නේ නැතුව මව් පදවිය ලබන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලයි මේ දක්ෂ සුරූපී රංගන ශිල්පිනිය අවසාන වශයෙන් පවසලා තිබුනේ.