Paper Article

හිටපු ප්‍රේමවන්තයා මියගිය ඒ ප්‍රේමය හිතේ තියාගෙන තවමත් ළතැවෙනවා-ජනප්‍රිය නිලි ශලනි තාරකා

රූපවාහිනිය මෙන්ම සිනමාවද ජයගත් අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියලා කියන්නේ. සිරස කුමරිය ලෙසින් කිරුළු පැලඳ රංගනයට ආ ඇය වසර 24කට පසු හොඳම සහ ජනප්‍රියම නිළිය යන සම්මාන දෙකම එකම වේදිකාවකදී ලබා ගන්නටත් වාසනාවන්ත වුණා. ඉතින් ඒ වගේම මේ දිනවල සිරස නාළිකාවේ විකාශය වන කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයේ ස්නේහාගේ චරිතය සහ ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන චලෝ ටෙලිනාට්‍යයේ චලෝගේ චරිතය යන චරිත දෙක හරහා අපට ඇයව දැකගන්න ලැබෙනවා. ඉතින් මේ සුන්දර රංගන ශිල්පිනිය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් ඇයගේ අලුත්ම තොරතුරු මෙන්න මේ විදිහටයි කතා බහ කරලා තිබුනේ.

මේ අවුරුද්දේ මම අනිත් අවුරුදුවලට වඩා ටිකක් කාර්යබහුල වුණා. වැඩ වැඩි වුණා. මම මටම කියලා ගෙයක් ගත්තා. තමන්ටම කියලා ගෙයක් ගන්න එක හැම කෙනාගෙම හීනයක්. කාලයක් තිස්සේ ඒ හීනය හැබෑ කරගන්න මහන්සි වුණා.

කාලයකට පසුව මට මගේ චරිතයට යම් මට්ටමකට සමාන චරිතයක් ලැබුණා. ඒ කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයේ ස්නේහාගේ චරිතය. ස්නේහාගේ චරිතය යම්තාක් දුරට මගේ චරිතයට සමානයි. සමහර ජවනිකා මට රඟපාන්න ලේසියි. සිදුවීම් වෙනස් වුණාට ඒ හැඟීම් දන්න නිසා මට පහසුයි ඒ චරිතය ගොඩනඟන්න. හිටපු ප්‍රේමවන්තයා මියගිය ඒ ප්‍රේමය හිතේ තියාගෙන තවමත් ළතැවෙන තරුණියක් ස්නේහා කියන්නේ. මගේ ජීවිතේ වුණු යම් යම් සිදුවීම් නිසා ඒක මටත් සමීපයි. නමුත් සිදුවීම් වෙනස්. ඒ නිසා මට ස්නේහාව ටිකක් ළඟයි. ඒත් මම එකම දෙයක එළඹගෙන කාලය වැය කරන කෙනෙක් නෙමෙයි. ස්නේහා කියන්නේ එකම දෙයක් මත්තෙම වෙහෙසෙන පිරිමින්ට වෛර කරන එක තැන ජීවිතේ රඳවාගෙන එයාගෙන්ම පළිගන්න කෙනෙක්. මම එහෙම නෙමෙයි.

මම ඕනේම වේදනාවකින් පීඩා විඳලා කාලයකට පසු යථාවත් වෙන කෙනෙක්. මම රංගනයේදී ආයෙමත් ආදරවන්තියගේ චරිතයක් කරනවා. පසුගිය කාලේ මට ලැබුණෙම ටිකක් සම්හාව්‍ය ගණයේ චරිත සහ වෙනස් චරිත. මේ ටෙලිනාට්‍යය ඇතුළේ තියෙන ගුප්තම චරිතය තමයි ස්නේහා. ඇත්තටම කිව්වොත් ටෙලිනාට්‍යයේ ඉන්න දුෂ්ඨයන්ටත් වඩා වෙනස් ගුප්ත චරිතයක් ස්නේහා. එයා හරියටම කවුද කියන එක තවම ප්‍රේක්ෂකයන්ට වැටහෙන්නේ නැහැ. මේ ටෙලිනාට්‍යයේ නම කියාදෙන්න ආදරේ තරම් නිසා මම හිතනවා ඇය ආදරේ හොයන ආදරේ දෙන්න කැමති තරුණිය කියලා. ඇය ආදරේ අහිමි වුණු තරුණියක්. ඇය ආදරේට වෛර කරනවා. එහෙත් ස්නේහා ආදරේට ලෝභයි කියලා මම දන්නවා.

ඇත්තටම මට ආදරය ගැන හිතන්න කාලවේලාවත් අවමයි. එහෙම ආදරේ කරනවා නම් ඒ පුද්ගලයා වෙනුවෙන් වෙනම වේලාවක් වෙන් කරන්න ඕනේ. මේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක ඒක ටිකක් අමාරුයි සහ මම විවාහය කියන කාරණාවට ඉක්මන් වෙන්නේ නැහැ. අපේ ජීවිතයට කෙනෙක් එන්න ඉන්නව නම් ඒ කෙනා හරිම වෙලාවට එයි. මටත් ඉරණම්කාරයෙක් කොහෙහරි ඇති. එයා වෙලාවට එයි. ආදරය කරලා විවාහ වෙනවාට වඩා විවාහ වුණාට පසුව ආදරය කරන එක හොඳයි කියලා දැන් හිතනවා.

මිනිහෙක් පරිණත නොවූ කාලයේ පවා යම් කිසි ආකර්ෂණයක් තියෙනවා නම් විතරයි අපි කෙනෙක්ට කැමති වෙන්නේ. කොච්චර හොඳ මිනිස්සු හිටියත් යම්කිසි දෙයකට ආකර්ෂණයක් නැතිනම් අපි ඒ කෙනාට කැමති නැහැ. ඒත් දැන් ඊට වඩා ජීවත් වෙන්න පහසු ලේසි පුද්ගලයාව හොයන්නේ. සමාජ මතයක් තියෙනවා කෙනෙක් නැතුව ජීවත් වෙන්න බැරි නම් ඒ ඒ කෙනාවම කසාද බඳීන්න කියලා. මම ඒක පිළිගන්නේ නැහැ. ජීවත් වෙන්න නැතුව බැරි කෙනා නෙමෙයි, ජීවත් වෙන්න පුළුවන් කෙනා එක්කයි අපි ජීවත් වෙන්න ඕන.

ඇත්තටම එකම සම්මාන උලෙළක හොඳම නිළියට සහ ජනප්‍රියම නිළියට සම්මානනීය වෙනවා කියන එක අහම්බයක්. ඒක පවත්වාගෙන යනවා කියන එක ලොකු අභියෝගයක්. නමුත් ඒ සම්මාන දෙකම හැම අවුරුද්දෙම ගන්න ඕනේ කියලා දෙයක් මට නැහැ. ඇත්තටම මම ජනප්‍රිය නිළිය සම්මානය අත්හැරපු එකක්. පසුගිය අවුරුද්දේ ජනප්‍රියම නිළිය සම්මානය ලැබුණේ මම බලාපොරොත්තු නොවුණු අවස්ථාවකදි. මම හිතනවා ජනප්‍රියම සම්මානය අලුත් අයට ලැබිය යුතු දෙයක් කියලා. ඔවුන්ගේ පාර හදාගන්න ඔවුන්ව මිනිසුන් හඳුනාගන්න ඒ සම්මානය ඔවුන්ට වටිනවා.

ජනප්‍රියම සම්මානය ජනතා ඡන්දවලින් ලැබෙන නිසා ඒ ගැන තීරණය භාර වෙන්නත් ජනතාවටමයි. ඒත් එකම නිළිය එක පිට එක දිගට ජනප්‍රිය සම්මානය ගන්න ඕනෙ කියල නියමයක් නැහැ. ඒත් ලැබිය යුතු නම් ඒ දෙය අනිවාර්යයෙන්ම ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම කොච්චර ජනප්‍රිය සම්මාන අරගත්තත් වැඩක් නැහැ එළියට බැස්සාම මිනිස්සු ඒ කලාකරුවාට ආදරේ නැත්නම්. නමුත් මම උත්සාහ කරනවා හැම වසරේම හොඳම නිළියට නිර්දේශ නාමයන් අතරට යන විදිහට වැඩ කරන්න කියලයි මේ දක්ෂ සුරූපී රංගන ශිල්පිනිය අවසාන වශයෙන් පවසලා තිබුනේ.