Paper Article

හැමෝම කියනවා මට ලස්සනට නටන්න වගේම රඟපාන්නත් පුළුවන් කියලා-පානාමංකඩ නාට්‍යයේ පොඩ්ඩි

අපේ කළා ක්ෂේත්‍රයට අලුතෙන් පායපු පුංචිම පුංචි තරුවක් තමයි තෙනුජි විනාරා කියලා කියන්නේ. සති අන්තයේ ස්වර්ණවාහිනී නාළිකාව ඔස්සේ විකාශනය වන පානාමංකඩ ටෙලි නිර්මාණයේ පොඩ්ඩිගේ චරිතයෙන් ප්‍රේක්ෂක ආදරය දිනා ගත් මේ පුංචි කළා ශිල්පිනිය රංගනයට වගේම නර්තනයටත් උපන් හපන්නියක් කිවුවොත් හරියටම හරි. ඉතින් මේ කළා ක්ෂේත්‍රය තුල සාර්ථක ගමනක් යන මේ පුංචි රංගන ශිල්පිනිය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් ඇයගේ අලුත්ම තොරතුරු කතා බහ කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි. මම මේ දවස්වල අනුරුද්ධ ජයසිංහ මාමගේ පියාඹන මූනිස්සන් ටෙලි නාට්‍යයයේ රූගත කිරීම්වලට සම්බන්ධ වෙලා ඉන්නවා. තව නන්දා මාලනී නැන්දගේ සින්දුවක විෂුවල් එකකට සම්බන්ධ වෙලා ඉන්නවා. වෙළෙඳ දැන්වීම් කිහිපයකටත් සම්බන්ධ වුණා.

පානාමංකඩ නාට්‍යයේ පොඩ්ඩි නිසා මේ දවස්වල මට ගොඩාක් දෙනෙක් කතා කරනවා. එයාලා කියනවා මන් ලස්සනට නටනවා, ලස්සනට රගපානවා කියලා. රූගත කිරීම් කරන ප්‍රදේශවලට ගියාමත් මිනිස්සු හම්බවුණාම මට කියනවා ගොඩක් ආසාවෙන් නාට්‍යය බලනවා කියලා. ලොකු පොඩි හැමෝම වගේ කියනවා පානාමංකඩ හැමදාම බලනවා ගොඩාක් ලස්සනයි කියලා.

මට ලස්සනට නටනවා කියලා නම් හැමෝම වගේ කියනවා. මම දෙරණ ලිට්ල් ස්ටාර් නවවැනි සීසන් එකේ අවසන් වටය දක්වාම ආවා. මම ලිට්ල් ස්ටාර් වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්නකොට මම නර්තනය පුරුදු පුහුණු වුණේ ප්‍රනීත් මුදලිගේ සර් යටතේ. පානාමංකඩ නාට්‍යයට තෝරගන්න වුණත් මට නටන්න පුළුවන් වෙච්ච එක සුදුසුකමක් වුණා. ඒ නිසා ප්‍රනීත් සර්ට ගොඩක් ස්තූතිවන්ත වෙනවා.

මගේ පාසලේ විස්තර ගැන කියද්දි නම් මට පාසල් දෙකක් ගැන කියන්න තියෙනවා. මම එක ශ්‍රේණියේ ඉඳන් දෙක ශ්‍රේණිය වෙනකල් ඉගෙන ගත්තේ ඇහැටුවැව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ. ඊට පස්සෙ මම තුන ශ්‍රේණියේ ඉඳන් මේ දක්වා අධ්‍යාපනය ලබන්නේ යක්කල අනුර ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයෙන්. මම දැන් ඉන්නේ පහ ශ්‍රේණියේ. මගේ පවුලේ ඉන්නේ අම්මයි, අප්පච්චියි, මල්ලියි. මගේ අප්පච්චි චන්දිම කරුණාරන්න. මගේ අම්මා මධුශානි හේරත්. මල්ලි තේජන සයෝන්.

මගේ රංගන වැඩකටයුතුවලට පාසලෙන් අවසර දීලා තියෙනවා. මගේ පන්ති භාර ගුරුතුමියන් අනෙක් ගුරුවරුත් ඉගෙනීම් වැඩකටයුතුවලදී මට ගොඩාක් උදවු කරනවා. මඟ ඇරෙන පාඩම් කියලා දෙනවා. ඒ වගේම යාළුවොත් මට ගොඩාක් උදවු කරනවා. අම්මා තමයි නිතරම මගෙත් එක්කම ඉඳලා මට ගොඩක්ම උදවු කරන්නේ. මාව රූගත කිරීම්වලට එක්කගෙන යන්නේ අම්මා. අප්පච්චිත් පුළුවන් හැම වෙලාවෙම වගේ මාත් එක්ක එනවා. අම්මාත් මම වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා.

පානාමංකඩ රූගත කිරීම් තියෙන දවස්වල නම් මම වෙන නිර්මාණයකට සම්බන්ධ වෙලා හිටියේ නැහැ. ඒ නිසා ගොඩක් වෙලාවට යාළුවන්ගේ උදවු ඇතිව මම පාඩම් වැඩ ටික කරගන්න පුළුවන් වුණා. ෂූටින් නැති දවස්වලට පාඩම් වැඩ කරගන්න එක පහසුවක්.

පොඩ්ඩිව දැන් ගොඩාක් දෙනෙක් අදුරනවා. පොඩ්ඩිට ගොඩාක් දෙනෙක් ආදරේ කරනවා. මොකද පොඩ්ඩි කියන්නෙ ගොඩාක් අහිංසක චරිතයක් නිසා. මටත් ගොඩාක් සතුටුයි පානාමංකඩ නාට්‍යයයේ පොඩ්ඩි වෙන්න ලැබුණ එකට. රංගන අත්දැකීම් ගැන කිව්වොත් පානාමංකඩ කියන්නේ මට රංගන පාසලක් වගේ. රනිල් මාමගේ අධ්‍යක්ෂණය යටතේ මට ගොඩක් දේවල් ඉගෙනගන්න ලැබුණා. ඒ වගේම මේ හරහා ප්‍රවීණ රංගන ශිල්පීන්ට ශිල්පිනියන් ඇසුරු කරන්නත් අවස්ථාව ලැබුණා.

අනාගතයේ මම කවුරු වේවිද, මොනවගේ වෘත්තියක් කරයිද කියලා මට හරියටම කියන්න බැහැ. මගේ ආසාව අධ්‍යාපන කටයුතුත් එක්කම නර්තනය සහ රංගනය හොඳට ඉගෙන ගන්න තමයි. පානාමංකඩ පොඩ්ඩි නිසා මට දැන් ගොඩාක් අය ආදරේ කරනවා. ඉතින් ඒ හැමෝටම මම ගොඩක් ආදරෙයි. පානාමංකඩ ඉවර වෙනකන්ම බලන්න කියලත් ඒ හැමෝටම කියනවා. ඒ වගේම මේ දක්වා මට උදවු උපකාර කරපු සියලුම දෙනාටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා කියලයි මේ පුංචි රංගන ශිල්පිනිය අවසාන වශයෙන් පවසලා තිබුනේ.