Paper Article

හැමවෙලේම පෝස්ට් දානවට වඩා මම කැමතියි ලැබෙන ආදරේ පරිස්සම් කරගන්න-ජනප්‍රිය නිලි සෙනාලි ෆොන්සේකා

මේ දවස් වල අපේ රටේ කවුරුත් ආසාවෙන් නරඹන ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන ටෙලිනාට්‍යයක් තමයි නාඩගම්කාරයෝ කියලා කියන්නේ. ඉතින් ඒ වගේම මේ නාට්‍ය හරහා මේ දවස් වල කා අතරත් ජනප්‍රිය බොහෝ චරිත අතර පාටලී, එහෙමත් නැත්තන් සුදු චූටි කියලා කියන්නෙත් කවුරුත් ආදරය කරන චරිතයක්. ඉතින් ඇය නමින් සෙනාලි ෆොන්සේකා. නිලි රැජිනගේ පරපුරේ තවත් එක් පුරුකක් වන ඇය මේ වනවිට අපේ රටේ කළා ක්ෂේත්‍රය තුල අතිශය ජනාදරයට පත් රංගන ශිල්පිනියක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඇය පහුගිය දවසක රයිගම් ටෙලි සම්මාන උළලේදී ජනප්‍රියම ටෙලිනාට්‍ය නිලියට හිමි සම්මානයත් දිනා ගැනීමට වාසනාවන්ත වුණා. ඉතින් ඒ වගේම පුංචි තිරයට අමතරව අපට ඇයව රිදී තිරයෙනුත් දැකගන්න ලැබුණා. ඒ පහුගිය කාලයේ තිරගත වුනු කබඩි සිනමා පටය හරහායි. ඉතින් මේ සුන්දර රංගන ශිල්පිනිය ඇයගේ අලුත්ම තොරතුරු ගැන පහුගිය දවසක පුවත්පතක් එක්ක කතා බහ කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

නාඩගම්කාරයෝ එක්ක තමයි මේ දිනවල ජිවිතේ ගෙවෙන්නෙ සහ රැහේ ටෙලිනාට්‍යයේ මගේ චරිතය නිමා වෙමින් පවතිනවා. නමුත් ටෙලිනාට්‍යය දිගටම විකාශනය වෙනවා. රැහේ ටෙලිනාට්‍ය ගැන කතා කළොත් මම හිතනවා අපි ලස්සන කතන්දරයක් මිනිස්සු අතරට ගෙනාවා කියලා. රැහේ නිර්මාණය මට විශේෂයි. මොකද මෙය මගේ ලොකු නැන්දිගෙ චිත්‍රපටයක ප්‍රතිනිර්මාණයක් නිසා. හරිම සතුටින් මම නිර්මාණයට දායක වුණෙ. බලාපොරොත්තු වුණාට වඩා ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. සමහර වෙලාවට කාන්තාවන් ඇවිත් කියනවා අපි බලන්නෙ රැහෙ විතරයි කියලා. නාඩගම්කරයෝ ටෙලිනාට්‍ය ගැන කතා කරද්දී ඇත්තටම මට ලොකු ගායන හැකියාවක් නැහැ කියන විශ්වාසයෙන් තමයි මම ඉන්නේ. නමුත් එතන හිටපු පිරිස මාව දිරිමත් කළා. ලස්සනට ගීත ගායනා කරන්න. බොහෝ පිරිසක් කිව්වා මට ගායනා කරන්නට හැකියි කියලා. ඉතින් මම ඒ වෙනුවෙන් පුරුදු පුහුණු වුණා. නර්තනය නම් කුඩා කාලයේ ඉදන්ම පුළුවන් සහ ආසයි.

සරාගෙයි සුදුචුටිගෙයි ආදරෙ කුතුහලයක් තමයි තියෙන්නේ. මාස්ටර්ගෙ ලොකු දුව නීතියෙ හැටියට වැඩ කරන හොඳ දේවල් විශ්වාස කරන කෙනෙක්. ඒ දේවල් එක්ක කසිප්පු කාරයෙක් එක්ක යාළුවෙයිද කියන කුතුහලය ප්‍රේක්ෂකයන්ට තියෙනවා. නමුත් කෙනෙක් කෙරෙහි ආදරයක් ආකර්ෂණයක් ඇති වෙන්න එයා කසිප්පු කාරයෙක්ද හොරෙක්ද කියන එක බලපාන්නෙ නැහැ. ඇත්ත ජීවිතේ වෙන දේවල් තමයි අපි නාඩගම්කාරයෝ හරහා ප්‍රතිනිර්මාණය කරලා තිබෙන්නෙ. මට රංගනය ආරම්භ වුණ දා සිට මේ දක්වා අදටත් නොඅඩුව ප්‍රතිචාර ලැබුණෙ සිරිපැරකුම් චිත්‍රපටයේ චරිතයට. මගේ ප්‍රථම චිත්‍රපටයට ලැබුණ ආකර්ෂණය ආදරය අදටත් මට ලැබෙනවා. එයට නොදවෙනි ලෙස නාඩගම්කාරයොන්ටත් ප්‍රතිචාර ලැබෙනවා.

ඇත්තටම ගොඩක් අය හිතනවා මගෙ ලොකු නැන්දි මාලිනි ෆොන්සේකා නිසා මට රගපාන්නට අවස්ථා බොහොමයක් ලැබෙනවයි කියලා. එහෙම අවස්ථාවක් මට කොහෙත්ම ලැබෙන්නෙ නැහැ. එහෙම මට ලැබෙනවා නම් මම අද මීට වඩා නිර්මාණ සඳහා රංගනයෙන් දායක වෙලා තිබෙන්නට පුළුවන්. මම එහෙම පවුලෙන් වාසි බලාගෙන වැඩ කරන කෙනෙක් නෙමෙයි. ලොකු නැන්දි පවා විශ්වාස කරන දෙයක් තමයි දක්ෂතාවක් තියනවා නම් අනිවාර්යයෙන් එළියට දෙන්න කියන එක. කොපමණ අඳුරන හිතවත්කම් තිබුණත් අධ්‍යක්ෂකවරයා අපි හොඳයි කියලා තීරණය කරනව නම් තමයි අපිව ඒ චරිතයට තෝරා ගන්නේ. ලැබෙන චරිතයට සියයට දෙසීයක් සාධාරණයක් කරන්න තමයි මට අවශ්‍යය. එය තමයි මට අභියෝගාත්මක. මමත් කුඩා කාලයේ ඉඳන් හීන දැක්කා රංගන ශිල්පිනියක් වෙන්න. ඒ වගේම තව ගොඩක් අය ඉන්නවා. අවුරුදු හතක් මම දැන් මේ ක්ෂේත්‍රයට ඇවිත්. බොහෝවිට මම කරපු චරිත ප්‍රේක්ෂකයාගෙ හිතේ නැවතුනා කිව්වොත් මම හරි.

මම ෂූට් එකකට ගියත් කාලා බීලා විනෝද වෙනවා මිසක් එය ඡයාරූපයකට ගන්න මට අමතක වෙනවා. අනික මේක අලුත් තාක්ෂණික යුගයක්. අපි සෝෂල් මීඩියාවල ඉන්නවා වගේම රංගන ශිල්පිනියක් ලෙස අපේ අගයක් තබා ගන්නත් අවශ්‍යයි. මගෙ නැන්දි කියන දෙයක් තියනවා ඒ කාලේ තාක්ෂණය වැඩිපුරම තිබුණෙ නැති නිසා එයාලා මිනිස්සු අතරට ගියෙ රංගනයෙන්, පුවත්පත් වලින් සහ රූපවාහිනියෙන්. එවිට ප්‍රේක්ෂකයා දකින්නේ නැන්දලාගෙ දක්ෂතා විතරයි. එවිට ආදරෙ වැඩිපුර ලැබෙනවා. මමත් කැමතියි ඒ වගේ එපා නොවන චරිතයක් වෙන්න. හැම තිස්සෙම පෝස්ට් දානවට වඩා මම කැමතියි ලැබෙන ආදරේ පරිස්සම් කරගන්න. මම සැබෑ ජීවිතේ ප්‍රේමය විඳලා තියෙනවා. මෙච්චර වයසක් වෙලත් ඒ දෙය නෑ කිව්වොත් බොරුවක්. ඒ දේවල් එක්ක මිනිස්සු ගැන ජීවිතේ ගැන ඉගෙන ගත්තා. ඉදිරියේදි හොඳ කෙනෙක් මගේ ජීවිතේට එයි කියලා මම බලාපොරොත්තුවෙන් කාලයට ඉඩදීලා බලාගෙන ඉන්නවා. මට ගොඩක් දේවල් ලැබුණෙ හරි වෙලාවට කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.