Paper Article

හැමදාම මෙහෙම ඉන්න බැහැනේ, ලබන අවුරුද්දේ විවාහ වෙනවා-ජනප්‍රිය සුරූපී නිලි නයෝමි තක්ෂිලා

අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන වේදිකාව තුළින් රංගනයට පිවිසුනු නව පරපුරේ ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනියක් තමයි නයෝමි තක්ෂිලා කියලා කියන්නේ. ඉතින් ඒ වගේම රන්තිලි වැව ටෙලි නාට්‍යයේ මුතු මැණිකේ ලෙසත්, නීල පබළු ටෙලිනාට්‍යයේ පූජා ලෙසත් ප්‍රේක්ෂකයින් අතරට පැමිණි ඇයව මේ දිනවල අඳුන්ගිර ටෙලි නාට්‍ය හරහා දැකගන්න ලැබෙනවා. ඉතින් මේ සුන්දර රංගන ශිල්පිනිය ඇයගේ අලුත්ම තොරතුරු ගැන පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් මෙන්න මේ විදිහටයි කතා බහ කරලා තිබුනේ.

ඇත්තටම කොරෝනා කියලා මට විවේකයක් ලැබුණේ නැහැ. මම අනුරාධපුරේ ගමේ ගිහිල්ලා අම්මල එක්ක ටික දවසක් ඉදලා නැවත වැඩ ආරම්භ කළා. නීලපබළු ටෙලි නාට්‍ය, ඇය ටෙලිනාට්‍යය රන්තිලිවැව මේ ඔක්කොම කළේ කොරෝනා කාලේ. කොරෝනා කියලා අපිට නිර්මාණ අතමග දාලා යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. රෝගයෙන් ආරක්ෂා වෙලා වැඩ කිරීම තමයි මේ වෙලාවේ අපේ වගකීම වුණේ.

මම රඟපාන නීල පබළු සහ අඳුන් හිර ටෙලි නාට්‍ය දෙක මේ දවස්වල විකාශනය වෙනවා. ඊට අමතරව චන්දිම පෙරේරා මහත්මයාගේ අපේ අම්මා, සුනිල් පතිරණගේ 21 ආදි ටෙලි නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වුණා. ඒ නිර්මාණ ඉදිරියේ දී දැකගන්න ලැබේවි. තවත් අලුත් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. වේදිකාව කොරෝනා නිසා වසර 2ක් පුරාවටම මඟ හැරුණා. ඉතින් වේදිකා නාට්‍ය ප්‍රේක්ෂකාගාරයට ප්‍රේක්‍ෂකයෝ එන දවස සහ අපිට වේදිකාවට ගොඩ වෙන්න අවස්ථාව ඉක්මණින්ම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගොඩක්ම ආසාවෙන් ඉන්නවා නැවත වේදිකාවට ගොඩ වෙන්න.

ඇත්තටම මට ගොඩක් වෙලාවට ලැබෙන්නේ සහ ලැබිලා තියෙන්නේ ගැමි අහිංසක චරිත. ඒවා වුණත් එකිනෙකට වෙනස් චරිත තමයි මට ලැබිලා තියෙන්නේ. නීලපබළු ටෙලි නාට්‍යයේ පූජා මට ලැබුණු විශේෂ චරිතයක්. මොකද හැමදාම අහිංසක චරිත කරපු මට නපුරු චරිතයක් ලැබුණු පළමු අවස්ථාව මේක. ඇත්තටම පූජාට නම් මිනිස්සු ගොඩක් බනිනවා.

ඇත්තටම 2012, 2013 කොළඹ ටවර් හෝල් නාට්‍ය හා රංගකලා පාසලට ආවේ රංග කලාව උපාධිය හදාරලා ගුරු වෘත්තියට යන්න. ඒ අතරවාරයේ දී තමයි මට වේදිකා නාට්‍යවලට දායක වෙන්න අවස්ථාව ලැබුනේ. අවුරුදු 4ක් වේදිකා නාටය්‍යවල සහ රංගන පාසලෙන් ලැබුණු දැනුම අත්දැකීම් එක්ක පුංචි තිරයට පිවිසෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ මීදුම් අම්මා ටෙලි නාට්‍යයෙන්. එහි මගේ අම්මාට හිටියේ මාලනී ෆොන්සේස්කා මහත්මිය. ඇය වැනි දැවැන්ත චරිතයක් සමග පළමු නාට්‍යයේම රගපාන්න ලැබුණ එක මම ලබපු ලොකු වාසනාවක්. ඇත්තටම මේක නිලියක් වෙන්න ආපු ගමනක් නෙමෙයි. මුල දී අම්මයි තාත්තයි මම රගපානවට කොහෙත්ම කැමති වුණේ නැහැ. එයාලගේ එකම හීනය වුණේ උපාධිය සම්පූර්ණ කරලා මම ගුරුවරියක් වෙනවා දකින්න. දැන් මම උපාධිය අවසන් කරලා ඉදිරියේ දී ගුරු වෘත්තියට පිවිසෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ක්ෂේත්‍රයට ආපු මුල් කාලේ ගොඩාක් දුක් වින්දා. දුෂ්කරතා ගොඩකට මුණ දුන්නා. කවදාවත් හිතවත්කම්වලට මම චරිත අරගෙන නැහැ. සෑම දෙයක්ම දිනා ගන්නේ මගේ තනි මහසියෙන්. මම රංගනය ඉගෙන ගෙන ආපු නිසා ලැබුණු අවස්ථාවන්ගෙන් උපරිම සාධාරණය මම ඉෂ්ඨ කළා. මේ හැම දේකටම කැපවීම, දක්‍ෂතාවය වගේම වාසනා ගුණයත් උපරිමයෙන්ම තිබුණා. කවදාවත් සීනිබෝල පෙම්වතියගේ චරිත මට ලැබිලා නැහැ. ලැබුණු හැම චරිතයකම ඒ චරිතය ඇතුළේ මට කරන්න දෙයක් තිබුණා. ඒක වාසනාවක් විදිහට තමයි මම දකින්නේ. මේ තැනට එන්න විඳපු දුෂ්කරතාවන් මම කවදාවත් දුකක් විදිහට හිතුවේ නැහැ. දෙයක් ලබාගන්න කරපු උත්සාහයක් විදිහට තමයි ඒක මට දැනුනේ. මම රගපෑවේ නැත්නම් අනුරාධපුර ගමට වෙලා විවාහයක් කරගෙන ඉදිවි.

ඇත්තටම මම දැන් ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු 9ක් විතර කිසිම දවසක කැපිලි කෙටිලි, හිත් රිදවිවි ප්‍රතික්ෂේප වීම් මට කවදාවත් වෙලා නැහැ. මාත් එක්ක වැඩ කරන ජ්‍යෙෂ්ඨයන්ට මම ගොඩක් ගරු කරනවා. සුදුස්සාට සුදුසු තැන දීලා වැඩ කරොත් ඉබේටම එයාලගෙන් ලැබෙන ඕන ගෞරවය අපිට ලැබෙනවා. ඕනම වෘතියක ජ්‍යෙෂ්ඨයන්ට ගරු කරනවා නම් කැපිලි කෙටිලි අඩුයි. මම ක්ෂේත්‍රයට කොයිතරම් පරණ වුණත් අලුත් නාට්‍යයකට ගියහම මම නවකයෙක් කියලා හිතලා තමයි චරිතයට මුණ දෙන්නේ.

ඉතින් ඒ වගේම ගුරු වෘත්තියට පිවිසීමේ බලපොරොත්තු තමයි මගේ ඊළග හීනය. ඒත් කලාව අතහරින්නේ නැහැ. හැමදාමත් ඉතින් මෙහෙම ඉන්න බෑනේ. ලබන අවුරුද්දේ විවාහයටත් සූදානම් වෙනවා. ඔහු ව්‍යාපාරිකයෙක්. මගේ කලා ගමනට දෙමාපියන්ගෙන් වගේම ඔහුගෙනුත් ලොකු සහයක ලැබෙනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.