Paper Article

හැඟීම්වලට වහල්වෙනවට වඩා හොඳයි ගැළපෙනම කෙනා ලැබෙන තුරු ඉන්න එක-ජනප්‍රිය නිලි ශාලිකා එදිරිසිංහ

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනියක් තමයි ශාලිකා එදිරිසිංහ කියලා කියන්නේ. මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශනය වන අදුන්ගිර ටෙලි නාට්‍ය තුළින් වගේම හිරු නාළිකාවේ විකාශය වන මහවිරුපණ්ඩු තුළින් ප්‍රේක්ෂකයන් හමුවට එන ඇය ඇයගේ අලුත්ම තොරතුරු ගැන පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් මෙන්න මේ විදිහටයි කතා බහ කරලා තිබුනේ. මේ දිනවල අහිමි කියන ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සිදු කරනවා. ඊට අමතරව ස්වාධීන රූපවාහිනියේ විකාශය වන අදුන්ගිර ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු සිදු කරගෙන යනවා. ඒ වගේම හිරු නාළිකාවේ මහ විරු පණ්ඬු ටෙලි නාට්‍යය විකාශය වෙනවා.

ඇත්තටම මට මේ දවස්වල ප්‍රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. අඳුන්ගිර ටෙලිනාට්‍යයේ වෙනස් විධියේ චරිතයක් කියලා මිනිස්සු කතා වෙනවා. ඇත්තටම රංගන ශිල්පිනියක් වුණහම ඕනෑම චරිතයක් නිරූපණය කළ හැකි විය යුතුයි. මට කරන්න පුළුවන් හොඳ වෙනස් විධියේ චරිතයක් ලැබුණොත් මම භාර ගන්නවා. චරිතය සුදුද කළුද කියලා බලන්නේ නැහැ. චරිතය තුළ යම් දෙයක් කරන්න පුළුවන් නම් භාර ගන්නවා. විවිධත්වයකින් යුතු චරිත කරන්න මම කැමැතියි. අපි සාමාන්‍යයෙන් රැකියාවක් කරනවා නම් හැමදාම එකම දේ කරන්න තිබෙන්නේ. නමුත් රංගන ශිල්පිනියක් විධියට මට සමාජයේ ජීවත්වන වෙනස් විධියේ විවිධ චරිතවල ජීවත් වෙන වාසනාව ලැබිලා තිබෙනවා.

මම රංගන වෘත්තිය තෝරාගත්තා නෙවෙයි. මට ඒ සඳහා අවස්ථාව ලැබුණා. මම කැමැත්තෙන් හිටියේ නර්ථන ගුරුවරියක් වෙන්න. මම මුලින්ම වේදිකා නාට්‍යවල රඟපෑවා. ඊට පසුව කිඳුරු නදිය කියන ටෙලි නාට්‍යයේ කාංචනා මෙන්ඩිස්ගේ නංගිගේ චරිතය රඟපාන්න අවස්ථාවක් ලැබුණා. ඒ විධියට තමයි රංගනයට පිවිසුණේ. ඉතින් නොදැනුවත්වම මේ වෘත්තියට පිවිසුණා. මට නර්තන ගුරුවරියක් වීමේ සිහිනය නම් මඟහැරුණා. නමුත් නර්තන අංගයන් සහිත චරිත මම කරලා තිබෙනවා. ඉදිරියටත් නර්ථනය සම්බන්ධ නිර්මාණ ලැබුණොත් සහභාගී වෙනවා.

ඉතින් ඒ වගේම රියැලිටිවලින් හෝ දක්ෂයන් බිහි වෙනවා නම් ඒක හොඳයි. රියැලිටිවලින් යම්කිසි අත්දැකීමක් ලැබෙනවානේ. ක්ෂේත්‍රයට පිවිසෙන බොහෝ අය රංගනය පිළිබඳ හදාරපු අය නොවෙයි. ඔවුන් අත්දැකීම් තුළින් සහ පොත පත කියවලා, ප්‍රවීණයන් දිහා බලාගෙන තමයි හැදෙන්නේ. එම නිසා රියැලිටිවලින් ක්ෂේත්‍රයට පැමිණියත් ඔවුන් දක්ෂයන් නම් ගැටලුවක් නැහැ කියලයි මම හිනන්නේ.

කොවිඩි නිසා මම මුහුණ දෙන ගැටලු ගැන කතා කළොත් මම පෞද්ගලිකව රෙදි ව්‍යාපාරයක් කළා. දැන් අවුරුදු දෙකක පමණ ඉඳන් ව්‍යාපාර කටයුතු නැවතිලා තිබෙන්නේ. රංගනය පැත්තෙන් ගත්තොත් බොහෝ වැඩ නැවැත්වූවා. ඒ වගේම රූගත කිරීම් කරන්නේ අවදානමක් ඇතිව. අලුත් වැඩ පසුවට කල් දැම්මා. කොවිඩ් කියන්නේ අපිට අනෙකා ගැන හිතන්න කියලා මතක් කළ වසංගතයක්. අපේ ආදරණීයන් ගැන අපි සැලකිලිමත් විය යුතුයි. නිරෝගීකම තමයි වටින්නේ. මම මගේ මවුපියන්ට ගොඩක් ආදරෙයි. ඔවුන් ගැන හිතලා බොහෝවැඩ අතහැරියා. මම නිවෙසට වෙලා සිටියා. නිර්මාණ පැත්තෙන් සහ ආර්ථිකමය වශයෙන් යම්කිසි පසුබෑමක් සිදු වුණා. නමුත් ඉතින් ජීවිතේ කියන්නේ ඒකට තමයි. මේක අපි හැමෝටම මුහුණ දෙන්න වුණු දෙයක්.

අපිට ලැබෙන මුදල කළමනාකරණය කරගන්න අපි දැනගන්න ඕනෑ. නමුත් මම හිතන්නේ අපිට වෙනත් ව්‍යාපාරයක් තිබෙනවා නම් මුදල ගැන පමණක් සිතන්නේ නැතිව නිර්මාණයක ගුණාත්මක බව සලකලා හොඳ නිර්මාණ සඳහා පමණක් දායක වෙන්න පුළුවන්. අපිට තෝරා බේරා ගැනීමක් කරන්න පුළුවන්. රංගනයේදී අපි අද හම්බකරගන්න එකක් පමණයි. නමුත් අපිට වෙනත් වෘත්තියක් හෝ ව්‍යාපාරයක් තිබෙනවා නම් අනාගතය සුරක්ෂිතයි. මගේ ජීවිතේටත් සහකාරයෙක් හිටියොත් හොඳයි. නමුත් ඒ සුදුසුම කෙනා වෙන්න ඕනෑ. එහෙම නැතුව හැඟීම්වලට වහල් වෙලා තීරණ අරගෙන පසුතැවෙනවාට වඩා හොඳයි තමන්ට ගැළපෙන නමන්ව තේරුම් ගන්න කෙනෙක් ලැබෙන තුරු ඉන්න එක කියලයි මේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනිය අවසාන වශයෙන් පවසලා තිබුනේ.