Paper Article

සාමාන්‍ය සමාජය කියලා කියන්නේ අපිට ඉගෙන ගන්න පුළුවන් විශ්වවිද්‍යාලයක්-ජනප්‍රිය නළු විරාජ් දනූෂ

අපේ රටේ කවුරුත් ආදරය කරන නව පරපුරේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි විරාජ් දනූෂ කියලා කියන්නේ. ඉතින් ඒ වගේම ඒ ලෙවල් චිත්‍රපටයෙන් සහ අහස්මාලිගා ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂකයින් අතරට ආපු ඔහු මේ දවස් වල අපේ රටේ ඉතාම ජනප්‍රියත්වයට පත්වෙලා තියෙන්නේ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ ඔහු රඟපාන සුද්දාගේ චරිතය සහ සියත නාලිකාවේ විකාශනය වන රේස් ටෙලිනාට්‍යය නිසයි. ඉතින් මේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියා පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

මගේ ගම අනුරාධපුර විලච්චිය කියන ගම. මම ඉස්කෝල හතරකින් ඉගෙන ගත්තා. විලච්චිය සිද්ධාර්ථ මහා විදුහල, තක්ෂිලා මහා විදුහල, අනුරාධපුර මධ්‍ය විදුහල වලිසිංහ හරිස්චන්ද්‍ර විදුහල කියන පාසල් හතරෙන් තමයි මම ඉගෙන ගත්තා.

මම මුලින්ම චරිතයක් නිරූපණය කලේ ඒ ලෙවල් චිත්‍රපටයෙ. ඒක රොහාන් පෙරේරාගේ අධ්‍යක්ෂණයක්. ඊට පස්සේ සද්ධාමංගල සූරියබණ්ඩාර, චේතනී විජේතුංග සහ ප්‍රසන්න මහගමගේ යන ප්‍රවීණයින්ගේ ඇකඩමියේ රංගනය පිළිබඳ හැදෑරුවා. ඔය අතරතුරදී අමුතු රසිකයා, අහස් මාලිගා, ත්‍රියිලෝකා, හිරු ඇවිදින් වගේ ටෙලි නාට්‍යවල රඟපෑවා. ඊට පසුව තමයි නාඩගම්කාරයෝ නාට්‍යයේ සුද්දා කියන චරිතය මට ලැබුනේ.

ඉතින් ඒ වගේම රේස් ටෙලි නාට්‍යයේ ඉෂාන් කියන චරිතය තමයි මම රඟපාන්නෙ. සමාජ මාධ්‍ය ඔස්සේ ඉමහත් ජනප්‍රියත්වයට පත් වූ ලෝචි එක්ක තමයි මම ඒකේ රඟපාන්නේ. මමයි ලෝචියි රඟපාන ගොඩක් දර්ශන වෙනම එඩිට් කරලා අරගෙන යූටියුබ් එකට දාලා තියෙනවා. ඒවා අතිශය විශාල සංඛ්‍යාවක් ප්‍රේක්ෂකයන් නරඹලා තියෙනවා.

ඇත්තටම සුද්දා කියලා කියන්නේ සරාලත් එක්කම ඉන්න චරිතයක්. හැමතිස්සෙම ඔහු වචන පාවිච්චි කරන්නේ නැහැ. ඒත් සුද්දා කියන බොහෝ දේවල් හරි යනවා. අද නෙවෙයි අනාගතයේදී දවසක් වුණත් ඔහු කියපු දෙයක් සත්‍ය වෙනවා. එහෙම චරිතයක් තමයි සුද්දා කියන්නේ.

චරිතයක් ලැබුණාම එයට පණ පොවන්නට පෙර හොඳ අධ්‍යයනයක් කරන්න ඕනේ. අපිට චරිතයක් ඔටෝ ඇඟට එන්නේ නැහැ. අපේ සාමාන්‍ය සමාජය කියලා කියන්නේ නළුවෙක් විදිහට අපිට ඉගෙන ගන්න පුළුවන් විශ්වවිද්‍යාලයක් වගේ තැනක්. අපි එහි මිනිසුන් පිළිබඳ හොඳ අධ්‍යයනයක ඉන්න ඕනෙ. එවිට ඒ ඒ චරිත ස්වභාවයන් පිළිබඳ අපේ මනසේ තැන්පත් වෙනවා. අන්න ඒ මතකයන් මම භාවිත කරනවා චරිත නිරූපණය කරන්න.

ඉතින් ඒ වගේම අපිට ලැබෙන චරිතය මොනයම් හෝ නිර්මාණයක වේවා ඒක සියයට සියයක් තම ශක්තිය යොදා රඟපාන්න ඕනේ. ඒක මෙගා නාට්‍යයක චරිතයක්ද, මියුසික් වීඩියෝ එකක චරිතයක්ද, ෂෝර්ට් ෆිල්ම් එකක චරිතයක්ද ෆිල්ම් එකක චරිතයක්ද කියලා වෙන් කරගෙන ඒ ඒ නිර්මාණය අනුව ශක්තීන් බෙදාගෙන රඟපාන්න බැහැ. තව සරලව කිව්වොත් අපි මියුසික් වීඩියෝ එකක චරිතයට 50% ක් ෂෝර්ට් ෆිල්ම් එකක චරිතයක් ලැබුණොත් 60%, තවත් නිර්මාණයක චරිතයකට 80% එහෙම බැහැ. ඔය හැම නිර්මාණයකම ලැබෙන චරිතයට 100% අපි බැහැලාම එය නිරූපණය කරන්න ඕනේ. එතකොට තමයි එහි සාර්ථකත්වය තියෙන්නේ. දැන් ගොඩක් දෙනෙක් අහනවා මම පෙම්වතෙක්ද නැද්ද කියලා. මට ඒකට දෙන්න පුළුවන් මෙන්න මේ උත්තරේ විතරයි. මම ආදරේට ආදරෙයි. එච්චරයි කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.