Paper Article

සරලව හිතුවාම ජීවිතේ හරිම සැහැල්ලුයි-කියා දෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයේ රනුල්‍යා

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් තමයි හංසි ගමගේ කියලා කියන්නේ. ඉතින් ඒ වගේම කලා ක්ෂේත්‍රයේ නවක රංගන ශිල්පිනියන් අතරින් පියවරෙන් පියවර ඉදිරියට යන දක්ෂ රංගන ශිල්පිනියක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්. කොහොම නමුත් පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

මගේ සම්පුර්ණ නම හංසනී නිසංසලා ගමගේ. හැබැයි බොහෝ දෙනෙක් මට කතා කරන්නේ හංසි ගමගේ කියලා. ඇත්තටම මම දැන් නම් රංගන ශිල්පිනියක්. මීට පෙර කටයුතු කළේ පෙරපාසල් ගුරුවරියක විදිහට. මට රංගනයට හිත යොමු වුණේ පාසල් සමයේදී පාසල් වේදිකා නාට්‍ය ඔස්සේ. මම පාසල් ගියේ මහාමායා බාලිකා විද්‍යාලය නුගේගොඩ. මගේ ගම කොට්ටාව. ඉතින් මම පුංචි කාලයේ ඉඳලාම හැදී වැඩුණේ කොට්ටාවේ.

මම දැන් විවාහකයි. මගේ මේ ගමන යන්න මට අම්මා, තාත්තා, සැමියා ගොඩක් උදව් කරනවා. හැබැයි මුලදී ක්ෂේත්‍රය ගැන එච්චර පැහැදීමක් නොතිබුණ නිසා අම්මයි තාත්තයි කැමැත්ත දුන්නේ නැහැ. පවුලේ මමයි, අක්කයි විතරයි. පළවෙනියට මම රඟපෑවෙ මිල්ලෑව වලව්ව නාට්‍යයේ. ඒ නාට්‍යය නැරැඹුවාට පස්සෙ තමයි ගෙදරින් මට කැමැත්ත දුන්නේ රඟපාන්න. මට දක්ෂතාවක් තියෙන බව එයාලා දැනගත්තා.

මිල්ලෑව වලව්වෙන් පස්සේ මම ශ්‍රී සිද්ධාර්ථ ගෞතම, අසංවර වැස්සක්, සොමිබර ජරමර නාට්‍යවල රගපෑවා. දැන් කියාදෙන්න ආදරේ තරම් නාට්‍යයේ රගපානවා. ඒ නාට්‍යයේ රනුල්‍යා කියන්නේ මගේ රංගන ජීවිතයේ හැරැවුම් ලක්ෂ්‍යයක්.

චරිතේ හැටියට රනුල්‍යා කියන්නේ කපටිකමින් තමන්ගේ ගැන විතරක් හිතලා, ඉදිරියට යන්න හදන චරිතයක්. මේ චරිතයට බොහෝ දෙනෙක් මට බණිනවා. ඒ විදිහට බණින්නේ මේ විදිහට දෝෂ දර්ශන එල්ල කරන නිසා වෙන්න ඇති. ඒ නිසා මම ඒ චරිතයට සාධාරණයක් කරලා ඇති කියලා සතුටු වෙනවා.

නමුත් සැබෑ ජීවිතේ මම සියලු දෙනාගෙම ආශිර්වාදයෙන් ඉදිරියට යන්න උත්සාහ ගන්න හරිම සරල කෙනෙක්. සංවේදී කෙනෙක්. ඉතින් ඒ වගේම රනුල්‍යා නිසා මට තව අලුත් චරිත දෙකක් ලැබිලා තිබෙනවා.

ඉතින් ඒ වගේම මගේ විවාහ ජීවිතය සරලව, සාමාන්‍ය විදිහට සුන්දරව ගලාගෙන යනවා. මගේ ප්‍රේමය සෑහෙන කාලයක් තිස්සේ තිබූ ආදරයක්. ඒ අදහස් ගැළපීම මත වෙච්ච ආදර කතාව විවාහයෙන් කෙළවර වුණේ. සැමියා නිරත වෙලා ඉන්නේ ව්‍යාපාර කටයුතුවල. ඇත්තටම ජීවිතේ සරලව හිතුවාම හරිම සැහැල්ලුයි. සිහින ගොඩක් නැහැ. මට ගෙයක්, හොඳ මහත්තයෙක් ඉන්නවා. හැමෝටම හොඳක් වෙන්න කියලා පතමින් යථාර්ථය අවබෝධ කරගෙන ජීවත් වෙනවා.

ඇත්තටම නිළියක් කියනවාට වඩා රංගන ශිල්පිනියක් කියන ආමන්ත්‍රණයට මම කැමැතියි. නිළිය කියන වචනය අහන විට සමහරු හිතන්නේ එයාලා එන්නේ ලිංගික අල්ලස් එක්ක කියලා. හැබැයි නිර්මාණයකට යන්නේ දක්ෂතාවය තියෙන කෙනෙක්. ඒ නිසා වැරැදි විදිහට බලන්න හොඳ නැහැ. ඕනෑම රංගන ශිල්පිනියක් දිහා ගෞරවයෙන් බලන සමාජයක් ඇති වීම වැදගත්. රගපෑම හැමෝටම කරන්න බැහැ. ඒක හරියට දෙවියන් දුන් දෙයක් වගේ උපතින්ම ආ හැකියාව එක්ක ලැබුණු දෙයක්.