Paper Article

වෘත්තියෙන් ගායිකාවක් වුණත් මම බිරිඳක් මවක් වශයෙන් හැමදාම ප්‍රවීණ කෙනෙක්-ජනප්‍රිය ගායිකා බේබි ශානිකා

කුඩා වයසේදීම ප්‍රසංග වේදිකාවට ගොඩ වුනු ශානිකා වනිගසේකර අද වනවිට ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායන ශිල්පිනියක් බවට පත්වෙලා හමාරයි. කොහොම නමුත් අදටත් බොහෝ දෙනෙක් ඇයව හදුන්වන්නේ බේබි ශානිකා කියන නමින්. ඉතින් වයස අවුරුදු හයේදී ප්‍රසංග වේදිකාවට ගොඩවුණු බේබි ශානිකා අද වනවිට ආදරණීය බිරිඳක් වගේම තිදරු මවක් ලෙස බොහොම කාර්ය බහුල ජීවිතයක් ගත කරනවා. ඉතින් ඒ වගේම ඇයගේ සැමියත් දක්ෂ වාදන ශිල්පියෙක්. කොහොම නමුත් මේ අපූරු දක්ෂ ගායිකාව පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් ඇයගේ පෞද්ගලික ජීවිතේ ගැන කතා බහ කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

මේ දවස්වල ප්‍රසංග වේදිකා කටයුතු කෙරෙන්නේ නැති නිසා වැඩි කාලයක් දරුවන්ගෙයි, ගෙදර වැඩ වලටයි යොමු කරලා තියෙන්නේ. දරුවන් පුංචි කාලයේදී වගේම දැනුත් නිවසේ වැඩ කටයුතු සියල්ලම වෙන්නේ මගේ අතින්. ඉස්සර රාජකාරි බහුල කාලයේදී පාන්දර හතරට නිවසට ආවත් පහ වෙනකොට නැගිටලා දරුවන්ට අවශ්‍ය විදියට කෑම බීම පිළියෙල කරලා ඔවුන්ගේ සියලු කටයුතු මගේ අතින් කරන්න මම නිතරම උත්සාහ කරා. ඇත්තටම වෘත්තියෙන් මම ගායිකාවක් වුණත් මම නිතරම හිතුවේ බිරිඳක් මවක් කියන තනතුරු දෙකේ මම හැමදාම ප්‍රවීණ කෙනෙක්, දක්ෂ කෙනෙක් විය යුතුයි කියලා. දරුවන් වෙනුවෙන් ස්වාමියා වෙනුවෙන් මගේ යුතුකම් වගකීම් මම ඉෂ්ට කරනවා නම් එය මාගේ මරණයෙන් පස්සේ මම යන තැනට එය සුව දායක දෙයක් වෙනවා කියලා මම නිතර විශ්වාස කරනවා.

මොනතරම් වැඩ රාජකාරි බහුල වුණත් සැලසුමකට අනුවයි මම වැඩ කරන්නේ. දරුවන් කියන්නේ දෙවියන් වහන්සේගෙන් මට ලැබුණු ආශිර්වාදයක්. ඒ ආශිර්වාදය සපලත්වයෙන් දකින්න මම හැමතිස්සෙම කැමතියි. ඒ නිසාම මොනතරම් රාජකාරි බහුල වුණත් දරුවන්ගේ වැඩ කටයුතුවලට මුල් තැන දෙනවා. ඒගොල්ලන්ට හදන තේ එකක්, බත් වේලක් වුණත් හරිම සතුටින් කරන්න මම නිතරම උත්සාහ කරන්නේ ඒ නිසා. වෙලාව නැහැ කියලා කියන වචනෙ නම් කවදාවත් මගේ වාග් කෝෂය තිබුණේ නැහැ.

ගමේ ගොඩේ කෑම විතරක් නොවේ බටහිර පන්නයේ කෑම වුණත් ඕනෑම කෑමක් හරිම රසට හදන්න පුළුවන් හැකියාවක් මට තියෙනවා. ඉතින් මම මොන කෑම හැදුවත් හැමෝම අගය කර කර කනවා. ඒත් මම වැඩ රාජකාරි බහුල වෙලාවට හදිසියේ හදනවා මස් දාලා ස්පෙෂල් බත් එකක්. ඒකට නං ගෙදර හැමෝම කැමතියි .

සතුටින්, ආදරයෙන්, සෙනෙහසින් කෑමක් හදනවා නම් ඒක අපි හිතනවට වැඩිය ගොඩාක් රස වෙනවා කියලා නම් මම හිතනවා. නමුත් අන්ගුණය කියලා මම දකින්නේ ඇත්තටම හිත් ගුණය.

මුළුතැන්ගෙයි විතරක් නෙවෙයි නිවසේ සෑම කටයුත්තක්ම කරද්දි සිංදු අහන එක මගේ පුරුද්දක් වෙලා. සිංදුවක් අහගෙන වැඩ කරද්දි මහන්සියක් විඩාවක් දැනෙන්නෙම නැහැ. නින්දට යද්දිත් ඇහෙන නොඇහෙන ගානට මං කැමතිම ආසම සින්දු දාගෙන තමයි මම නින්දට යන්නේ, සංගීතේ මගේ ජීවිතේම කොටසක්. කරන හැම කටයුත්තක්ම සතුටින් කරනකොට ඒක මගේ හිතටත් සතුටුයි. එහෙම නැතුව අකමැත්තෙන් දමලා ගහලා වැඩ කරන්න ගියාම ඒක මනසටත් වද දෙනවා නේ. එනිසා සෑම මොහොතකම ධනාත්මක සිතිවිල්ලකින් සතුටින් හැම දෙයක්ම කරන්න මම නිතරම උත්සාහ කරනවා. මොකද මම සතුටින් දෙයක් කරනවා කියන්නේ ඒකේ පළමු සතුට ලැබෙන්නේ මට කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.