Paper Article

විවිධත්වයෙන් යුතු රසවින්දනයට ගැළපෙන්න විවිධ චිත්‍රපටි නිර්මාණය කරන්න ඕනේ-පුබුදු චතුරංග

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය කඩවසම් රංගන ශිල්පියෙක් වගේම නිවේදන ශිල්පියෙක් තමයි පුබුදු චතුරංග කියලා කියන්නේ. ඉතින් ඒ වගේම අපේ රටේ ඉන්න ජනප්‍රියම සිනමා තාරකාවන් කිහිප දෙනා අතර ඉදිරියෙන්ම ඉන්න කෙනෙක් විදිහටත් ඔහුව හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔහුගේ ආදරණීය බිරිඳ මාෂි සිරිවර්ධන කියලා කියන්නෙත් ඉතාමත් දක්ෂ සුරූපී කළා තරුවක් විදිහට හදුන්වන්න පුළුවන්. ඉතින් මේ ආදරණීය යුවලම එකම චිත්‍රපටයකට රංගන දායකත්වය සපයලා තියනවා. ඉතින් මේ නිහඬ සෙවණැලි චිත්‍රපටය ගැන කතා කරන්න පහුගිය දවසක පුවත්පතක් පුබුදුව කතා බහට එකතු කරගෙන තිබුණා.

නිහඬ සෙවණැලි නිර්මාණය වසර හතරකට විතර කලින් කරපු නිර්මාණයක්. මෙහි අධ්‍යක්ෂ සුනිල් ප්‍රේමරත්න මාව හමුවෙන්න ඇවිත් ඔහු කිව්වේ මායා චිත්‍රපටය බලලා ඒ අත්දැකීම එක්ක හොරර් කියන ශානරයට අයත් සිනමා නිර්මාණයක් කරන්න හිතිලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ඔහු හරිත් වාසල සමග එකතුවෙලා පිටපත ලියලා මාව හමුවෙන්න ආවා. ඒ පිටපත ගැන අපි සාකච්ඡා කරලා නිර්මාණය කරන්න අපි කැමති වුණා. ඒ ආව වෙලාවක මාෂිව දැකලා තමයි එහි විනූ කියන චරිතයට ආරාධනා කරේ. ඊට පස්සේ තමා ඒ නිර්මාණයට අපි දෙන්නම සහභාගි වුණේ.

ප්‍රේක්ෂකාගාරය තමයි හැමදාම මගේ අංක එක. ඉතින් ඒ අයට හොඳ නිර්මාණ ලබා දෙන්න අපේ නිර්මාණකරුවන් වග වෙන්න ඕනේ. ඒ වගේම විවිධ වූ ශානරවලට අයත් නිර්මාණ ලංකාවේ සිනමාව තුළ නිර්මාණය විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. එකම හැඩතලයක නිර්මාණ බිහි විය යුතු නැහැ කියන තැන මම ඉන්නේ. ලංකාවේ එක කොමඩි චිත්‍රපටයක් කළාම කොමඩි චිත්‍රපට රැල්ලක් එහෙමත් නැත්තම් එක ඉතිහාස කතාවක් කළාම ඉතිහාස කතා රැල්ලක් නිර්මාණය වූ කාල අපි දැක්කනේ. නමුත් මම කියන්නේ එහෙම විය යුතු නැහැ.

විවිධත්වයෙන් යුතු රසවින්දනයක් ලංකාවේ තියෙනවා. ඒ රසවින්දනයට ගැළපෙන විවිධාකාරයේ චිත්‍රපටි නිර්මාණය වෙන්න ඕනේ. එහෙම වුණාම ලංකාවේ සියලුම ප්‍රේක්ෂකාගාරය සිංහල සිනමාව එක්ක එකතු වෙනවා. එහෙම එකතු වුණොත් විතරයි අපිට අපේ සිනමාව ගොඩ දාන්න පුළුවන් වෙන්නේ කියලා මම හිතනවා.

පුළුල් වූ විවිධාකාර වූ විෂමත්වයක් සහිත ප්‍රේක්ෂකාගාරයක් ඉන්නේ. ඒ ප්‍රේක්ෂකයා පාරේ සිඟමන් යදින යාචක කෙනෙක් වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් ඉහළ දැනුමක් ඇති විචාරාත්මක බුද්ධියක් තියෙන ප්‍රේක්ෂකයෙක් වෙන්නත් පුළුවන්. මම පෞද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි රංගන ශිල්පියෙක් වුණාම ඒ විවිධාකාර වූ විෂමත්වයක් සහිත ප්‍රේක්ෂකාගාරයට ගැළපෙන ඔවුන්ගේ සැමගේ රසවින්දනය ගැන හිතන්න ඕනේ. ඉතින් බොහෝ වෙලාවට එක නිර්මාණයක් ඇතුළේ ඔය හැමෝටම රසවින්දනයක් දෙන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා රංගන ශිල්පියෙක් විදියට විවිධ වූ නිර්මාණ තෝරා ගන්න සිද්ධ වෙනවා.

විනෝදාස්වාදය සපයන චිත්‍රපට වල රඟපාන්න පුළුවන්. නැත්නම් ගැඹුරු භාවාතිෂය නිර්මාණවල රඟපාන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ දෙකම තියෙන නිර්මාණ වලට දායක වෙන්න පුළුවන්. ඒ නිර්මාණ කෘතිය විසින් ඉල්ලන දේ මොකක් ද කියන එක මත මට මගේ රංගන භූමිකාව හැඩගස්වා ගන්න පුළුවන්. මේ හැම දෙයක්ම කලාව තුළ තිබිය යුතුයි. එකක් උසස් එකක් පහත් කියලා අපිට බෙදන්න බැහැ. ඒ සියල්ල මිනිස් රසවින්දනය ඇතුළේ වන විවිධ ප්‍රභේද.

ඒ නිසා නළුවෙක්ට සිමා පනවා ගන්න බැහැ නළුවා විසින් ඒ හැමෝටම ආමන්ත්‍රණය කරන්න පුළුවන් වෙන්න ඕනේ. සමහර නිර්මාණ තියෙනවා අපි හිතනවා අවසාන නිර්මාණය හොඳ වෙයි කියලා හිතලා භාර ගන්නා නමුත් එහෙම නොවන නිර්මාණ තියෙනවා. නිර්මාණය තියෙන්නේ නළුවා අතේ නෙවෙයි, නිර්මාණය තියෙන්නේ නිර්මාණකරුවා අතේ. රංගන ශිල්පියෙක්ට කළ හැක්කේ අදාළ චරිතයට උපරිම සාධාරණය කිරීම සහ එය ඉදිරිපත් කිරීම පමණයි.

මාෂිගේ පළවෙනි නිර්මාණය වුණේ ද නිව්ස් පේපර් චිත්‍රපටය. ඒ චිත්‍රපටය තුළින් ඇයගේ රංගනය මම දැක්කා. ඒ වගේම ඒ තුළින් ඇය සතු රංගන හැකියාව පවා මම දැක්කා. එදා මට හිතුණේ ඇය තුළ තියෙන දක්ෂතාව පිරිපහදු කරලා ගන්න විතරයි තියෙන්නේ කියලා. උප්පත්තියෙන් ගෙනාපු දක්ෂතාව තියෙනවා කියන එක ඇය පළමු නිර්මාණයෙන්ම පෙන්නුම් කළා. ඇය රංගනයෙන් දායක වුණු තව නිර්මාණයක් තමයි චන්න පෙරේරා අධක්‍ෂණය කරපු යුගාත්‍රා චිත්‍රපටය. ඉදිරියට ඒ චිත්‍රපටය තිරගත වෙද්දී එහි ඇයගේ සුපිරි දක්ෂතාවක් දැක ගන්න පුළුවන් කියලයි පුබුදු චතුරංග අවසාන වශයෙන් පවසලා තිබුනේ.