Paper Article

විවාහය කියන එක අත්‍යවශ්‍ය නෑ. නමුත් ප්‍රේමය, ආදරය අත්‍යාවශ්‍යයි-ප්‍රවීණ ඡායාරූප ශිල්පී දයාන් විතාරණ

අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන දක්ෂ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙක් වගේම ගායන ශිල්පියෙක් තමයි දයාන් විතාරණ කියලා කියන්නේ. ඡායාරුප ශිල්පියෙකු වශයෙන් ක්ෂේත්‍රය පුරා කීර්තිමත් නාමයක් දිනා ගෙන සිටින ඔහු වර්තමානය වනවිට මෙරට ගීත ක්ෂේත්‍රය තුළද ඔහුගේ නාමය රඳවා තබන්නට සමත් වූ ගායකයෙකු බවටද පත්වී හමාරයි. පසුගිය දිනක ඔහු ඔහුගේ කළා දිවියේ 468 වැනි ගීතයද ගායනා කරමින් අපේ සංගීත ක්ෂේත්‍රය තුල නොමැකෙන නමක් සටහන් කළා කිවුවොත් නිවැරදියි. ඉතින් මේ අති දක්ෂ කළා කරුවා ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැන වගේම කළා ගමන ගැනත් පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතු වෙමින් මෙන්න මේ විදිහටයි කතා බහ කරලා තිබුනේ.

මම මේ ක්ෂේත්‍ර දෙකටම එක හා සමානව ආසයි, ආදරෙයි. මට මේ දෙකින් එකකින්වත් ගැලවෙන්න බෑ. සින්දු කිව්ව කියලා පින්තූර නොගෙන ඉන්න බෑ. පින්තූර ගත්ත කියලා සින්දු නොකියා ඉන්න බෑ. ඇත්තටම කිව්වොත් එක ඇහක් වහලා අපි තනි ඇහෙන් බලන්නේ නෑනේ. ඇස් දෙකෙන්මනේ බලන්නේ. ඒ වගේ තමයි මට මේ දෙකම එක්ක ජීවත් වෙන්න ඕන.

ඇත්තටම කිවුවොත් මට මුලින්ම ඕන වුණේ ගායකයෙක් වෙන්න. 1982 දී මම නන්දා මාලිනී මහත්මියගේ සංගිත පන්තියට එන්නේ ඒ බලාපොරොත්තුවෙන්. ගායකයෙක් වෙන්න ආසාව තියෙන නිසා ගායනය පුරුදු වෙන්න තමයි එතැනට එන්නේ. අපි අවුරුද්දක් විතර යනකොට කල එළිදැක්මකුත් පැවැත්වූවා. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ප්‍රමුඛ සම්භාවනීය පිරිසක් ඉදිරියේ. දීපිකා ප්‍රියදර්ශනී පීරිස්, වසන්තා තිලකාංගනී, ඉන්දිරා කාරියවසම්, අනූෂා මාදොළ, දමයන්ති ඒකනායක, ප්‍රබෝධා යහම්පත්, නලින් ජිනේන්ද්‍ර අල්විස් අපි ඔක්කොම එකම දිනයේ ඒ පන්තියට ඇතුළත් වුණු අය. අපි කරපු කළඑළි දැක්මෙදි මම මනමේ කුමාරයා හැටියට රඟපෑවා. මනමේ කුමරිය වුණේ අනූෂා මාදොළ. එදා අපේ පංතියේ හිටපු බහුතරයක් දෙනෙක් අද ක්ෂේත්‍රයේ රැඳීලා ඉන්න අය.

අපේ ගම මාතර දෙනිපිටියේ. නමුත් අපි ඒ කාලේ පදිංචි වෙලා හිටියේ මාතලේ. මාතලේදි මම කළෙත් සින්දු කියපු එකයි චිත්‍ර ඇඳපු එකයි තමයි. ඉස්කොලෙදිත් මම වැඩිපුර නැඹුරු වෙලා හිටියේ මේ දෙකට. මම මූලික අධ්‍යාපනය ලැබුවේ මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් ඊට පස්සේ තමයි මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළත් වුණේ. අපේ තාත්තා රජයේ නිලධාරියෙක්. තාත්තා තැනින් තැනට මාරු වෙලා යනකොට අපිටත් ඔහුත් එක්ක යන්න වුණා. මම මූලික අධ්‍යාපනය ලබන කාලේ තාත්තා හිටියේ මහනුවර ඒ නිසා මම ධර්මරාජයට ගියා. ඊට පස්සේ තාත්තා මාතලේට මාරු කළා. ඒ නිසා මම මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළත් කළා.කොහොම හරි අවුරුදු පහෙන් පහට තාත්තා මාරු වෙන කොට අපිටත් එයා එක්ක යන්න සිද්ධ වුණා.

මුල්ම කාලේ තාත්තා බදුල්ලෙත් වැඩ කරලා තියෙනවා. ඊට පස්සේ නුවරඑළියට මාරු කරලා තියෙනවා. මාව හම්බවෙලා තියෙන්නේ තාත්තා නුවරඑළියේ ඉන්න කොට. 1968 මම ඉස්කෝලෙ යන වයසට එනකොට අපි ඉඳලා තියෙන්නේ මහනුවර. 1973 තමයි තාත්තා ආයෙත් මාතලේට මාරු වෙන්නේ. මම මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයයේ නව වැනි ශ්‍රේණියේ ඉන්න කොට තමයි තාත්තා නැතිවෙන්නේ. හැබැයි මට අපි නුවරඑළියේ හිටපු කාලය ගැනත් යාම්තම් මතකයක් තිබෙනවා. මට හොඳට මතකයි අපි නුවරඑළියෙදි. ‘නරිබෑණා‘ නාට්‍යය බැලුවා. ගම දුවට රඟපෑවේ ශ්‍රියානි වීරකෝන් (ශ්‍රියානි අමරසේන) එතකොට මට අවුරුදු හතරක් විතර ඇති. ගම දුවයි නරිබෑණයි විතරයි මතක. තාත්තා පොතකුත් ගත්තා මට මතකයි .

මම මුලින්ම හැබැහින් දැක්ක නිළිය තමයි ශ්‍රියානි අක්කා. ඒ වගේම තමයි මම මුලින්ම ඡායාරූපයක් ගත්ත නිළියත් ශ්‍රියානි අක්කා. ඒක සිද්ධ වුණෙත් ශ්‍රියානි අක්කාගේ දුව ඉනෝකා අපිත් එක්ක පන්තියට ආවා. ඒකාලේ මම ඡායාරූපකරණය ඉගෙන ගන්නවා. දවසක් එයා මාව ශ්‍රියානි අක්කට හඳුනවලා දුන්නා. අම්මේ මෙයා අපේ පන්තියේ ළමයෙක්. එයා පින්තූර ගන්නවා කියලා. ඊට පස්සේ ඇය මට අවස්ථාවක් දෙනවා ඇයගේ පින්තූර ගන්න. කොහොම හරි 1982 දි තමයි මම මේ ක්ෂේත්‍ර දෙකම පටන් ගන්නේ දැන් අවුරුදු 40ක් වෙන්න එනවා.

ඡායාරූප ශිල්පියෙක් වුණාට පස්සේ මට තිබුණු කාර්ය බහුලත්වය නිසා මට ගායකයෙක් වෙන්න තිබුණු කාලය ඇහිරිලා ගියා. සින්දුවක් ඉන්න ගමන් මිමිණුව මිසක් සින්දුවක් රෙකෝඩ් කරන්න ඕන කියන හැඟීම මට ඇති වුණේ නෑ. මම දන්න විදියට මට ලොකුම ඉල්ලුම තිබුණේ ඡායාරූප ගන්න. ගීත ගයන්න අවස්ථාවක් ඇවිල්ලා තිබුණේ නැති නිසා මම ඒ ගැන දැනගෙන හිටියෙත් නෑ. නන්දා මිස් පින්තූර ගන්න ඇවිත් කරපු යෝජනාවක් නිසා තමයි මම ඇත්තටම ගායකයෙක් වුණේ. මට හැඟීමක් ආවෙත් එතකොට තමයි. කොහොම හරි නන්දා මිස් ගේ ආරාධනයෙන් රෝහණ වීරසිංහයන් ගේ සංගීතයෙන් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගේ ගීපද රචනයෙන් වැටෙන් එහා මල් පඳුරේ ගීතය ගයමින් තමයි මම මුලින්ම ගායකයෙක් වුණේ. දැන් ඒ ගැන මට හිතද්දි හරියට හීනයක් වගේ.

කාටවත් විවාහය කියන එක අත්‍යවශ්‍ය නෑ. නමුත් ප්‍රේමය, ආදරය අත්‍යාවශ්‍යයි. ප්‍රේමය මට තිබුණා. මම හුදකලා වෙලා කියලා මට දැනෙන්නේ නෑ. හැමෝගෙම ආදරයට බඳුන් වෙනවා. අදටත් මම ප්‍රේම කරනවා. මම බ්‍රහ්මචාරී ජීවිතයක් ගෙනියන කෙනෙක් නොවෙයි. ප්‍රේමය විඳීන, ප්‍රේමය හොඳට දන්න හැබැයි කිසි දෙයක් අල්ල ගන්නෙ නෑ. අල්ලගත්තොතින් තමයි අතහරින්න වෙන්නේ. දරාගන්න පුළුවන් තැනක ප්‍රේමය තියෙනවා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.