Paper Article

ලංකාවේ නම බබළවමින් පාකිස්තාන හමුදාවට ගිය ලංකාවේ අයෝමය ගැහැනිය ටාෂියා කාලිදාස

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න තාරුණ්‍යය නියෝජනය කරන කලාකරුවන් බොහෝ දෙනෙක් ජාත්‍යන්තර සම්මාන සහ ඇගයීම් වලට වගේම ජාත්‍යන්තර නිර්මාණ එක්ක මුසුවන කාලයක් තමයි මේ ගෙවෙන්නේ. ඉතින් ඒ වගේම ජාත්‍යන්තර නිර්මාණයකට රංගනයෙන් දායක වෙන්න අවස්ථාවක් අපේ රටේ ඉන්න දක්ෂ සුරූපී රංගන ශිල්පිනියකට පහුගිය දවසක උද වෙලා තියෙනවා. ඇය නමින් ටාෂියා කාලිදාස.

ඇය පාකිස්තානයේ රූගත කරනු ලැබූ Sinf-e-Aahan (women of steel) ‘අයෝමය ගැහැනිය’ ටෙලි කතා මාලාවට රංගනයෙන් දායක වෙලා තියෙනවා. මෙම ටෙලි කතාව ශ‍්‍රී ලංකා යුද හමුදාවත් පාකිස්තානයත් එක්ව කරනු ලබන නිර්මාණයක් වන අතර මෙම ටෙලි කතා මාලාව රචනා කර තිබෙන්නේ උමේරා අහමඩ් විසින්. මෙය පාකිස්තාන් ටෙලි නාට්‍ය කේෂත‍්‍රයේ දෙවැනි මිල අධික නිෂ්පාදන පිරිවැයක් දැරූ නිර්මාණය බවද අපට වාර්තා වුණා. ඉතින් මෙවැනි අපූරු අවස්ථාවක් හිමිවූ ටාෂියා ඇයගේ අලුත්ම තොරතුරු ගැන පහුගිය දවසක පුවත්පතකට පවසලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

මගේ උපන් ගම මහනුවර. අම්මයි තාත්තයි අක්කයි තමයි මගේ පවුලේ ඉන්නේ. මම තවම Lexicon ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබනවා. 2023 දී උසස් පෙළ විභාගයට මුහුණ දෙන්නේ. පාසලේදී මම නර්තනය හැදෑරුවා. හැබැයි අපේ පාසලේ ඩ්‍රාමා නැහැ. ඒ නිසා මම කිසිම පාසල් නාට්‍යයකට නම් සම්බන්ධ වෙලා නැහැ. ඒ වගේම අපේ පවුලේ කිසිම කෙනෙක් කලාවට සම්බන්ධ නැහැ. මට අහම්බෙන් ලැබුණු අවස්ථාවක් නිසා වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. මම ඉන්ස්ටග්‍රෑම් එකට දාපු ෆොටෝස් දැකලා චතුර ෆෙරෝෂ් තමයි මුලින්ම කතා කළේ. ඊට පස්සේ මම වෙළෙඳ දැන්වීම් 12කට විතර සම්බන්ධ වුණා.

මට කලාවට එන්න රංගන කටයුතු කරන්න කවදා හරි නිළියක් වෙන්න ඕනේ වගේ හීන නම් තිබ්බේ නැහැ. මගේ හීනේ වුණේ ගුවන් සේවිකාවක් වෙන්න. තාමත් ඒ හීනය තියෙනවා. නමුත් අහම්බෙන් මම රංගන ක්ෂේත්‍රයට එනවා. ඒ ආපු ගමන් මගේ දැන් මම ආසාවෙන් රංගන කටයුතු කරගෙන යනවා. මගේ මුල්ම රංගන දායකත්වය ලබාදුන් නිර්මාණය තමයි ඉන්ටර්නැසනල් ටෙලි නාට්‍යයේ මීනුගේ චරිතය. ඊට පස්සේ මට වාසනාව ලැබුණා ධනුෂ්ක රත්නායක අයියගේ දාම් ටෙලි නාට්‍යයට රංගන දායකත්වය ලබා දෙන්න. දාම් හි අමායගේ නැගණියට තමා මම රඟපෑවේ. මගේ තුන්වැනි ටෙලි නිර්මාණය සමීර හසුන් අයියගේ ‘චලෝ’ නිර්මාණය. නමුත් චලෝ හි නම් මුල් කොටස්වල පමණයි ඉන්න වුණේ. ඒ රූපගත කිරීම් අතරතුර තමයි මම දායක වුණු පාකිස්තාන ටෙලි කතා මාලාව රූපගත කිරීම් පටන් ගත්තේ. ඒ නිසා මට පාකිස්තානයට යන්න සිදු වුණා.

මේ අයෝමය ගැහැනිය ටෙලි කතා මාලාවට මට අවස්ථාව ලැබෙන්නේ කර්නල් රෝහණ වික්‍රමසිංහ මහත්මයා මාර්ගයෙන්. ඔහු මගේ තාත්තාගේ යාළුවෙක්. දවසක් කර්නල් රෝහණ වික්‍රමසිංහ මහත්මයා කිව්වා පාකිස්තාන ඩ්‍රාමා එකක් තියෙනවා, බයෝ ඩේටා එකක් එවන්න කියලා. මමත් බයෝ ඩේටා එක හදලා යැව්වා. හැබැයි මම බලාපොරොත්තු තියා ගත්තේ නැහැ. පස්සේ දැන ගත්තා මම තේරිලා ඉන්නවා කියලා. ඊට පස්සේ පාකිස්තානයේ අධ්‍යක්ෂවරයා මා එක්ක සූම්වලින් කතා කළා. ඔහු කිව්වා උර්දුවලින් දෙබස් තියෙන වීඩියෝ එකක් එවන්න කියලා. ඒකත් යැව්වම ඔහු මාව තෝරා ගත්තා කියලා දැනුම් දුන්නා. ඔහොම තමා මම පාකිස්තානයේ ඩ්‍රාමා එකට සම්බන්ධ වුණේ.

මේ නිර්මාණයේදී මට විදෙස් ශිල්පීන් එක්ක රංගනයේ යෙදෙන්න අවස්ථාව ලැබුණා. ඒ අත්දැකීම ඇත්තටම බොහොම හොඳ අවස්ථාවක්. පාකිස්තානයේ ඉන්න හොඳම නළු නිළියන් තමයි දායක වෙලා හිටියේ. මම පාකිස්තාන රංගන ශිල්පිනි Sajal Aly ගේ ‘මම්’ කියන චිත්‍රපටය මම බලලා තිබ්බා. ඒ නිසා ඇය ගැන මම දැනගෙන හිටියා. ඒ වගේම Yumna Zaidi මේ නිර්මාණයේ හිටියා. එයා හොඳම සහ ජනප්‍රියම නිළිය කියන සම්මාන දෙකම ලබා ගත්ත කෙනෙක්. ඒ හැමෝම හරිම දක්ෂයි. එයාලගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න තිබුණා. පාකිස්තාන මිල්ටරි ඇකඩමියේ ෂූටිං තිබ්බා මාස තුනක් විතර ලොකු අත්දැකීමක් ලැබුවා ඒ කාලය තුළ.

මේ Sinf-e-Aahan (women of steel) අයෝමය ගැහැනිය ටෙලි කතා මාලාව කොටස් 26කින් සමන්විත නිර්මාණයක්. මගේ චරිතය ගැන කෙටියෙන්ම කියනවා නම් ශ්‍රී ලංකාවෙන් යන දක්ෂ කැඩෙට් කෙනෙක්. ඊට වඩා නම් වැඩි විස්තර කියන්න බෑ. නිර්මාණය බලන්න කියලා මම ආරාධනා කරනවා.

මම කවදාවත් රංගන ශිල්පිනියක් වෙන්න හිතුවේ නැහැ. ඒ වුණාට මම හිතන්නේ මේක මට දෙවියන් දීපු අවස්ථාව. මම දැන් රංගන කටයුතු කරන්නේ ඉතා ආසාවෙන්. කවදා හරි දවසක හොඳම නිළිය හෝ ජනප්‍රියම නිළිය සම්මානය ගන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා. හැබැයි මගේ වෘත්තීමය හීනය අදටත් එයාර් හොස්ටර් කෙනෙක් වෙන එක කියලයි මේ සුරූපී රංගන ශිල්පිනිය අවසාන වශයෙන් පවසලා තිබුනේ.