Paper Article

රටටම ආඩම්බරයක් වෙමින් ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට පත්වීම් ලද නියෝජ්‍ය පොලිස්පතිවරියන් තිදෙනා

අපේ රටේ පොලිස් සේවයේ එදා මෙදා තුර සිදුනොවූ බොහොම සුවිශේෂී කටයුත්තක් පසුගියදා සිදුවුණා. ඒ තමයි ලංකා ඉතිහාසය තුළ ප්‍රථම වතාවට පොලිස් සේවයට නියෝජ්‍ය පොලිස්පතිවරියන් තිදෙනෙක් එකවර පත්වීම. ඉතින් මෙය අපේ රටේ පොලිස් සේවයට බොහොම සුවිශේෂී අවස්ථාවක් විදිහටයි සලකන්නේ. ඉතින් ඒත් සමගම නියෝජ්‍ය පොලිස්පතිවරියන් තිදෙනෙක් ම පත්වීම පොලිස් සේවයට පොලිස්පතිවරියක් පත් වීමේ ලකුණු ළඟ ලඟම පහළ වන බවත් කියන්නට පුළුවන්. නිශානි සෙනෙවිරත්න, ජයන්තා පද්මිණී වීරසූරිය, රේණුකා ජයසුන්දර යන නියෝජ්‍ය නව පොලිස්පතිනියන් සමඟ පළමු නියෝජ්‍ය පොලිස්පතිනිය බිම්ෂානි ජාසිංහආරච්චිත් එක්වූ විට මේ වන විට ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය පොලිස්පතිනියන් සිවු දෙනෙක් බිහිවී තිබෙනවා. ඉතින් ඒත් සමඟම 85 000 සිටින අපේ රටේ පොලිස් සේවයේ පොලිස්පති තනතුරටත් කාන්තාවක පත්වීමේ දිනය වැඩි ඈතක නොවන බව සිතිය හැකිය.

කොහොම නමුත් නිශානි සෙනෙවීරත්න මහත්මිය ඇයගේ ජීවිතයේ මෙම විශේෂ අවස්ථාව ගැන පවසලා තිබුනේ මෙන්න මේ විදිහටයි. මම උසස්පෙළ කරලා ඉද්දි ලංකා ඉතිහාසයේ පළමුවරට කාන්තා උප පොලිස් පරීක්ෂකවරියන් බඳවා ගන්න ඉල්ලුම්පත් කැඳවලා තිබුණා. තවද ඒ සඳහා පරිගණක ඩිප්ලෝමාවක් ඉල්ලලා තිබුණා. ඒ කාලේ පරිගණක දැනුම තියන අය සීමිතයි. ඉතින් මම පරිගණක ඩිප්ලෝමාවක් හදාරල තිබුණා. ඉතින් මාව රාජ්‍ය බුද්ධි සේවාවට තෝරගත්තා. සාමාන්‍ය පොලිසිය වගේ අපට යුනිෆෝම් නැහැ. විශේෂ පුහුණු පාඨමාලා, දත්ත හා තොරතුරු රැස්කිරීම, විශ්ලේෂණය, ගබඩා කිරීම, රජයට ඉදිරිපත් කිරීම මගේ රාජකාරි පරාසය තුල සිදුවුණා. ජාතික ආරක්ෂාවට තර්ජනයක් තියන සෑම තොරතුරක් ම සෙවීම, අනතුරකට පෙර අවදානම කලින් දැන රජයට තොරතුරු ලබා දෙන්න මම කෙතරම් දක්ෂ ලෙස සූක්ෂමව කටයුතු කළා ද දැනෙන්නේ දැනුයි කියලයි ඇය පවසලා තිබුනේ.

රේණුකා ජයසුන්දර මහත්මියත් ඇයගේ අත්දැකීම් ගැන මෙන්න මේ විදිහටයි පවසන්නේ. මම 1994 වසරේ උසස් පෙළින් පසු විවිධ රැකියා කරමින් හා විවිධ රැකියාවලට අයදුම් කරමින් පොලිසියට ද අයදුම්පතක් යැව්වා. මම සම්මුඛ පරීක්ෂණයට ද තනිවම ගියා. ඉතින් මට රැකියාව තෝරා ගැනීම ද අභියෝගාත්මක කරුණක් වුණා. කොහොම නමුත් කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව මට අතිශය රසවත් දෙයක් වුණා. ඉතින් ඒ වගේම මම පෙළපාළි පුහුණු පරීක්ෂණයෙන් වැඩිම ලකුණු ලබා ගනිමින් හොඳම පෙළපාළි අණ දෙන්නියද වුණා.

ඉතින් ඒ වගේම ජයන්තා පද්මිණී මහත්මියත් ඇයගේ අදහස් පවසලා තිබුනේ මෙන්න මේ විදිහටයි. මම 2019දී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරේ සිටියදීම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ අතර එම තනතුරට පත්වූ ප්‍රථම කාන්තාව ද මමයි. මම ඉන්ටවීව් ආවේ අයියා එක්ක. මම කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයට ඉන්ටවිව් ගියා. ගෑනු ළමයි 125ක් වැනි පොලිස් ඉතිහාසයේ එතරම් විශාල පිරිසක් එකවර බඳවා ගත්තේ එදයි. පුහුණුවෙන් පස්සේ මාව යාපනේට දැම්මා. තාත්තා අකමැති වුණා. එයා කීව්වේ ගමේ ගුරුවරියක් වුණා නම් හොඳයි කියලා. කොහොම නමුත් මම ආධුනික උප පොලිස් පරීක්ෂකවරියක් ලෙස පත්වුණා. මගේ ක්ෂේත්‍රයේ ඉහළ නිලධාරීන් කීපදෙනෙකුගෙන් ලද සහාය මගේ රැකියාවෙ ඉදිරි ගමනට විශාල පිටිවහලක් වුණා. හොඳ නායකත්වයක් මට ලැබුණා කියලයි ඇය පවසලා තිබුනේ. ඉතින් මේ නියෝජ්‍ය පොලිස්පතිවරියන් තිදෙනාටම අපිත් හදවතින්ම සුබ පතන ගමන් ඔවුන්ගේ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.