Paper Article

මේ දවස්වල මට විවාහ වෙන්න කෙනෙක් හොයනවා, අම්මට හරියන කෙනෙක් වෙන්නත් ඕනේ-සුරූපී නිලි මධුෂානි පෙරේරා

අපේ රටේ කොයි කවුරුත් ආසාවෙන් නරඹන අතිශය ජනප්‍රිය ටෙලිනාට්‍යයක් තමයි ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන නාඩගම්කාරයෝ කියලා කියන්නේ. ඉතින් මේ ටෙලිනාට්‍යයේ ජානුගේ චරිතය එහෙමත් නැතිනම් සිගිතිගේ චරිතයට පන පොවන රුවැත්තිය කවුද කියලා අපි අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. ඇය තමයි මදුෂානි පෙරේරා. ඉතින් මේ කවුරුත් ආදරය කරන දක්ෂ සුරූපී රංගනය ශිල්පිනිය ඇයගේ අලුත්ම තොරතුරු ගැන පහුගිය දවසක පුවත්පතකට පවසලා තිබුනේ මෙන්න මේ විදිහටයි. මට මේ දවස්වල ගොඩාක් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. පාරට බැහැලා යන්නෙත් අමාරුවෙන්. වයස් භේදයක් නැතිව හැමදෙනා අතරෙම ජානුගේ චරිතය කතා බහට ලක් වෙනවා. සමහරු මට බණිනවා. සමහරුන්ට කේන්ති යන්නේ මගේ කෑ ගැහැල්ලටලු.

යාළුවෝ ආදරේට කතා කරද්දී සෙට් එකේදී නම් කුකුළු බබා කියනවා. කුකුළු කෑල්ල කියනවා. මුල් දවස්වල නම් එහෙම කියනකොට පොඩි අපහසුතාවයක් දැනුණා. කේන්තියකුත් ආවා. දැන්නම් ගාණක් නැහැ. ඒ දේවල්වලට පුරුදු වෙලා. රාවණා ටෙලිනාට්‍යයේ රඟපෑම නිසා තමයි මට මේ අවස්ථාව ලැබුණේ. රාවණා නාට්‍යයේ චරිතය රඟපානවා දැකලා තමයි නාඩගම්කාරයෝ එකේ ස්ක්‍රීන් ටේස්ට් එකට එන්න කිව්වේ. රූපගත කිරීම් පටන් ගන්න දවස් දෙකකට කලින් තමයි මට මේ අවස්ථාව ලැබුනේ. මට මුලින්ම ලැබුණේ ගැමි චරිතයක්. ඊට පස්සේ කිව්වා තවත් චරිතයක් තියෙනවා කරලා බලමුද කියලා. මමත් මුලදි අදිමදි කරලා තමයි භාර ගත්තේ. දැන්නම් ප්‍රශ්නයක් නෑ. ගැලපෙනම චරිතය ලැබුණා කියලා දැන්නම් හිතෙනවා.

සැබෑ ජීවිතයේ මම ඉන්න විදිහ කෙනෙක් විශ්වාස කරන එකක්වත් නෑ. හිමීට කතා කරන්නේ. මම මගේ පාඩුවේ ඉන්නේ. යාළු මිත්‍රයෝත් අඩුයි. බොහාම නිහඬ නිස්කලංක චරිතයක්. ඉතින් ඊට හත්පසින්ම වෙනස් චරිතයක් තමයි රඟපාන්නේ. ඉස්සර ඉස්කෝලේ සමිතියක සිංදුවක් කියන්න තිබ්බත් මම මාරු වෙලා යනවා. ඒ තරමටම කලාව ගැන අකමැත්තක් තිබුණේ. මගේ සිහිනය වුණේ ගුවන් සේවිකාවක් වෙන්න. කිහිපවතාවක් උත්සාහ කලත් සාර්ථක වුණේ නැහැ. අවසානයේ කලාවටම තල්ලු වුණා. මම දැන් අවුරුදු දෙකක් වෙනවා රඟපාන්න පටන් අරගෙන. නිදහසේ වැඩේ කරගෙන යනවා. ලොකු කලබලයක් නැහැ. මගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න කැමැත්තක් තියෙනවා.

ඇත්තටම නාඩගම්කරයෝ ටෙලිනාට්‍යයේ මගේ කෑ ගැහිල්ල ගැන මටම කේන්තියක් එනවා. සමහර වෙලාවට ජානු කෑ ගහනකොට අම්මා කියනවා ඔය ටීවී එකේ සද්දේ අඩු කරන්න කියලා. ඒ තරමටම කෑ ගැහිල්ල ඇහෙනවා. ජානුගේ කෑ ගැහිල්ල අපේ අම්මටත් ප්‍රශ්නයක් වෙලා. මුල් කාලේ නම් මටත් කෑගහන්න අමාරු වුණා. හරියට සද්දේ ආවෙත් නැහැ. දැන්නම් වැඩේ හොඳට යනවා. දවස් දෙකක් තුනක් යනකම් ඒ සද්දේ මටත් අඩු කර ගන්න බැරිවුණා. සමහර වේලාවට මටම මාව පාලනය කර ගන්න අමාරුයි. හොඳටම හිනා යනවා. පුහුණුවීම් කරලා කොහොමහරි මූඩ් එක හදා ගන්නවා. මේ දවස්වල මට විවාහ වෙන්න කෙනෙක් ගෙදරින් හොයනවා. අම්මට හරි යන කෙනෙක් හමුවුණොත් විවාහ වෙන්න වෙයි. මට තවම එහෙම කෙනෙක් මුණ ගැහිලා නැහැ. මටත් ඒ ගැන එහෙම ලොකු ගාණක් නැහැ. සමහරුන්ගේ හිතේ එක එක විදිහේ අය ඉන්නවනේ. මගේ එහෙම කෙනෙකුත් නැහැ. වේලාව ආපුවහම හැමදේම හරි යයි කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.