Paper Article

මැරෙනවා කියන දේ වටහා ගෙන සමාජයට හොඳ දේ විතරක් කරන්න-කඩවසම් නළු චතුර රාජපක්ෂ

අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන දක්ෂ ජනප්‍රිය කඩවසම් රංගන ශිල්පියෙක් තමයි චතුර එරංග රාජපක්ෂ කියලා කියන්නේ. ඉතින් මේ කඩවසම් රංගන ශිල්පියාව මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන රැල්ල වෙරළට ආදරෙයි, අඳුන්ගිර, සකුණ පියාපත්, පානාමංකඩ වැනි ටෙලිනාට්‍ය රැසක් හරහාම දකින්න ලැබෙනවා. ඉතින් මේ දක්ෂ රංගන ශිල්පියා පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

රංගනය කියන්නේ කුඩා කාලයේ ඉඳලම මට තිබූන ආසාවක්. ඒක ඇතිවුණේ මගේ අයියා රඟපෑ නාට්‍යයක් දැකපු නිසයි. එදා මට ලොකු තේරුමක් නැතත්, මටත් රගපාන්න ආස හිතුණා. අයියා එදා දහම් පාසලේ කළ නාට්‍ය රංගනය දැකලා ඒ විදියට මටත් කරන්න ඇත්නම් කියලා හිතුවා.

මම අධ්‍යාපනය සඳහා පාසල් තූනකට ගියා. මාලිගාවත්ත ශ්‍රීමත් බාරොන් විද්‍යාලයට, බණ්ඩාරවෙල ධර්මාශෝක විද්‍යාලයට සහ උසස් පෙළ කළේ කොළඹ රාජසිංහ මහා විද්‍යාලයෙන්. මම උසස් පෙළ වාණිජ අංශයෙන් පෙනී සිටියේ. නමුත් අරමුණ වුණේ නළුකමම තමයි.

මම රංගනය පටන් ගද්දී මුලින්ම අභිනය පාඨමාලාවට සම්බන්ධ වුණා. ප්‍රවීණ රංගවේදිනී අනෝජා වීරසිංහ මහත්මිය යටතේ මට බොහෝ දේ හදාරන්න පුළුවන් වුණා. පසුව මේ රංගන විෂය පුළුල්ව හදාරන්න මහේන්ද්‍ර පෙරේරා ප්‍රවීණයා ළඟට ගියා. ප්‍රවීණ රංගවේදී ජගත් චමිල අයියා නිසා තමයි අනෝජා වීරසිංහ මහත්මිය හමුවට යන්න මට අවකාශ්‍ය ලැබුණෙ. මම මුලින්ම රඟපෑවේ සුසිල ආයතනය කළ සෙල්ෆි නාට්‍යයේ. TV 1 එකේ එය විකාශය වුණා.

මාව ගොඩක් දෙනෙක් හදුනා ගත්තේ රාවණ නාට්‍යයේ කළ චරිතය සහ හිරු ටී.වී. එකේ විකාශය වන රැල්ල වෙරළට ආදරෙයි නාට්‍ය නිසයි. ඊටත් අමරතව ඉන්දික ධමතිලකගෙ අඳුන්ගිර යනවා. තව ප්‍රවීණ අධ්‍යක්‍ෂ ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ සකුණ පියාපත් විකාශය වෙනවා. ඊටත් අමතරව රනිල් කුලසිංහගේ පානාමංකඩ ස්වර්ණවාහිනියේ විකාශය වෙනවා. නමුත් මේවා අතරින් මන් ගැන වැඩිපුරම කතා බහට ලක්වෙන්නේ රැල්ල වෙරළට ආදරෙයි නාට්‍යයේ ජූඩ් ගේ චරිතය නිසා.

මම හිතන විදියට හැමෝටම රඟපාන්න බැහැ. රංගනයට විතරක් නෙවෙයි, ඕනෑම අංශයකට හැදෑරීමක් නැතුව ගමනක් යන්න බැහැ. උපරිමයෙන් කැපවෙන්නත් බැහැ. හැදෑරිමක් නැතුව සියයට සීයක් කැපවීම දෙන්නෙ නැහැ. ඉතින් ඒ වගේම ආදරය කියන දේ අපි තේරුම් ගැන්න ඕනේ. අල්ලා ගැනීමට වඩා තේරුම් ගැනීම සහ නිදහස තිබිය යුතුයි. සැබෑ ලෙස ආදරේ නම් අල්ලා ගත්තම ඕනෑ නැහැ. අයිතිකර ගැනීමම නෙවෙයි සැබෑ ආදරය.

තවම මම අත්දැකීම් ලබන ජීවිතය සොයා යන ශිෂ්‍යයෙක් වගේ කියලයි මට හිතෙන්නේ. ජීවිතය සොයා යන්න පටන් ගත්ත කෙනෙක්. තවම පියවර තැබුවා විතරයි. ජීවිතය තවම හොයමින් ඉන්නෙ. ඉතින් ඒ වගේම ඉදිරියේදී රංගනය උදෙසා මගේ උපරිමය කරන්න කැපවෙනවා. ඒ වගේම මැරෙනවා කියල දේ වටහා ගෙන සමාජයට හොඳ දේ කරන්න උත්සාහ ගන්න කියන පණිවුඩය තාරුණ්‍යයට දෙන්න කැමැතියි කියලයි මේ දක්ෂ රංගන ශිල්පියා අවසාන වශයෙන් පවසලා තිබුනේ.