Paper Article

මම හරි කැමතියි මිනිස්සුන්ට එපා නොවෙන මතකේ රැඳෙන දේවල් කරන්න-ජනප්‍රිය සුරූපී නිලි රෂිප්‍රබා සංදීපනි

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනියක් තමයි රෂිප්‍රබා සංදීපනි කියලා කියන්නේ. රංගනයට මෙන්ම නර්තනයටත් ඉතාම දක්ෂ මේ සුන්දර කළා ශිල්පිනිය පහුගිය දවසක ඇයගේ අලුත්ම තොරතුරු ගැන පුවත්පතක් සමඟ කතා බහ කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

මේ දවස්වල මම හරිම කාර්යබහුලයි. ගාමිණි හේවාවිතාරණ මහතාගේ අලුත් චිත්‍රපටයක්, හිරු ටී.වී. එකේ සිහින ගෙනෙන කුමාරියේ සහ සියත නාළිකාවේ රේස් ටෙලි නාට්‍යයේත් මම රූගත කිරීම්වලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඇත්තටම රේස් ටෙලි නාට්‍යයේ ගිමිහානිට හිතුවේ නැති තරම් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. ගිම්හානි මේ නිසාම අපි ටෙලි නාට්‍යය බලනවා කියලා සමහර අය මට කමෙන්ට් කරලා තිබෙනවා. ඒ ගැන හරි සතුටුයි.

ඉතින් ඒ වගේම ශක්ති ටී.වී. එකේ පාර්තිභා කියලා දමිළ චිත්‍රපටයක් කළා. මම තමයි පාර්තිභා කියන ප්‍රධාන චරිතය කළේ. එයට මා සම්බන්ධ කරගන්නේ ශක්ති ටී.වී. නාළිකා ප්‍රධානි ආර්.පී. අබර්නාසුදන් මහතා.

ඉතින් ඒ වගේම මම සම්බන්ධ වුනු ඉසුරු වීරසිංහ මුදලිගේ මහතාගේ නිමි කියන චිත්‍රපටය නුදුරේදී තිරගත වේවි. ඒවගේම තවත් අලුත් චිත්‍රපටයක රූගත කිරීම් ආරම්භ වෙලා තිබෙනවා සහ තව අලුත් නිර්මාණ 2කටත් ආරාධනා ලැබිලා තිබෙනවා. ලබන අවුරුද්දේ ඒවායේ රූගත කිරීම් ආරම්භ කරාවි.

ඇත්තටම මගේ පෙනුමත් සමග දමිළ නිර්මාණවලට වැඩිපුරම ආරාධනා ලැබෙනවා කියලා හිතෙනවා. නිමි කියන අලුත් චිත්‍රපටයේ මගේ චරිතයන් දමිළ තරුණියකගේ චරිතයක්. අප රට තුළ දමිළ නිර්මාණකරණයේ පුළුල් දියුණුවක් තවම නැති වුවත් ඒ තුළ මට ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා මම හිතනවා. ඒ නිසා වැඩිපුර දමිළ නිර්මාණවලට සම්බන්ධ වෙන්න කැමැත්තෙන් ඉන්නවා.

මම කුඩා කාලයේ මුලින්ම කැමරාවට මුහුණ දුන්නේ ළමා වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් සහ ළමා ප්‍රවෘත්ති නිවේදිකාවක් විධියට. එය මට ලැබුණු ලොකු වාසනාවක්. එහි නිෂ්පාදිකාවක් වූ චංචලා බුලත්වත්ත අක්කා තමයි ටෙලි නාට්‍යවලට මට අවස්ථාව ලබා දුන්නේ. ඒ නිසා වෙන්න ඇති අදටත් මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්නෙ. 2012 වසරේ උසස් පෙළ කරන අවධියේදි තමයි මම ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයට ආවේ. ඒ හිරු නාළිකාවේ වැහිළිහිනි ටෙලි නාට්‍යයෙන්.

ඉතින් ඒ වගේම මම එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු, රන්නාවලී, ප්‍රේමති ජායති සෝකෝ, හාස්ති කාන්ත මන්ත්‍රය වැනි වේදිකා නාට්‍යය නිර්මාණ රැසකට සම්බන්ධ වුණා. ඇත්තටම උසස් පෙළ කරන ළමයෙක් විධියට මට එම අවස්ථාව මට ලැබුණේ මගේ ගුරුතුමි ගංගා පරණවිතාන මහත්මිය නිසයි. ඇය තමයි සරච්චන්ද්‍ර මහත්මියට මාව හඳුන්වා දෙන්නේ.

මම ක්ෂේත්‍රයට පැමිණි මුල් කාලයේ මෙගා කියන සංකල්පය ඉතාම ජනප්‍රිය කාල වකවානුවක්. එකල මම එවැනි නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වුණා. නමුත් පසුව උපරිම කොටස් 75 වගේ විකාශය වන නිර්මාණවලට තමයි වැඩිපුරම සම්බන්ධ වුණේ. දැන් නම් ගොඩක් දින විකාශය වන නිර්මාණවලට මම සම්බන්ධ වෙන්නෙ නැහැ,

මම හරි කැමතියි මිනිසුන්ට එපා නොවෙන මතකේ රැඳෙන වෙනස් විධියේ හොඳ චරිත ලැබෙනවා නම්. ඒ වගේම අන්ධ චරිතයක් කරන්නත් හරිම කැමැතියි. ඉදිරියේදී විශේෂයෙන්ම සිනමා නිර්මාණ අතර හොඳ වැඩක් කරන්න පුළුවන්, රසිකයන්ට රස විඳිය හැකි, කෙදිනක හෝ හොඳම නිළිය කැටගරි එකට නිර්දේශ විය හැකි ආකාරයේ චරිතයන් කරන්නට ගොඩක් කැමැත්තෙන් ඉන්නවා.

රංගනය තමයි මගෙ වෘත්තිය. මගෙ කාලය සම්පූර්ණයෙන්ම යොදවන්නෙ කලාව සඳහා තමයි. මට කවදාවත් ජනප්‍රියම නිළිය කැටගරි එකට යන්න හෝ සම්මාන ගන්න කියලා එහෙම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. හැමදාම මම උත්සාහ කළේ කවදා හෝ හොඳම නිළිය කියන තැනට යන්න තමයි. එහිදී මම නැගී එන නිළියට එකම වසරේදී දෙවතාවක් නිර්දේශ වුණා. ඉතින් හොඳම නිළිය කියන සම්මානයට යෑමට නම් මම තව තවත් හොඳ නිර්මාණයන්වලට සම්බන්ධ විය යුතුයි. ඉතින් ඒ වෙනුවෙන් කැපවී වැඩ කරගෙන යනවා.

ඇත්තටම අපට අපේ නර්තන දක්ෂතා පෙන්වන්නට ලැබෙන්නේ රියැලිටි තරගයන් හරහා තමයි. ඒ හැර පූර්ණ කාලීනව රංගනයේ නියැළෙන නිසා බොහෝ විට නර්තන කටයුතු ගිලිහෙනවා. පසුගිය දිනවල මා සම්බන්ධ වූ මෙගා ස්ටාර් තරගයටත් විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා. මම තවම ආදරේ කරන්නේ නැහැ. නිසි කාලයේදී මේ ක්ෂේත්‍රය පිළිබද අවබෝධයක් ඇති ගැළපෙනම කෙනා ලැබුණොත් විවාහ වේවි. නැතිනම් තනිවම වුවත් ජීවත් වෙන්න පුළුවන් කියලා මම හිතනවා.