Paper Article

මම හරිම ආසයි සතුටින් උයලා ගෙදර හැමෝම සතුටින් කන හැටි සතුටින් බලන් ඉන්න-ප්‍රවීණ නිලි හෂිණිකා කරල්ලියද්ද

අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන දක්ෂ ජනප්‍රිය වගේම ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි හෂිණිකා කරල්ලියද්ද කියලා කියන්නේ. මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන නාඩගම්කරයෝ ටෙලිනාට්‍යයේ කුකුළා මුදලාලිගේ බිරිඳ වගේම ජානුගේ අම්මාට රංගනයෙන් දායක වන ඇය එම ටෙලිනාට්‍යය නිසාම මේ වනවිට අපේ රටේ කාගේත් කතා බහට ලක්වෙනවා. කොහොම නමුත් රඟපෑමට වගේම ඉවුම් පිහුම් කලාවට ඇය හරිම දක්ෂ බව කලා ලෝකයේත් බොහෝ දෙනකු දන්නා නිසා ගෙදර දොරේ කටයුතු ගැන දැනගන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තිබුනේ. ඉතින් එහිදී ඇය කතා බහ කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි. ගෙදර ඉන්න දවසට මගේ අතින් තමයි ඉවුම් පිහුම් කටයුතු, ගෙදර දොර කටයුතු ඔක්කොම වෙන්නේ. මම ගෙදර නැත්නම් මගේ අක්කා සියලු කටයුතු නොපිරිහෙලා කරනවා.

ඉතින් ඒ වගේම ගමේ නගරයේ ඕනෑම කෑමක් රහට හදන්න පුළුවනි. මම හදන අඹ මාළුවටයි, ඇබරැල්ලා මාළුවටයි පොඩි අය හරිම ආසයි. ඊට අමතරව ඉස්සෝ, දැල්ලෝ, මාළු වර්ග ඔක්කොම දාලා ස්පෙෂල් විදිහට හදන සී ෆුඩ් රයිස්වලටත් ළමයි හරිම කැමතියි. මහත්තයා නම් ආසයි මම හදන කිරි කොස් මාළුවට, පොළොස් ඇඹුලට, මාළු ඇඹුල් තියල්වලට. මම විශේෂ විදිහට හරිම රසට හදන වෙල් අල කොළ ඇඹුලටත් මහත්තයා හරිම කැමතියි.

ගමේ හැදුණු අපි ගැලපීම ගැන නම් ගොඩක් හිතනවා. කන කෑම වේල එකක් එක්ක හරි කටට රහට කන්න ඕනේ. උදේ කෑමට නම් කැකුළු හාලේ බතුයි, පොල් සම්බෝලයි, පරිප්පුයි, බොරේට හදපු මාළුයි හොඳට ගැලපෙනවා. තව මම උදේට හදන කෑම තමයි කැකුළු බතුයි, පොල් සම්බෝලයි, කරවල තෙල් දාලා. දවල්ට නම් තම්බපු බතට කොස් උයලා, කරවල උයලා, අඹ මාළුවක් රසට හදලා පැෂන් කොළ සම්බෝල හරි මඤ්ඤොක්කා කොළ මැල්ලුම හරි හදලා ගත්තාම බඩ පැලෙනකම් කන්න පුළුවන්.

ඉතින් ඒ වගේම එකම එළවළුව වුණත් එකම රසට කනකොට ළමයින්ට වුණත් එපා වෙනවානේ. ඒ නිසා විවිධ එළවළු වර්ග, එක එක විදිහට හදලා අත්හදාබැලීම් කරනවා. මට උයන එක කවදාවත්ම වදයක් විදිහට දැනිලා නැහැ. සතෙකුට කෑම වේලක් හැදුවත් මම ඒක හදන්නේ එයාලා කන්න කැමතිම විදිහට හරිම සතුටින්. මම හරිම ආසයි සතුටින් උයලා, ගෙදර හැමෝම සතුටින් කන හැටි, සතුටින් බලන් ඉන්න.

ආසාවෙන්, කැමැත්තෙන්, ආදරෙන් හදනවා නම් ඕනෑම කෑමක් රස වෙනවා කියලයි මම නම් හිතෙන්නේ. ඊට අමතරව හදන කෑමේ පාට, රසය, ගුණය ආරක්ෂා වෙන විදිහට හදන ක්‍රමයත් කෑමක් රස වෙන්න බලපානවා. මේ ඔකොමවල එකතුවක් අත්ගුණේ විය හැකියි. ඒ හැරෙන්න අතකින් කෑමක් පිසුව පමණින් රස වෙන්නේ නෑනේ. උයලා ඉවර වෙලා මුළු කුස්සියම අස් කරලා සින්ක් එකට දාපු ඔක්කොම භාජන හෝදලා තමයි මම කෑම කන්නේ. මොන තරම් රෑ වුණත්, මොන තරම් බඩගින්නේ හිටියත් ඒ පුරුද්ද මගේ අතින් වෙනවා.

මගේ අම්මාගෙන් වගේම, අත්තම්මලා, කිරි අම්මලා, නැන්දලා, පුංචිලා එක්ක පුංචි කාලේ ඉඳලාම හිටපු මම ඔවුන් අනුගමනය කළ කළමනාකාරීත්වයන් හොඳින් දැක්කා. සමහර අරපිරිමැසුම් ක්‍රම ගැන හිතා ගන්නත් බෑ. ගෙදරක ගෘහ මූලිකයා පිරිමියා වුණත්, ගෘහයක දියුණුව, පරිහානිය තීරණය වෙන්නේ ඒ ගෙදර මව, බිරිඳ, ගෘහණිය කටයුතු කරන විදිහට. අදටත් එළවළුවක්, හාල් ඇටයක්, පරිප්පු ඇටයක්වත් අහක නොයන විදිහටයි මම කටයුතු කරන්නේ.

ඉතින් ඒ වගේම අවුරුදු මේසෙට අවශ්‍ය සියලුම කැවිලි වර්ග හදන්නේ මම. කිරිබත් ටික, කට්ට සම්බෝලේ, මාළු ඇඹුල් තියල් ටික පවා අතින්ම හදලා මේසෙට තිබ්බාම හිතට දැනෙන සතුට විස්තර කරන්න බැරි තරම්. අනිත් දේ තමයි දරුවෝ හරිම ආසයි මගේ අම්මාට රසට උයන්න පුළුවන් කියලා කටපුරා කියන්න. ස්වාමියා ආසයි මගේ බිරිඳට ඕනෑම කෑමක් රසට හදන්න පුළුවන් කියලා කියන්න. එහෙම බලනකොට රසට උයන්න පුළුවන් බිරිඳක් ඉන්නවා කියන්නේ පවුලටත් ලොකු ශක්තියක්.

මම කාලය කළමනාකරණය කර ගැනීම වෙනුවෙන් උදෑසන අවදි වෙන එක, ඉක්මණින් වැඩ කරන එක වගේම, සැලසුමකට අනුව වැඩ කිරීම කියන කරුණු ගැන හිතන නිසා කාලය කවදාවත් බාධාවක් වෙලා නෑ. මොනතරම් රාජකාරි බහුල වුණත්, මම ගෙදරින් එළියට බහින්නේ දරුවන්ගේ, මහත්තයාගේ බත්පත හදලා. ඒ නිසා රඟපෑම් බිමේදී මගේ අතට බත්පත ලැබුණාම දරුවන්ට කෑම තියෙනවාද දන් නෑ කියන ප්‍රශ්නාර්ථය කවදාවත් හිතට දැනිලා නෑ කියලයි මේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනිය අවසාන වශයෙන් පවසලා තිබුනේ.