Paper Article

මම සිංහලද දෙමළද කියන එක අදාළ නැහැ, හැමෝම අහන්නේ ඔයා ශ්‍රී ලංකන්ද කියලා-නිලි නිරංජනී ශන්මුගරාජා

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න ඉතාම දක්ෂ ජනප්‍රිය වගේම සුන්දර රංගන ශිල්පිනියක් තමයි නිරංජනී ෂන්මුගරාජා කියලා කියන්නේ. ඉතින් ඒ වගේම රටවල් 86ක සිනමාපට 1300කට අධික සංඛ්‍යාවක් අභිබවා ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී සුනාමි සිනමා නිර්මාණය තුළින් අපේ රටට සම්මාන ද්විත්වයක් ලබාගැනීමට හැකිව තිබෙනවා. ඒ හොඳම අධ්‍යක්ෂවරයා ලෙස සෝමරත්න දිසානායක මහතා සහ හොදම නිළිය ලෙස අපි අද කතා කරන නිරංජනී ෂන්මුගරාජා කලාකාරිණිය සම්මානයට පාත්‍රවෙමින්, ඉතින් මේ ලබාගත් ජයග්‍රහණය ගැන ඇය පහුගිය දවසක පුවත්පතක් එක්ක කතා බහ කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

අපි සාමාන්‍යයෙන් කියනවා ජීවිතේට ලොකු දුකක් හෝ ප්‍රශ්නයක් එන්නේ නොහිතන ලොකු සතුටක් දෙන්න කියලා. කොරෝනා වසංගතයත් එක්ක ලංකාවේ සිනමා කර්මාන්තය කඩා වැටිලා කලාකරුවො ගෙවල්වලට වෙලා වැඩ නැතුව ඉන්න කාලයක් මේක. ඒ පීඩා ඔක්කොම එක්ක ජීවිතේට චිත්‍රපටයක් බලන්නවත් පුළුවන් වෙයිද දන්නේ නැහැ කියලා අවිනිශ්චිත කාලෙක මේ වගේ සම්මානයක් ලැබීමත් මට ලොකු සතුටක්.

නයිජීරියාවේ යොනගෝවා නුවරදී පළමුවරට සංවිධානය වූ Bayelsa අන්තර්ජාතික සිනමා උලෙළේදී සුනාමි චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම නිළියගේ සම්මානය මට ලැබුණේ. රටවල් 86ක සිනමා නිර්මාණ 1300කින් මේ තෝරාපත් කරගැනීම කරලා තියෙන්නෙ. ඇත්තටම සිනමා නිර්මාණ 1300කින් හොඳම නිළියට නාමයෝජනා ලැබීම පවා මට සතුටක්. මේ සම්මාන උලෙළේදි සුනාමි චිත්‍රපයට නාමයෝජනා නවයක් තිබුණා. හොඳම අධ්‍යක්ෂණය, හොඳම චිත්‍රපටය, වසරේ හොඳම චිත්‍රපටය, හොඳම කැමරා අධ්‍යක්ෂණය, හොඳම නළුවා, හොඳම නිළිය ඇතුළු සම්මාන නවයකට නම් යෝජනා වෙලා තිබුණා. මේ සම්මාන උලෙළ 2020 පවත්වන්න නියමිතව තිබුණේ. පසුගිය අවුරුද්දෙ කොරෝනා ව්‍යසනය වගේම නයිජීරියාවේ දරුණු කෝලාහල ඇති වුණු නිසා සම්මාන උලෙළ කල්ගියා. ඒ නිසා ඇත්තටම මට මේ සම්මානය ගැන තිබුණු බලාපොරොත්තුවත් නැති වුණා.

පසුව නැවත මේ සම්මාන උලෙළ පවත්වන්න තීරණය කළා. මේ සම්මාන උලෙළේ විනිශ්චය මණ්ඩලය පවා විවිධ රටවල චිත්‍රපට අධ්‍යක්ෂවරුන් නියෝජනය කළා. නැවත සම්මාන උලෙළ සංවිධාන කරද්දි ඒ වෙනකොට තිරගත කරපු අලුත් චිත්‍රපට ඇතුළත් කළා. ඒ වෙද්දි සම්මානය ගැන කිසිම බලාපොරොත්තුවක් මට තිබුණේ නැහැ. මට නාමයෝජනාවත් තියෙයි කියලා මම හිතුවේ නැහැ. මේ සම්මාන උලෙළෙදි නැවත හොඳම නිළියට නාමයෝජනා ලැබුණාම මම ඇත්තටම සතුටු වුණා.

ලංකාවේ තියෙන සම්මාන උලෙළකට පවා යන්න බැරි වුණාම අපිට දුක හිතෙනවා. අන්තර් ජාතික සම්මාන උලෙළකදී මගේ නමට කලින් මගේ රටේ නම කියන්නේ. නිරංජනී ශන්මුගරාජා කියන කෙනාට වඩා ශ්‍රී ලංකාව කියන නම තමයි එතනදි වඩා ඉස්මතු වෙන්නේ. මගේ නමත් එක්ක මගේ රටේ නම කියනවා මට අහන්න දකින්න ලැබෙන එකත් ලොකු වරමක්. මට තියෙන ලොකුම දුක ඒක. එතැන මම සිංහලද දෙමළද කියන එක නෙමෙයි අදාළ වෙන්නේ. හැමෝම මගෙන් අහන්නේ ඔයා “ශ්‍රී ලංකන්ද?” කියලා. මට මේ සම්මාන උලෙළට යන්න ලැබුණා නම් මම යන්නේ මේ සම්මානය අතට ගන්නවටත් වඩා ලෝකේ වෙනත් රටක මගේ රටේ නමත් එක්කම මගේ නම කියනවා අහන්න සහ දකින්න. ඒ මොහොත විඳීන්න බැරි වුණ එක ගැන හරිම දුකයි. ඒ මොහොතෙ මම එතැන හිටියා නම් අනිවාර්යයෙන්ම මගේ ඇඟේ හිරිගඩු පිපෙනවා.

ඒ වගේම තව දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් සම්මානයක් ලැබුණොත් මම ඒක ගන්න යන්න ඕනේ. නමුත් මේ සම්මානය මාව හොයාගෙන අපේ රටට එයි. ඒක වෙනම සතුටක් මට. ඒක වෙනම විදිහකට විදිනවා.

මට මේ චරිතය ලොකු අභියෝගයක් වුණා. මම අම්මා කෙනෙක් නෙමෙයි. මට දරුවෝ නැහැ. ඒ නිසා කල්‍යාණි කියන මවගේ චරිතය මට ලොකු අභියෝගයක්. කල්‍යාණි කියන්නේ දරු දුක හඳුනන තමන්ගේ නැති වුණු දරුවා ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න අම්මා කෙනෙක්. මම හිතන්නේ රංගන ශිල්පිනියක්ට තියෙන ලොකුම අභියෝගය තමන් සැබෑ ජීවිතයේදී තමන් විඳලා නැති අත්දැකීමක් චරිතයක් ඔස්සේ නිරූපණය කිරීම. මම හිතනවා කල්‍යාණිට මම සාධාරණයක් ඉටු කළා කියලායි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.