Paper Article

මම වාසනාව දෝතින් අරං ආපු කෙනෙක්, ඒත් මගේ වයස නම් රහසක්-ජනප්‍රිය ප්‍රවීණ නළු ලකී ඩයස්

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය වගේම කඩවසම් ප්‍රවීණ රංගන ශිල්පියෙක් තමයි ලකී ඩයස් කියලා කියන්නේ. ඉතින් ඒ වගේම රංගනයට අමතරව නිෂ්පාදකවරයකු, අධ්‍යක්ෂවරයකු ලෙස මෙන්ම ඔහුගේ කඩවසම් පෙනුම නිසාම නිරූපණ ශිල්පියකු ලෙස ද හඬ පෞරුෂය නිසාම නිවේදන ශිල්පියෙක් ලෙසත් හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් මේ ප්‍රවීණ රංගන ශිල්පියා කාලෙකට පස්සේ පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් මෙන්න මේ විදිහටයි පවසලා තිබුනේ.

කලාවට සම්බන්ධ වැඩ නම් මම කාලෙකින් කලේ නැහැ. කෙටියෙන්ම කිව්වොත් මේ දිනවල කාලය නිකරුණේ කා දමමින් තමයි කාලය ගෙවෙන්නේ. මම දැන් කලාවට සම්බන්ධ වෙලා වසර 40 කට කිට්ටුයි. එදා මෙදාතුර කවදාවත් මම රඟපෑම් කටයුතු බදාගෙන කරලා නෑ. තෝරා බේරාගෙනයි වැඩ භාරගත්තේ. පුරුද්දක්, ප්‍රතිපත්තියක් විදිහට වසරකට මම භාරගන්නේ ටෙලිනාට්‍ය එකක්, චිත්‍රපට එකක් වගේ තමයි. සිනමා සක්විති ගාමිණී ෆොන්කා මහත්තයා දවසක් මට කියපු කතාවක් තමයි ලකී කරන වැඩේ හරියට කරනවා නම්, හන්දියක් හන්දියක් ගානේ පෙනී ඉඳලා ජනප්‍රියත්වය හොයන් යන්න ඕනේ නෑ කියන එක. ඒ වචන ටිකට මම අදටත් ගරු කරනවා.

ඉවක් බවක් නැතුව ජනප්‍රියත්වය පස්සේ ගිය කෙනෙක් නෙමෙයි මම. ඒත් රඟ දැක්වූ පළමු ටෙලි නාට්‍යයෙන්ම, පළමු චිත්‍ර පටයෙන්ම හිතුවාටත් වඩා ලොකු ජනප්‍රියත්වයක් ලැබුවා. රඟ දැක්වූ පළමු චිත්‍රපටයේ සිටම චිත්‍රපට කිහිපයක්ම Box Office වාර්තතා තබා තිබුණා. ඉස්සර මට මතකයි සරසවි Film Week එකට තෝරාගත්ත චිත්‍රපට ප්‍රදර්ශනය කරනකොට ප්‍රේක්ෂකයන් මාව සිනමා ශාලාවල් ඇතුළට එක්ක ගියේ විසිල් ගහලා, මල් මාලා දාලා, කරවල්වල තියාගෙන. අදටත් ඒ ආදරණීය පිළිගැනීම් සොඳුරුම මතකයන්. කොහොම නමුත් එදා වගේම අදත් රඟදක්වන සෑම චරිතයකින්ම ලොකු ජනප්‍රියත්වයක්, ප්‍රේක්ෂක ආදරයත්, ගෞරවයත් නොවඩුව ලබනවා.

ඉතින් ඒත් එක්කම තාක්ෂණික දියුණුවත් සමඟ භාවිතා කරන විද්‍යුත් උපකරණ හරහා ලොවපුරා සිටින මට ආදරය කරන රසිකයගෙන්, කෙටි පණිවිඩයේ සිට සුභපැතුම්, ආශිර්වාදාත්මක ලිපි නොඅඩුව ලැබෙනවා. නමුත් අදටත් මට හිතෙනවා කෙනෙකු මුහුණට මුණගැසුණාම දක්වන අගය කිරීම් හදවතට හරිම ප්‍රබලව දැනෙනවා කියලා. ඇත්තටම මොන තරම් දක්ෂ වුණත් වාසනාවක් නැත්නම් කෙනෙකුට ලොකු ගමනක් යන්න බෑ කියලා මට හිතෙනවා. වෘත්තීය මට්ටමෙන් කෙනෙක් ජනප්‍රිය වෙන්නත් වාසනාව කියන දේ උපරිමයෙන් බලපානවා. පෞද්ගලිකව මට හිතෙනවා මම වාසනාව දෝතින් අරං ආපු කෙනෙක් කියලා. මොකද මම මගේ ජීවිතයේ කිසිම දෙයක් කට්ටක් කාලා ලබාගත්තේ නෑ.

ලකී කියන්නේ වාසනාවන්නේ. මොකද පුංචි කාලේදී පවුල, පාසල තුළ වගේම පසු කාලීනව නියැලුනු සෑම වෘත්තියකමත් මම ජනප්‍රිය චරිතයක් බවට පත්වුණේ ආයාසයෙන්. බෞද්ධාගමේ කෙනෙක් විදිහට, බෞද්ධ දර්ශනයට අනුව ජීවත් වන කෙනෙක් හැටියට මට හිතෙන්නේ පෙර සංසාරේ රැස්කළ කුසල් බල මහිමයෙන් මෙතරම් ජනප්‍රියත්වයක් ලබනවා කියලා. ඉතින් ඒ වගේම මොනදේ කරත් නිරෝගීකම ජීවිතයට අත්‍යවශ්‍ය නිසා, කෑම බීම පාලනය, ව්‍යායාම කිරීම වගේ දේවල් නම් මම අතින් නිරතුරුව වෙනවා. ඊට අමතරව සිතුවිල්ලකින්වත් කෙනෙකුට හානියක්, අවැඩක් නොකරන සිතුවිලි දහරාවකින් හදවත පොහොසත් නිසාම, එය රැස් වළල්ලක් විදිහට මටම ආශිර්වාදයක් වෙනවා කියලා මට නිතර හිතෙනවා. පුළුවන් හැම වෙලාවකම සතුටින් ඉන්නවා. හදවතින්ම හිනා වෙනවා. යහපත් දේ දීම තුළින් මමත් නිරතුරුවම යහපත් ප්‍රතිඵල ලබනවා කියලා හිතට දැනෙනවා. මගේ වයස නම් රහසක්.

ඉතින් ඒ වගේම ආදරය කරපු, ආදරය විඳපු සොඳුරු ආදර වන්තයෙක් තමයි මමත්. පාසල් යන කාලේ ඉඳලා පෙම්වතියන්ගෙන් නම් අඩුවක් තිබුණේ නෑ. පාසල් ප්‍රේමයේ මතක හරිම සුන්දරයි. හාදුවක්වත් ගන්න අවසර නැතිව පවත්වන ඒ ප්‍රේමණීය ආදරයන් හරිම පාරිශුද්ධයි. පෙම්වතියකගේ බැල්ම පවා හරිම ගෞරවාන්විතයි. බලකිරීම්, පළිගැනීම්, ඒ ආදර කතාවල තිබුණේම නෑ. ඒ නිසාම අදටත් ඒ අය මගේ හොඳම යෙහෙළියන් විදිහට කතාබහ කරනවා. මොහොතක් ගානේ වෙනස් වෙන අනිත්‍ය දෙයක් විදිහට තමයි මම ජීවිතය නම් දකින්නේ. කෙටියෙන්ම කියනවා නම් මැරෙන මිනිස්සු කියලා හිතලා තමයි හැම තිස්සේම ජීවත් වෙන්න උත්සාහ කරන්නේ. එතකොට අපේ අතින් වැරදි, අඩුපාඩු, හිත් රිදීම් සිදුවන්නේ හරිම අඩුවෙන්.

කොලු ගැටයාගේ කාලේ ඉඳලාම මම හරිම ආසයි ලස්සනට අඳින්න. අදටත් මම මට ගැලපෙන විදිහට විලාසිතා කරනවා. ලංකාවේ නම් දරපු ඇඳුම් නිර්මාණ ආයතන පවා මාගේ ඇගේ හැඩයට ඇඳුම් නිර්මාණය කරලා ඔවුන්ගේ වෙළෙඳපොළ වැඩිදියුණු කළ අවස්ථා තියෙනවා. ඉතින් මොන ඇඳුමක් ඇන්දත් මට කඩවසම් පෙනුමක් ගේනවා. මම සිනමාවට ප්‍රවිෂ්ඨ වුණ මුල් කාලයේ රැවුල වවපු රංගන ශිල්පීන් හිටියේ නැති තරම්. ඒ නිසා රැවුල නීට් එකට වවලා හිටපු ගොඩක් අය මාව අනුකරණය කරන්න අරං ලකී කට් කියලා කපලා තිබුණ. ඊට අමතරව මම රඟපෑම් වෙනුවෙන් අඳින ටයි, කෝට්, සපත්තු, ටීෂර්ට්, ෂර්ට් පවා ඒ ඒ කාලවලදී වෙළෙඳපොළේ පවා විශාල ඉල්ලුමක් සහිත වෙලා තියෙනවා.

මම නළුවෙක් වගේ ඉන්න උත්සාහ ගත්තාට කවදාවත් වෘත්තීය මට්ටමෙන් නළුවෙක් වෙන්න තුන්හිතකවත් අදහසක් තිබුණේ නෑ. මාව කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් කිරීමේ මූලිකම අරමුණ වෙලා තිබුණේ ලොකු දොස්තර මහත්තයෙක් කරන්න. අම්මාගේ හිතේ තිබිලා තියෙන්නේ මාමා වගේ නම් දරාපු නීතිඥවරයෙක් කරන්න. නමුත් මම පාසල් අවසන් කරනකොට අතට ගත්තේ ගිටාර් එකක්. ජීවිතයේ වඩාත්ම සංවේදී වුණ දවස මගේ තාත්තාගේ වියෝව අදටත් හදවතට වේදනාවක් ගෙන එනවා කියලයි මේ ප්‍රවීණ රංගන ශිල්පියා අවසාන වශයෙන් පවසලා තිබුනේ.