Paper Article

මම ලස්සන කෙල්ලෙක් නොවුනට මම හරිම බුද්දිමත් කෙනෙක්-ජනප්‍රිය නිලි දිනිති වල්ගමගේ

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න සුරූපී රංගන ශිල්පිනියක්, නිරූපණ ශිල්පිනියක් වගේම දක්ෂ නිවේදන ශිල්පිනියක් තමයි දිනිති වල්ගමගේ කියලා කියන්නේ. මේ දිනවල සියත ටීවී නාලිකාව ඔස්සේ විකාශනය වන රේස් ටෙලිනාට්‍ය හරහා වගේම කොළඹ ඉතාලිය ටෙලිනාට්‍ය හරහාත් අපට ඇයගේ රංගන හැකියාවන් දැකගන්න ලැබෙනවා. ඊට අමතරව සංජය නිර්මාල්ගේ BTS (Behind the stage) නාට්‍යයේ රූගතකිරීම්වලට දායක වන දිනිති නාලක විතානගේ අධ්‍යක්ෂණය කරන ෂැඩෝ නාට්‍යයේ චරිතයක්ද රඟපාන අතරේ කාලයකට පසුව පුවත්පතකට ඇයගේ අලුත්ම තොරතුරු පවසලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

මේ දවස්වල මම හරිම කාර්ය බහුලයි. කොළඹ ඉතාලිය, ෂැඩෝ, සහ BTS ඩ්‍රාමාවල රගපෑමට අමතරව BTS නාට්‍යයේ පිටපත ලියන්නෙත් මම. ඒ වෙනුවෙන් මගේ යාළුවකු වන දුෂි අමරසිංහ සම්බන්ධ වෙනවා. ඉතින් මේ වැඩ නිසා කාර්ය බහුලයි. මම නාට්‍යයක තිරපිටපතක් ලියන පළමු අවස්ථාව මෙයයි. දුෂි සහ මම එකතුවෙලා මේ පිටපත ලියන්න පටන් ගත්තේ පසුගිය කෝවිඩ් කාලයේ වෙච්ච සිදුවීම් සහ පුද්ගලිකව අපි මුහුණදුන් සිදුවීම් මේ තිර පිටපතට ඇතුළත් කරමින්. අපේ එදිනෙදා ජීවිත්තේ මුහුණදුන් සිදුවීම්, සුන්දර අවස්ථා මේ සියල්ල අපි මේ කතාවට ගලපාගෙන තියෙනවා. ඒ ඔක්කෝම එකතු කරලා පිටපතක් ලියන්න හිතුවා. සංජය නිර්මාල් පිටපතට කැමති වුණා.

ඉතින් රඟපෑමට අමතරව මම ලියන්න හරිම ආසයි. කොහොමටත් ඒ ආසාව ඇතිවුණේ අද ඊයෙක නෙවෙයි. පොඩි කාලයේ ඉඳලම මම ලියන්න ආසා කළා. සමහර විට බොහෝ දෙනා බාහිරව මගේ ජීවිතය දිහා බලලා පන නැති කෙනෙක් කියලා හිතන්න පුළුවන්. ඒත් හැමෝටම වගේ මටත් ප්‍රශ්න තියෙන්න පුළුවන්. එත් ඒවා බාහිරව නොපෙනෙන්නේ මම ඒවා ලියලා තියෙන නිසා වෙන්න ඇති. එතකොට හිත නිදහස්නේ. එහෙම වුණාම ජීවිතය සැහැල්ලුයි. ප්‍රේමය, ආදරය, හාස්‍ය, ජීවිතය මේ සියල්ල සමඟ වූ මගේ ජීවිතේ අත්දැකීම්වලට මම හරිම ආසයි. මම හිතන විදියට ජීවිතේ බොහෝ අත්දැකීම් මට තියෙනවා. ඒ වගේම මම හොඳ සවන් දෙන්නෙක්. බොහෝ දෙනෙකුට ඇහුම්කන් දෙන්න මම කැමතියි. සේවය කරද්දි මිනිස්සු දහසක් විතර එක්ක වෙලාවකට කටයුතු කරන්න ලැබෙනවා. ඒ හැමෝම කියන දේ අහන් ඉන්න තරම් මම ඉවසිලිවන්තයි. ඒ වගේම විසඳුම් ලබා දෙන්නත් කැමතියි. ඒ නිසා මගේ ජීවිතයේ මගේ මතක මනසේ කතාන්දර ගොඩාක් තියෙනවා.

පසුගිය දිනවල මම සමාජ මාධ්‍යයේ සාකච්ඡා වලට පෙනී සිටියා. එහිදි අදහස් ප්‍රකාශ කළේ හරිම විවෘතව සහ සෘජුවයි. ඒ කතා කළ දේ ගැන හරි විදියට සහ වැරදි විදියට හිතපු දෙපාර්ශවයෙන් ලැබුණු ප්‍රතිචාර බොහොමයි. එහිදි මම තේරුම් ගත්ත දේ නම් ගැහැණු ළමුන්ට මේ සමාජයේ බොහෝ ප්‍රශ්න තියෙනවා. ඒ ගැන එයාලට කියන්නත් පුළුවනි. හැබැයි ඒවා ප්‍රකාශ කරන්න වේදිකාවක් නැහැ කියන එක. ලස්සන කියන මාතෘකාව ගත්තොත් මම ලස්සන කෙල්ලෙක් නෙවෙයි. ඒ කාලයේදී අවුරුදු කුමාරි තරගයකට තේරිලා යන්න හැදුවාම අපේ අම්මා මට කිව්වේ අපෝ ඕවාට යන්න ඕනෑ ලස්සන අය කියලා. ඒ හන්දා ඕවාට ගිහින් ලැජ්ජා වෙන්න එපා කිව්වා. එදා ඉඳලා මම හිතුවේ මම ලස්සන කෙනෙක් නෙවෙයි කියලයි. ලස්සන නැති වුණාට මම හරි බුද්ධිමත් කියලා කියන්න පුළුවනි. ඒ වගේම අදහස් ප්‍රකාශ කිරීමේදී මට හොද කටක් තියෙන බවත් මම දන්නවා. මම අදහස් ප්‍රකාශ කරන්න බය නැහැ.

ගෙවූ ජීවිතය ගැන මම තෘප්තිමත්. කොහොමටත් ජීවිතයේ මම ලද දෙයින් සතුටු වන කෙනෙක්. ඒ නිසා අතෘප්තිකර නැහැ. ඒ වගේම ලැබෙන දේ කරන දේ උපරිම කැපවීමෙන් කරන කෙනෙක්. ජීවිතේ සතුටු වෙන්න කියලා මහා වස්තු කන්දරාවක් තිබිය යුතුය කියලා හිතන කෙනෙක් නෙවෙයි. මම තව කෙනෙක් වගේ වෙන්න ඕනෑය කියන තරගයක් මට නැහැ. මම යන්න ඕනෑ තැන මම දන්නවා. හැබැයි. එහෙමයි කියලා මගේ අරමුණින් පිට පැනලා යන්න කැමති නැහැ. මට කරන්න වැඩ ගොඩාක් තියෙනවා. උපරිම බිසි වෙලා ඉන්නෙ. ඒ කරන වැඩවලට උපරිම සාධාරණය කැපවීම කරන්නට ඕනෑ. මොකද ආදරය කරන්න පටන් ගතොත් ඒකට කාලය වෙන්කරන්න බැරි නම් ඒක ආදරයක් නෙවෙයි. අනෙක ආදරේ කරන්න ගත්තොත් මම හරි බොළඳ වෙනවා. හරි ආදරේට මම හරි ආදරෙයි. ඒ තරමටම ආදරේදි මම අවංකයි. මගේ ලෝකයේ තියෙන්නේ හරිම ෆැන්ටසි ලව් එකක්. ඒ වගේ කෙනෙක් හමු වුණාම මගේ ලව් ස්ටෝරි එක ගලා යාවි කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.