Paper Article

මම රඟපාපු පළවෙනි ටෙලිනාට්‍යයම ලංකාවේ ජනප්‍රියම නාට්‍ය බවට පත්වුණා-නාඩගම්කාරයෝ හී ගීතිකා

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන නවක රංගන ශිල්පිනියක් තමයි ප්‍රවීනා කල්පනී දිසානායක කියලා කියන්නේ. කොහොම නමුත් ඇයව මේ වනවිට බොහෝ දෙනෙක් හදුනන්නේ ගීතිකා කියන නමින්. ඉතින් ඒ ඇය රංගනයෙන් දායක වන මුල්ම ටෙලිනාට්‍ය වන නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යය නිසයි. ඒ වගේම ඇය නිරූපණයෙන් දායක වූ චන්ද්‍රා පායන්න ගීතයටත් ඉහළ ප්‍රතිචාරයක් ලැබුණා. කොහොම නමුත් මේ වනවිට අපේ රටේ බොහෝ ප්‍රේක්ෂක පිරිසකගේ ආදරය දිනාගෙන ඉන්න මේ සුරූපී රංගන ශිල්පිනිය ඇයගේ අලුත්ම තොරතුරු පහුගිය දවසක පුවත්පතකට පවසලා තිබුනේ මෙන්න මේ විදිහටයි. නිළියක් වෙන්න නම් මම කවදාවත් හිතලා තිබුණේ නැහැ. නමුත් නොහිතපු මොහොතක දෛවයේ සරදමකට අහම්බෙන් හරි නිළියක් වුණා. දැන්නම් මේ ගැන මම සිය දහස් වාරයක් සතුටු වෙනවා.

මට නිළියක් වෙන්න මූලික අඩිතාලම වැටෙන්නේ කවඩියගේ චරිතය නිරූපණය කරන සංගීත් අයියා නිසා. සංගීත් අයියත් අනුරාධපුරයේ. ඔහු ඉගෙන ගත්තේ නිවංතක චේතියේ මහා විද්‍යාලයේ. අපේ එහා පැත්තේ ඉස්කෝලේ නිසා කාලෙක ඉඳන් ඔහුව හඳුනගෙන තිබුණා. ඒ හිතවත්කම තමයි නිළියක් වීමේ කාරණාවට මග සකස් කලේ. ඉස්කෝලේ යන කාලේ ඉඳලම ඩාන්සින්වලට මගේ ලොකු කැමැත්තක් තිබුණා. ඒ වගේම ළමා නාට්‍ය කිහිපයකත් රංගනයෙන් දායක වෙලා තිබුණා. ඒ වුණාට මගේ හීනය වෙලා තිබ්බේ කවදාහරි වෛද්‍යවරියක් වෙන්න. ඒ වෙනුවෙන් මම ගොඩාක් මහන්සි වුණා. නමුත් ඒ අවස්ථාව පසෙකලා නිළියක් වීමේ වාසනාව මා ඉස්සරහට ආවේ මටත් හිතා ගන්න බැරි විදිහට.

මම දිගටම රංගනයේ නිරත වෙනවද කියන එක තාම තීරණය කරලා නැහැ. ඉහළට ඉගෙන ගන්නත් ආසයි. මේ නිසා තමයි උසස් අධ්‍යාපන කටයුතු ආරම්භ කළේ. හැබැයි රංගනය කියන්නේ දැන් මම කැමැත්තෙන් කරන දෙයක්. ඒක නිසා අනිත් දේවල් සමග රංගනයත් සමබරව කරගෙන යන්න උත්සාහ කරනවා. තනියම ඉන්නකොට මම කල්පනා කරනවා මගේ ජීවිතේ ඇවිත් නතරවෙලා තියෙන තැන ගැන. ඇත්තටම මට හිතා ගන්න බැහැ. මමත් දැන් ලංකාවේ ජනප්‍රිය නිළියක්. හැබැයි සාමාන්‍ය කෙල්ලෙක් විදිහට හිටපු කාලෙයි දැන් ජීවිතෙයි ලොකු වෙනසක් නැහැ. සිතුවිලිවලින් මම තාමත් එදා ප්‍රවීනා උනාට ප්‍රේක්‍ෂකයන් අතරේ ඊට වඩා ඉහළ තැනක් ලැබිලා. ඒක තමයි මේ දෙකේ තියෙන වෙනස.

හැබැයි ජීවිතේනම් ගොඩක් කාර්යබහුල වෙලා. ඉස්සර තිබුණ නිදහස දැන් නැහැ. ස්කූල් බස් එකේ උදේ පාන්දර එප්පාවල ඉඳලා අනුරාධපුරයට ගිය සැහැල්ලුව දැන් නැහැ. අද පාරේ බස් එහෙකවත් නිදහසේ යන්න බැහැ. හැමෝම ගීතිකා ගීතිකා කියලා කතා කරනවා. එහෙම ආදරයක් ලබන්න වාසනාවත් තියෙන්නත් ඕනි. නමුත් කිරිල්ලියක් වගේ නිදහසේ හිටපු ජීවිතේ අහිමිවීම ගැන නම් පුංචි දුකක් හිතේ නැතුවම නෙමේ.

ආදරය ගැන නම් මම තාම හිතලා නැහැ. ඉස්කෝලේ යන කාලේ අධ්‍යාපන කටයුතුවලට මුල් තැන දුන්නා මිසක් ප්‍රේමවන්තියක් උනේ නැහැ. තවමත් ඒ දේවල් වලට කල් තියෙනවා කියලා මට හිතෙනවා. මොකද මම ගෙදර එකම දුව. ආදරය ගැන හිතනකොට අනිවාර්යයෙන්ම දෙමාපියන්ගේ සතුට ගැනත් හිතන්න වෙනවා. ඒකනිසා ප්‍රේමය කියන කතාව අනාගතයට භාරදීලා වර්තමානයේ කටයුතු සාර්ථක කර ගන්න තමයි උත්සාහ කරන්නේ. මම ප්‍රේමවන්තියක් නොවුණට මට ආකර්ෂණය වුණු ආදරය කරන පිරිසක් ඉන්නවා. ඒ අයට දොස් කියන් මට බැහැ. මොකද ඒ අය ළෙන්ගතු ගීතිකාට. නමුත් ප්‍රවීනා කල්පනී ගැන දන්නේ මමත් මගේ අවට සිටි පිරිසත් විතරයි. ඒ නිසා ගීතිකාගේ අනාගතයට වඩා වෙනස් අනාගතයත් ප්‍රවීනාගේ ජීවිතයට උදා වෙයි.

මේ ලැබුණ ජනප්‍රියත්වය ආභරණයක් කියලයි මම හිතන්නේ. හැබැයි ඒ ආභරණ පැලඳගෙන අඩියක් දෙකක් උඩින් යන්න නම් හිතක් නැහැ. තවමත් අනුරාධපුරයේ වෙල්යාය මැද්දෙන් දුවපු සරල ජීවිතයට තමයි කැමැති. ඒ නිසා ඉස්සරහට මොන ජනප්‍රියත්වයක් ලැබුණත් මේ ගෙවන සරල ජීවිතේ දශමයක්වත් වෙනස් වෙන එකක් නැහැ. කෙනෙක්ට ජීවිතයේ ලැබෙන පළවෙනි අවස්ථාව ස්වර්ණමය අවස්ථාවක් වෙනවානම් ඒක තමයි ලොකුම භාග්‍ය. මට ඒ මහඟු අවස්ථාව උදා වුණා. රඟපාපු පළවෙනි නාට්‍යයම ලංකාවේ ජනප්‍රිය නාට්‍ය බවට පත් වුණා. ඒ නිසා අනුරාධපුරයේ ඉන්න මම එක රැයකින් ජනප්‍රිය නිළියක් වුණා. ආරම්භය හරිම සතුටුදායකයි. අවසානයත් ඒ වගේම ජයග්‍රහණයකින් නිමා කරන්න බලාපොරොත්තු වෙනවා කියලයි ඇය අවසාන වශයෙන් පැවසුවේ.

Leave a Comment