Paper Article

මම මොන තරම් ජනප්‍රිය වුණත් මගේ සරලකම කවදාවත් නැතිකර ගන්නේ නැහැ-ජනප්‍රිය නළු කෝකිල පවන්

වේදිකාව, සිනමාව, ටෙලිනාට්‍යය තුල භාව්‍ය හැඟීම් ප්‍රකාශනය හරහා මැනවින් දස්කම් පාමින් කුඩා කාලයේ සිට අද දක්වාම ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය දිනාගත් දෙස් විදෙස් සම්මාන රැසකට පාත්‍ර වුනු අපේ රටේ දක්ෂ නිහතමානී කළා කරුවෙකු තමයි කෝකිල පවන් ජයසූරිය කියලා කියන්නේ. අදටත් සිරි රජ සිරි චිත්‍රපටය නරඹන විට අපේ ඇසට කදුළක් ගෙනෙන්නේ පුංචි කෝකිලගේ රංගනය එතරම්ම අපේ හදවත් හොරකම් කළ නිසයි. කුඩා කල සිටම තම රංගන කුසලතාව වගේම ගායන හැකියාවත් මනාව ප්‍රකට කළ කෝකිල අද බොහෝ කලා හැකියාවන්ගෙන් පිරිපුන් විවාහක තරුණයෙක්. මේ දිනවල ස්‍වර්ණවාහිනි නාළිකාවේ විකාශනය වන නාඩගම්කාරයෝහි මාලන්ගේ අපූරූ රංගනය නිසා ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා සිටින ඔහු පහුගිය දවසක පුවත්පතක් සමඟ කතා බහ කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

අද මම මෙහෙම ජනප්‍රිය වෙලා තියෙන්නේ හරිම හෙමින් ආ ගමනක් නිසයි. ඒ වගේම ඒ කාලයේ ඉඳලම රංගනයට කලාවට අවශ්‍ය දේ එකතු කර ගනිමින් සිටි නිසයි. ඒ වගේම මට දැනෙන විදියට මම හොඳ පැත්තට වැටුණ ගිරවා වගේ කියලයි මට හිතෙන්නෙ. කලාවේ මම වැටුණෙ හොඳම ප්‍රවීනයන් ළඟට. ඒ පන්නරය ලබමින් ආ ගමනක් මේක. තවත් බොහෝ දේ එක්කාසු කර ගනිමින් යන ගමනක් මේ. කෝකිල යන නම මට ගීත ගායනා කරන්න සමීපතම කාරණයක් වුණා. ඒ වගේම කුඩා කාලයේ ඉඳලම පාලි, ජන ගී ඇතුළු කවි ගායනයෙන් තරග වලට පවා ඉදිරිපත් වුණේ ඒ නිසයි. මම පාසල් ගමන ඇරඹීමට පෙර සිටම දහම් පාසලට සමීපව සිටි කෙනෙක්. කලාව වෙතින් පෝෂණය විය යුතුයි. අභාෂය ලැබිය යුතුයි කියන දේ මගේ ආත්මයෙන් දැනුණ දෙයක්. මගේ ආච්චියි සීයයි මාව ඒ වෙනුවෙන් වඩාත් යොමුකළා.

මම මනෝරත්නයන්ගේ තලමල පිපිලා ඇතුළු රාජ්‍ය නාට්‍ය උළෙලට ඉදිරිපත් කළ නාට්‍යවලට දායකත්වය ලබා දුන්නා. ඒ වගේම ළමා නාට්‍ය සඳහාද දායකත්වය ලබා දුන්නා. කැමරාවක් ඉදිරියේ ප්‍රථම වරට මම පෙනී හිටියෙ සිරි රජ සිරි චිත්‍රපටයේ නෙවෙයි. ඊට පෙර සම්මානනීය වේදිකා නාට්‍ය රැසක රගපාමින් සිටියේ. තලමල පිපිලා දර්ශන වාරවලට සහභාගි වන අතරේදි තමයි සිරි රජ සිරි, රඟපෑමට ආවේ. මාලන් කියන්නෙ මට හරි කුකුසක්. මොකද එච්චර අතිශයෝක්තියකින් පෙනී සිටින මාලන්ව ප්‍රේක්ෂකයා පිළිගනීවිද කියන බව මට තිබුණා. අපි හැමෝටම තම තමන්ට සාපේක්ෂ අයුරින් අතිශයෝක්තියක් ඇති. මාලන්ගේ ස්වරූපේ ඒක. අද වන විට මාලන් නොහොත් මනමාලන්ව ප්‍රේක්ෂකයා තදින්ම වැළඳගෙන. නාඩගම්කාරයෝ නාට්‍යයම එහෙමයි.

මෙහෙමයි, කාගේවත් පොකැට්ටු හොරකම් නොකළාට මම හොඳ හොරෙක්. එක එක්කෙනාගේ ඉරියව් තමයි මම හොරකම් කරන්නේ. ඒවා හොරකම් කරගෙන මගේ මතක ගබඩාවේ තැන්පත් කර ගන්නවා. අහවලාගෙන් ඒ ඉරියව් ගත්තේ කියලා මට මතක නැහැ, කොහොම වුණත් මාලන් කියන දිනපතා සැකසෙමින් හැදෙන චරිතයක්. ඒක කවුරුවත් අනුකරණය කරන චරිතයක් නෙවෙයි. සමාජයේ ඕනෑම කෙනෙකුට තවත් කෙනෙකුගෙන් ගත හැකි වෙන යම් හෝ දෙයක් ඇති. මේ චරිතයේදි මම සහ මාලන් ගත්තොත් මාලන් තරමට මම නම් පොසිටිව් නැහැ. ඒ කියන්නෙ ධනාත්මක නැහැ. කෝකිල තමන් ගැන විස්වාසයකින් නොවූවත් මාලන් තමන් ගැන අධි විශ්වාසයකින් ඉන්නේ. සමානකමක් විදියට ගත්තොත් මාලන් සහ කෝකිල කියන්නේ මිනිසුන්ට ගරු කරන දෙන්නෙක්. ඒ වගේම තමයි පිහිටවීම කියන දේ. මනුස්සයින්ගෙන් ඈත්වෙලා යන ඒ ගුණය මාලන්ට වගේම කෝකිලටත් තියෙනවා. ඒ වගේම මේ දෙන්නම සමානාත්මතාවය අගයනවා.

මම විවාහ වෙලා තවම අවුරුද්දක්වත් නැහැ. තවම කුළුදුල් මනමාලයෙක්. අලුත් ජීවිතයකට තවමත් හුරුවෙමින් ඉන්නේ. මේ මොන දේ වුණත් මොන තරම් ජනප්‍රිය වුණත් මම මගේ සරලකම කවදාවත් නැති කර ගන්නේ නැහැ. පොළවේ පය ගහලා ඉන්න මම හරි ආසයි. ජීවිතයෙ උඩට යන්න ඕනෑ සරලකම සහ දක්‍ෂතාවයෙන් කියලයි මම විශ්වාස කරන්නෙ. මම පොඩි කාලයේ ඉඳලා සිංදු කවි කිව්වට ඒවා දැක්කේ යම් පිරිසක් විතරයි. හැබැයි මෑත කාලයේදී මම සංගීත වැඩ සටහන් කීපයකට දායක වුණා. ඉන් පස්සේ මට දැනිච්චදේ තමයි, උඹ රගපානවා හොඳයි. ඒත් බං උඹ සිංදු කියනවා ඊට වඩා හොඳයි වගේ එකක්. ඉදිරියේදී ගායනයෙන් මගේම කියලා නිර්මාණ කරන්න හිතාගෙන ඉන්නේ කියලයි මේ දක්ෂ කළා කරුවා අවසාන වශයෙන් පවසලා තිබුනේ.