Paper Article

මම මැරුණත් රෝහල් ගත වෙන්නේ නැහැ-වසංගතයෙන් සුවය ලැබූ ප්‍රවීණ නිලි දමිතා අබේරත්න

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි දමිතා අබේරත්න කියලා කියන්නේ. මේ දිනවල වලවෙට්ටුවා, අඳුන්ගිර, පෝක් වීදිය යන ටෙලි නාට්‍ය තුන හරහාත් අපට ඇයව දකින්න ලැබෙනවා. කොහොම නමුත් පහුගිය දවසක ඇයටත් කොවිඩ් වැලඳුණා. නමුත් ඇය රෝගී තත්ත්වය ගැන කාටවත් වැඩිය කියලා තිබුනේ නැහැ. ඉතින් මේ කොවිඩ් 19 රෝගයෙන් සුවය ලැබූ දමිතා පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් ඇයගේ අලුත්ම තොරතුරු මෙන්න මේ විදිහටයි පවසලා තිබුනේ.

මම පහුගිය කාලේ වැඩ කිහිපයක හිටියා. හැබැයි කොතනින් වෛරස් එක මට ආවද කියන්න බැහැ. සමස්ථයක් ලෙස කලාකරුවන්ට සහ කලා ක්ෂේත්‍රයේ අයට තමයි වැඩිම බලපෑම වුණේ. අපිට රඟපාන්න ගිහින් මේකප් එක දැම්මට පස්සේ මාක්ස් එකක් දාන්න බැහැ. ෆේස්ෂීල්ඩ් එකක් දැම්මත් කැමරාව ඉදිරියට ගියහම අපි සම්පූර්ණයෙන්ම සමාජයට නිරාවරණය වෙනවා. අනික අපි කරන වැඩක හතළිහක් පනහක් වැඩනෙ. ඒ අය කොතැන ඉඳන් එනවද අපි දන්නෙ නැහැ. කවුරුවත් ඔය අවදානම එක්ක තමයි වැඩ කරන්නෙ. මම කොරෝනා ආසාදනය වූ බව දැනගත්තේ මට හොඳටම උණ හැදුණට පස්සෙ. මම පීසීආර් එකක් කරලා ගෙදර ඇවිත් අම්මට කිව්වා අම්මේ මට සමහර විට කොරෝනා පොසිටිව් වෙන්න පුළුවන් කියලා. අම්ම ටිකක්වත් බය වුණේ නැහැ.

අම්ම මට කොත්තමල්ලි හදල දීලා මගේ හිස අතගාමින් මගේ ළඟ හිටියා. මගේ අම්මා මට කිව්වෙ පුතේ මෛත්‍රි භාවනාව කරන්න. ඔයා බයවෙන්න එපා. ඔයාට මොකුත් වෙන්නෙ නැහැ කියලයි. දවස් හතකට පස්සෙ මම දැනගත්තේ මට කොරෝනා පොසිටිව් කියලා. ඊට පස්සෙ අම්මව මේ ලෙඩෙන් බේරගන්න ඕන නිසා මමයි, මගේ සැමියයි නිවසේ උඩුමහලේ කාමරයෙන් පිටට ආවෙ නැහැ. අම්මට ඒ පැත්තටවත් එන්න දුන්නෙ නැහැ. ඇත්තටම මට ගොඩාක් අමාරු වුණා. ඒත් මම එක තීරණයක හිටියා මම මැරුණත් රෝහල් ගත වෙන්නෙ නැහැ කියලා. මට ගෙදර මිනිස්සුන්ගෙන් ලැබෙන ආදරය, රැකවරණය මේ වගේ වෙලාවක පුදුම තරම් වටිනවා. මම මේ අත්දැකීමෙන් කියන්නේ කිසිම වෙලාවක කොරෝනා හැදුණ කෙනෙක් තනි කරන්න හොඳ නැහැ. මේ රෝගයෙන් හුස්ම ගන්න බැරිවෙලා මිනිස්සු මැරෙන්නේ තනිකමටයි, බයටයි. හැන්දෑ වෙද්දි වතුරෙන් ගොඩ දාපු මාළුවෙක් වගේ හුස්ම ගන්න අපහසුවෙන් ගැහෙද්දි මගේ මහත්තයා මං ළඟට වෙලා හිටියා. මම ඈතට යන්න කියලා කෑ ගහද්දි එයා මොහොතකටවත් මං ළඟින් හෙල්ලුණේ නැහැ. මාව අල්ලගෙන මං ළඟ හිටියා මුළු රෑම මාව උණු වතුරෙන් තැව්වා. මගේ මහත්තයා පුදුම කැපකිරීමක් කළා.

දෙවියන්ගේ පිහිටෙන් එයාට මේ වෛරස් එක වැලඳුණේ නැහැ. මම දුම් ඇල්ලුවා, වෛද්‍ය උපදෙස් මත මම ඉන්හේලර් එකක් පාවිච්චි කළා. බටහිර සහ දේශීය බෙහෙත් මට පිහිට වුණා මේ ලෙඩෙන් ආරක්ෂා වෙන්න.

ඇත්තටම වයිරස් එක වැලඳෙන්න පෙර මගේ හිත මේ ලෙඩේට බය වුණේම නැහැ. කලාකාරයෝ එක්ක වැඩ කළා, බඩු බෙදන්න ගියා. චුට්ටක්වත් බය වුණේ නැහැ. මම කියන්නේ පොසිටිව් කියලා දැනගත්තත් මේ ලෙඩේට බය වෙන්නෙ නැතිව හිත හදාගෙන මේකට මුහුණ දෙන්න කියලයි. එතකොට අපිට ලෙඩේට ඔරොත්තු දෙන්න පහසුයි. මම මට හැදුනා කියලා කාටවත්ම කියන්න ගියේ නැහැ. මගේ හිතවත් අයට පොසිටිව් කියලා දැනගත්ත වෙලාවේ ඉඳන් මම කෝල් කරනවා, මොනවද වෙන්න ඕන කියලා අහනවා. ඒ අයට ඒක කරදරයක් වෙන්නත් ඇති. ඇත්තටම කෙනෙක් කොරෝනා පොසිටිව් වුණාම තමන් ජීවත්වෙන වටපිටාවෙන් ලැබෙන්න ඕන උදව් ටික ලැබෙනවා. අපේ රටේ මිනිස්සු ඒ වගේ හොඳ හිත් තියෙන පිරිසක්. තමන්ගෙ අසල්වාසියා මේ අවස්ථාවේ තනිකරන්නෙ නැහැ කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Comment