Paper Article

මම බොහොම කීකරු දරුවෙක්, අපි ජීවිතෙන් අරගෙන යන්නේ පිං පව් විතරයි-සුරූපී නිලි එමාෂා සෙනෙවිරත්න

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී නවක රංගන ශිල්පිනියක් තමයි එමාෂා සෙනෙවිරත්න කියලා කියන්නේ. ජනප්‍රියත්වය කියන දේ එදා මෙන්ම අදත් එක ලෙස පවත්වා ගනිමින් ඉන්න ඇයට පුංචි තිරයේ විතරක් නෙමෙයි සිනමාවටත් ආරාධනා ගලාගෙන එන්න පටන් අරගෙන. කොහොම නමුත් දෙරණ රුපවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ ඇය රංගනයෙන් දායක වන සහේලිගේ චරිතය කියලා කියන්නේ අපේ රටේ ප්‍රේක්ෂකයන් හැමෝම ආදරය කරන චරිතයක්.

කොහොම නමුත් ජනප්‍රියත්වය උද්දච්චකමක් කර නොගත් එමාෂා ජීවිතය ලස්සන කරගෙන තියෙන්නේ උගත්කම වගේම ගුණයහපත්කම නිසා කියලා තමයි බොහෝ දෙනෙක් කියන්නේ. ඉතින් මේ විදියට කාගෙත් පැසසුම් ලබන මේ සුරූපී නිලි එමාෂා හිතුවක්කාරී නාට්‍යයේ ප්‍රධාන චරිතයක් සමඟ දැන් නැවතත් පුංචි තිරයේ කතා බහට ලක්වෙනවා.

ඉතින් මේ සුරූපී රංගන ශිල්පිනිය ඇයගේ අලුත්ම තොරතුරු ගැන පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් කතා බහ කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි. මේ දවස්වල මගේ ජීවිතේ හොඳින් සතුටින් ගත කරනවා. ටිකක් විතර කාර්යබහුලයි. කොරෝනා ප්‍රශ්න එක්ක කල්දාලා තිබුණු වැඩ මේ ටිකේ එක දිගටම කරන්න සිද්ධ වුණා. ඒකයි.

ගෙවී ගිය ජීවිතයේ සුන්දර තැන් බොහෝමයි. ගත කරන සෑම දිනක්ම සතුටින් ගත කරන්නයි මට ඕනෑ. දවස සතුටින් ගත කරන්න ලස්සන දෙයක් මම හොයා ගන්නවා. විශේෂ වූ මතකයක් ගැන කිව්වොත්, මට මගේ ප්‍රථම උපාධිය ගත්ත දවස මට හරිම විශේෂයි. මම මගේ අම්මා, තාත්තාව සතුටු කරන්න ආසා කෙනෙක්. ඉතින් කුඩා කාලයේ ඉඳලාම මගේ සතුට වුණේ මම කරන දේ දිහා බලලා එයාලා සතුටු වෙන හැටි දැකීමට. මේ නිසා ජීවිතේ සෑම තැනකදීම එයාලා සතුටු වේවිද කියන දේ ගැන හිතලා තමයි මම කටයුතු කරන්නෙ.

ඇත්තටම මට ලැබිලා තියෙන්නෙ පෙර පිනකට ගුණ යහපත් මව්පිය දෙදෙනෙක්. මේ අයගෙ හෙවණේ හැදී වැඩුණු නිසා මාත් සෑම පැත්තකටම යහපත් විදියෙ මනුෂ්‍යයකු ලෙස හැදෙන්න පුළුවන් වුණා. මගේ තාත්තා ඉංජිනේරුවරයෙක්. මගේ අම්මා ඉංග්‍රීසි සහ තාක්ෂණ අංශයේ ගුරුවරියක්. හැමදාම වගේ මගේ පිටුපස මගේ අම්මා තාත්තා වගේම සහෝදරයා ඉන්නවා. පවුලේ අය ඉන්නවා. එයාලා එදා ඉඳලාම මට දුන්න ආදරය එක විදියට ලබා දෙනවා. මමත් එහෙමයි. එයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි.

මම හිතන්නේ මම කවදා හරි විවාහ වෙන කෙනා අවංක පිරිසිදු ආදරයක් විය යුතුයි. සැම තැනකදීම අනෙක් කෙනා වෙනුවෙන් ඉන්න පුළුවන් ආදරයක් ගෞරවයක් තිබිය යුතුයි. ගුණ ධර්ම ඉතා වටිනවා. අධ්‍යාත්මක පැත්තෙන් හොඳ නුවණක් තියෙනවා නම් හොඳයි. අන්තිමට අපි ජීවිතෙන් අරගෙන යන්නේ ගුණධර්ම විතරයි. පිං පව් විතරයි. ඒ නිසා යහපතට යොමු කරන කෙනෙක් එක්ක ඒ ගමන ගියොත් ජීවිතය සාර්ථක වේවි.

ඇත්තටම මම බොහොම කීකරු දරුවෙක්. ඒක මගේ මව්පියන් වගේම ගුරුවරුන් කියන දෙයක්. අම්මා, තාත්තා පාසලට ආවම ගුරුවරු නිතරම මගේ හොඳ කිව්වා. ඒ නිසා ඒ දෙන්නා නිතරම සතුටින් ගියේ. ගුරුවරු මට හරි ආදරෙයි.

ඇත්තටම රඟපෑම මම හරිම ආසාවෙන් ගෞරවයෙන් කරන දෙයක්. ඒත් තවම වෘත්තිය විදියට හිතලා නැහැ. ව්‍යාපාර පරිපාලනය සහ කළමනාකරණය ගැන හදාරපු නිසා මගේම ව්‍යාපාරයක් දැනට කරගෙන යනවා. මගේම ඇඳුම් ව්‍යාපාරයක් ඊට එක්වීමට නියමිතයි කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.