Paper Article

මම දේවත්වයෙන් පුදන කලාව වෙනුවෙන් මට ඕනෑම කැපකිරීමක් කරන්න පුළුවන්-ප්‍රවීණ ගායිකා නිරෝෂා විරාජිනි

අපේ සංගීත ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන අපූරු සුන්දර කටහඩකට හිමිකම් කියන කවුරුත් ආදරය කරන ප්‍රවීණ ගායන ශිල්පිනීයක් තමයි නිරෝෂා විරාජිනී කියලා කියන්නේ. ඉතින් රටක් ආදරය කරන මේ සුන්දර ගායන ශිල්පිනිය ඇයගේ කළා ජීවිතය ගැන පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතු වෙමින් මෙන්න මේ විදිහටයි කතා බහ කරලා තිබුනේ. අනූව දශකයේ මම ක්ෂේත්‍රයට පිවිසෙන්න කළින් මම හින්දි දමිළ ගීත කිහිපයක් ගායනා කරලා තිබුණා. ඒ සුපර් සන්ග් කියන සංගීත කණඩායම සමඟ. ක්ෂේත්‍රයට පිවිසීමෙන් අනතුරුවත් මට මුලින්ම ලැබෙන්නේ හින්දි දමිළ ගීත සිංහලෙන් ගායනා කරන්න. සිත හඩයි කියන ගීතය එන්නේ ඒ කාලේ. ඒ ගීතය අතිශය ජනප්‍රිය වෙනවා. පසුව විවිධ වැඩසටහන්වලට ආරාධනා ලැබෙනවා. මම රූපයෙන් ආකර්ෂණීය කෙනෙක් නොවෙයි. කඩහඬින් පමණමයි මා ආකර්ෂණීය වූයේ.

ඇත්තටම ඉස්සර හිටියට වඩා අද මගේ රූපය ගොඩක් වෙනස් වෙලා. මම පරිණතවෙලා. අත්දැකීම් බහුල වෙලා. ඒ සියලු දේවල්වලින් මම පෝෂණය වෙලා. ඒ මගේ ආධුනික කාලේ. ඒ කාලයේ අත්දැකීම් අඩුයි. මගේ පවුලේ උදවිය ක්ෂේත්‍රයේ ඉඳලා ඒ ඔස්සේ මම ක්ෂේත්‍රයට ආවා නොවෙයි. මගේ හැකියාව මත පමණමයි මම අද මේ සිටින තැනට ඇවිත් ඉන්නේ. මම ඒ කාලේ මට හරියට ඇඳුමක් අඳීන්න දන්නේ නෑ. මේකප් දාන්න දන්නේ නෑ. මාව ලස්සන කරගන්නේ කොහොමද කියලා මම දන්නේ නෑ. එහෙම පටන්ගත් ගමන දිහා අද බලන විට මට හරිම සතුටුයි. අද වන විට මගේ ජීවිතය මම කොයිතරම් දුරට සාර්ථක කරගෙන තියෙනවාද? මට මාවම අභියෝගයක් කරගෙනයි මම අද මෙතැන ඉන්නේ. මම කාවවත් මට අභියෝගයක් කරගත්තේ නෑ. එහෙම හිතන්නවත් මනසක් ශක්තියක් තිබුණ කෙනෙක් නොවෙයි මං. මම හැමවෙලේම හිතුවේ මගෙ හැකියාව තුළින් රසිකයා ආමන්ත්‍රණය කරන්නේ කොහොමද කියන කාරණය පමණමයි. අද වන විට අපේ රටේ සංගීත ක්ෂේත්‍රයේ ‍ලබාගන්න පුළුවන් ඉහළම අවස්ථා සියල්ල මම ලබාගෙන තියෙනවා. මම තෘප්තිමත්.

ඒ කාලේ හිටපු අපේ රටේ ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ හෝ ඉන්දියාවේ ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ ගීත මට අභියෝගයක් කර ගනිමින් මමම ගායනා කළා. ඒ වෙනුවෙන් මම පුහුණුවීම් කළා. ඒ පුහුණුවීම් තුළින් හැමවෙලේම මාව පෝෂණය කරගත්තා. විවිධ වූ ශෛලීන් අහන්න ගත්තා. මට මාවම අභියෝගයක් කර ගනිමින් හැමවෙලේම මා තෝරාගත්තේ ගයන්නට අමාරුම ගීත. එවිට මම ඒ ගීත හරියටම ගයන්න උත්සහා කළා. ඒ හැඟීම කොහෙන්ද ආවේ කියන්න දන්නේ නෑ මං. සමහරවිට මට හිතෙන්න ඇති ඒ කාලේ මටත් ගයන්න පුළුවන් කියලා.

මම ගායනා කළේ හින්දි දමිළ තනු නිසා එක දිගටම මට ලැබුණෙත් එවැනි තනු. මෙය වෙනස් කිරීමට මට අවශ්‍ය වුණා. මෙය නොවෙයි මගේ අනන්‍යතාවය කියන දේ මට වැටහෙන්න ගත්තා. මට දමිළ සින්දු ඒ විදිහටම ගයන්න පුළුවන්. හින්දි සින්දු ඒ විදිහටම ගයන්න පුළුවන්. මං සිංහල ගීතයක් සිංහල ආරෙන් ගයන්න ඕන කියලා හිතුවා. මගේ අම්මා පිටිපස්සෙන් ඉඳගෙන මට ලොකු හයියක් වුණා මා කරන කියන හැම දේටම. ඒ කාලයේ මගේ තාත්තා ලංකාවේ හිටියේ නෑ. අම්මා මම ඒ කරන්න ගිය වෙනසට අකැමැති වුණා මොකද මම එක දිගටම ගායනා කළ ශෛලිය වෙනස් කරන්න යන නිසා රසිකයා මාව හඳුනන්නේ ඒ ආකාරයෙන් නිසා ඒ වෙනස කොයි ආකාරයෙන් ඔවුන් පිළිගනියිද හා අනෙක් අතට මා ප්‍රතික්ෂේප වෙයි කියලා ඇය බය වුණා.

ඒ කාලයේ අද වගේ සමාජ මාධ්‍ය තිබුණේ නෑ. පෞද්ගලික මාධ්‍ය නාළිකා බිහිවෙන්නෙත් මම ක්ෂේත්‍රයට ආවට පස්සේ. ස්වතන්ත්‍ර නිර්මාණයක් ලෙස මම මුලින්ම ගායනා කරන්නේ සිත ඔබට මුවා වී ඉකිබින්දා ගීතය. මම හිතන්නේ මම හරිම වාසනාවන්තයි ඒ ගීතයත් හිතන්න බැරි විදිහට ජනප්‍රියත්වයට පත් වුණා. පසුව පුන්සඳ රෑට ගීතය නිර්මාණය කරගත්තා ඔස්ටින් මුණසිංහයන්ට කියලා. ඔහුට හොඳ වැටහීමක් තිබුණා මා ගැන. එයද අර සියලු ගීත අබිබවා ජනප්‍රියත්වයට පත් වුණා.

අපි පරිපූර්ණ වෙන්නේ නිකම්ම නිකම් ගීතයක් ගායනා කළ පමණින් නොවෙයි. අනෙක් අතට නිකම්ම කාලය ගෙවිලා වයසට ගිය නිසත් නොවෙයි. ඒ ලැබුණ අද්දැකීම් එක්කයි මං අද මෙතැනට ඇවිත් ඉන්නේ. ජ්‍යෙෂ්ඨයන්ට තිබෙන ගෞරවය සංගීතයට තිබෙන ආදරය කලාකරුවන් සමඟ වැඩ කිරීමේ පිළිවෙළ හැම විනාඩියක්ම ජීවිතේ අත්දැකීම් කර ගනිමින් ආපූ ගමනක් මෙය. මගේ වයසට වඩා මට අත්දැකීම් සම්භාරයක් ඒ තුළින් එකතු වුණා. වෘත්තීය ජීවිතයට වගේම පෞද්ගලික ජීවිතයටත්. අද්දැකීම් තුළින් ජීවිතය ගළපාගන්න හරිම පහසුයි. දැන් මම මේ පොළොවට බර වැඩියි. මම බදලා ඉන්නේ මේ මහ පොළොව ඒ නිසා මොනම සුළඟකටවත් වැස්සකටවත් මාව හොලවන්න දැන් බෑ.

ලංකාවේ විශිෂ්ට ප්‍රවීණ කලාකරුවන් විචාරකයන් බොහොමයක් මගේ හඬ වර්ණනාවට පාත්‍ර කරලා තියෙනවා. හඬේ භාවයන් පිළිබඳ කතා කරලා තියෙනවා. ඒ අතර මගේ මතකයට එන කියමනක් ජැක්සන් ඇන්තනි ප්‍රසිද්ධ වේදිකාවේ වරක් කියනවා මේ රටේ ගීතයක් තුළින් භාව ප්‍රකාශනයන් කළ හැකි ඉස්මතු කළ හැකි හඩවල් තුනයි මම මේ වන තෙක් දැකලා තියෙන්නේ ඉන් පළමුවැන්න රුක්මණි දේවිය. ඉන්පසුව ආචාර්ය නන්දා මාලිනි. තුන්වැන්න නිරෝෂා විරාජිනි කියලා. එය අහලා දැන් අවුරුදු විස්සක් විතර වෙනවා. අපි කරන දේට ආදරේ කිරීම තුළින් පෙරලා අපට ලැබෙන ආදරය තමයි ඒ.

මම ඉපදිලාම තියෙන්නේ ගායිකාවක් වෙන්න. ඒ වෙනුවෙන් මම මගේ පෞද්ගලික ජීවිතය පවා කැප කරමින් ඒ අරමුණ වෙනුවෙන් වැඩ කළා. සමහරවිට මගේ පෞද්ගලික ජීවිතයේ කඩාවැටීම්වලට ලක්වෙන්නට සිදුවෙන්නට ඇත්තෙත් මම මගේ අරමුණ වෙනුවෙන් කළ කැපකිරීම භක්තිය හා ආදරය නිසා. මම දේවත්වයෙන් පුදන කලාව වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න මට පුළුවන්. මගේ ජීවිතය ගත්තම මට කතාවක් තියෙනවා කියන්න. එහෙම කැපකිරීම් නොකළා නම් අද මේ කවුරුත් කතාවෙන නිරෝෂා විරාජිනි බිහි නොවෙන්න තිබුණා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.