Paper Article

මම දරුවන් වෙනුවෙන් මේ තීරණය ගත්තේ, දවසක චන්නත් මෙහෙට ඒවි-රට හැරගිය ජනප්‍රිය නිලි ගයත්‍රී ඩයස්

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිනියක් වගේම සුරූපී රංගන ශිල්පිනියක් තමයි ගයත්‍රී ඩයස් කියලා කියන්නේ. ඉතින් ඒ වගේම විටෙක බිරිදක් වගේම දෙදරු මවක් වන ඇය හරි අපූරු සුන්දර රූ සපුවකට හිමිකම් කියන බවනම් අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. කොහොම නමුත් මේ දිනවල ඇය ගැන බොහෝ දෙනා අතර කතාබහට ලක්වෙලා සිටින්නේ කොළඹ ඉතාලියේ ආශා සහ පාර දිගේ නාට්‍යයේ පුෂ්පා නෝනා යන චරිතවලට අමතරව once upon a time colombo නාට්‍යයේ රඟපාන චරිතය නිසයි. කොහොම නමුත් එකිනෙකට වෙනස් චරිත කීපයක් හරහා ඇය ප්‍රේක්ෂකයින් අතරට ආවත්, සැබෑ ජීවිතයේ දී නම් ඇය හමුවන්න කැනඩාවට යන්න වෙනවා. කොහොම නමුත් මේ සුන්දර රංගන ශිල්පිනිය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු කතා බහ කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

මම කාලයක් තිස්සේ ළමයින්ගේ, අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විදෙස්ගත වෙන්න හිතාගෙන හිටියේ. එයාලගේ අනාගතය ගැන හිතනවාට වඩා සමහර වෙලාවට මගේ කලා කටයුතු වලදී මම කැපවී සිටියා. ඉතින් තවත් කල් ගියොත් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මට කාලයක් ඉතිරිවන එකක් නැහැ. ඒ නිසා, දරුවන් වෙනුවෙන් දැන් පෙරට වඩා සම්පූර්ණයෙන්ම කැපවීය යුතු කාලය බව මම තේරුම් ගත්තා. මට යුතුකම් ඉටු නොකර නිකම්ම මැරිලා යන්න බැහැ. ඒ නිසා මාගේ සියලු වැදගත් කියන කටයුතු පැත්තකට දාලා දරුවන් වෙනුවෙන් මේ තීරණය ගත්තේ. දැන් මගේ ලොකු දුව මනෝ විද්‍යා අංශයේ උපාධිය හදාරනවා. එහි මාස්ටර්ස් එක කරන්න එයා අවුරුද්දක් විතර එංගලන්තයට යාවි. ඊට පස්සේ එයා පොඩිදුව සහ මා එක්ක ජීවිතය ගත කරන්න කැනඩාවට ඒවි. පොඩිදුව ඉතිරි අධ්‍යාපන කටයුතු මෙහි සිට කරාවි.

කැනඩාවේ පිවිතය හරියට ගිනි අව්වේ ඉඳලා ශීතල වතුරකට බැස්සා වගේ දෙයක්. කැනඩාව කියන්නේ ශීත දේශගුණයක් තියෙන රටක් බව අපි හැමෝම දන්නා දෙයක්නේ. ඉතින් ඒ ශීතලට ඔරොත්තු දෙන්න වෙනවා. දැන් මම ඒකට හුරුවෙමින් ඉන්නේ. ළමයි දෙන්නා වෙනුවෙන් මේ කැප කිරීම මම ආසාවෙන් කරන්නේ. ඇල්බර්ට් නගරය සහ මේ පළාත මේ රටේ වැඩිම හිමපතනයක් තියෙන පළාතක්. හරිම ලස්සන පළාතක් මීට පෙර මේ රටට මම කීප වතාවක්ම ඇවිත් තියෙනවා. දිගු කාලයක් ඉන්න බලාගෙන ආවේ මේ සැරේ. මම ඉන්නේ මගේ නංගි සහ එයාගේ සැමියාගේ ගෙදර. ඒ නිසා මට පාලුවක් නැහැ. එයාලගේ දුවලා තුන්දෙනෙක් ඉන්නවා. දැන් එයාලා ඉන්න ගෙදරට වඩා අපටත් එක්ක තවත් ලොකු ගෙදරකට යන්න එයාලා මේ දිනවල කටයුතු කරමින් ඉන්නේ.

මගේ නංගි අවුරුදු 15-16 විතර ඉඳලා ලංකාවේ නෙවෙයි ජීවත් වුණේ. අපේ අම්මා පසුගිය දිනවල කොවිඩ් නිසා මියයාම අපි දෙන්නටම ගෙන දුන්නේ විශාල කම්පනයක්. අම්මගේ මරණයෙන් පස්සේ මට ලංකාවේ ජීවිතය එපා වුණා. අපි බොහොම වෙලාවට ලංකාවේ දී ජීවත්වෙලා තියෙන්නේ හරිම ආත්මාර්ථකාමී මිනිස්සු කොටසක් එක්ක කියන දේ තේරුම් ගන්න පුළුවන් වුණා. ඒක තේරුම් ගන්නකොට, මට ඉතුරු වුණේ තමන්ගේ අය කියන පිරිස විතරයි. එතැනදී තමයි මම තීරණය කළේ මේ ඔක්කොම දාලා ගිහින්, ජීවිතයේ අන්තිම කාලයේදීවත් හිතට හරියන තැනක ඉන්න ඕනැය කියලා. කිසිම දරුවෙක් තමන්ගේ මව්පියන් මේ විදියට හුදෙකලාව මරණයට යොමුවේවි කියලා හිතන්නේ නැහැනේ. අපේ අම්මා කොවිඩ් නිසා මැරුනාම, මට වාවන්නේ නැතුව ගියා.

මොකද කිව්වොත් අපේ අම්මා හරි ලස්සනට ඇඳපැළඳ ජීවත් වූ කෙනෙක්. මේ ජීවිත්තේ මොකක් ද මේ කියන දේ අපේ අම්මගේ මරණයෙන් පස්සේ මම හොඳින්ම වටහා ගත්තා. දැන් මට ඕනෑම අවස්ථාවකට මුහුණ දෙන්න පුළුවන්, දරාගන්න පුළුවන් තරමට හිත ශක්තිමත්. මම දිගටම අඬමින් ඉන්නකොට, මගේ දූලා දෙන්නා ඇවිත් අම්ම දැන් අඬන්න එපා, දැන් ඇති කියලා මාව සැනසුවා. එතකොට මම එයාලට කිවේ පුතේ ඔයාලට මම නැති වුනානම්, මේ දුක තේරේවි කියලයි. මම නැතිවුණොත් මේ දරුවන්ට මොකද වෙන්නේ කියලා මට හිතුන නිසා, දැන් මම ඒ දෙන්නා එක්කම ජීවිත්තේ සෑම තත්පරයක්ම ඉන්න ඕනෑය කියන තැනට ආවා. මෙච්චර දුරට මේ තීරණය ඉක්මන් වුණෙත් ඒ නිසාමයි.

දවසක චන්නත් මෙහෙට ඒවි. දරුවන්ගේ අනාගතය ගැන කටයුතු කරද්දී, දරුවන්ට හොඳක් වෙන සෑම තැනකදීම එයා කවදත් හිටියා. මොනම වෙලාවකදීවත් එයා පැතිවලට ඇද්දේ නැහැ. දරුවන්ට හොඳම දේ දෙන්න එයාටත් ඕනෑ වුණා. අනෙක දරු දෙන්නා ඉන්නේ මාත් එක්ක. ඒ ගැනත් එයාට තියෙන්නේ ලොකු විශ්වාසයක්. මම දරු දෙන්නා. රැක බලා ගන්න විදිය සහ මෙතෙක් රැකබලා ගන්න විදිය ගැන එයා දන්නවා.

දරුවන් නිසා ඇත්තටම අපේ වෙන්වීමක් නැහැ. සදාකාලිකව අම්මා තාත්තා දරුවෝ එක්ක බැඳීම හැමදාම තියෙන දෙයක්. අවශ්‍ය වෙලාවෙදී අපි පවුලක් ලෙස එකට හිටියා. අපි සමහර විට හිත්වලින් යම් යම් ප්‍රශ්න මත දුරස්වෙලා නම්. ඒ දේ ආයේ හැදෙන එකක් නැහැ. ඒත් දරුවන් වෙනුවෙන් සිදුවිය යුතු දේ වෙනුවෙන් එදා වගේම හෙටත් අපි එකට එක්ව කටයුතු කරාවි. එතැනින් එහා දෙයක් නම් සිදු නොවේවි කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.