Paper Article

මම තවමත් අවුරුදු 40ක් තිස්සේ නාට්‍ය කරන්නේ ආත්ම තෘප්තියට-ප්‍රවීණ නාට්‍යවේදී රොඩ්නි වර්ණකුල

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්පියෙක් තමයි රොඩ්නි වර්ණකුල කියලා කියන්නේ. ඉතින් ඒ වගේම ශ්‍රී ලාංකේය රංග කලාවේ හාස්‍ය රසය පෝෂණය කරමින් සිය රංග කුසලතාව සිය ප්‍රේක්ෂක සහෘදය පිනවීමට යොදා ගත් ඔහු මේ පසු කරන්නේ කලාවේ 40වන වසරයි. ඉතින් මේ රටක් ආදරය කරන අති දක්ෂ කළා කරුවා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන පුවත්පතක් සමඟ කතා බහ කලේ මෙන්න මේ විදිහටයි.

ළඟදීම මගේ 40 වසරක කලා දිවිය වෙනුවෙන්ම ලියපු මගේ ජීවිත කතාව වන රොඩ්ඩාගේ වර්ණකුලය පොත එළිදක්වන්න ඕන. මේ වෙද්දී පොතේ වැඩේ හරි. ඒ නිසා දැන් තියෙන්නේ පොත ජනගත කරන එක තමා. ඒත් මම හිතන් හිටියේ නාට්‍ය උළෙලක් කරලා ඒ අවස්ථාවේදී පොත ජනගත කරන්න. ඒක කරගන්න නම් බැරි වුණා. ඒත් පොත එළිදක්වනවා.

නමුත් නාට්‍ය වැඩේ දැන් හිතින් අත්හැරලා තියෙන්නේ. අවුරුදු 45දී වගේ බලනවා ඉතින්. මොකද මේ වෙලාවේ අපිට අනුග්‍රාහකයන් හොයාගන්න බෑනේ. නාට්‍යකරුවන් වෙච්චි අපිට කොහොමත්ම බෑ. සමහරු දුරකතනයට උත්තර දුන්නෙත් නැහැ. ඉතාම සුළු පිරිසක් සාමාන්‍ය විදියට අනුග්‍රහය ලබා දුන්නා. දොසක් කියනවාම නෙමෙයි නමුත් මෑත කාලයේ එළිමහන් ප්‍රසංග සහ සුපිරි තරු කියලා තෝරා ගන්නා පිරිස්වලට දැක්වෙන අනුග්‍රහය නාට්‍යයකරණයේ යෙදෙන කලාකරුවන්ට නැත්තේ ඇයි කියන ප්‍රශ්නය තමා තියෙන්නේ. නමුත් මේ වසංගත කාලයේ විවිධ සංවිධාන වලින් සූම් තාක්ෂණයෙන් අපිවමයි අමතන්නේ. දරුවන් පීඩනයෙන් ඉන්නේ නාට්‍ය ගීතයක් දෙකක් කියන්න, රසවින්දනය ඇති කරන්න කියලා. මම ඒ අයගෙන් ඇහුවේ පුළුවන් කාලයේ ආවද නාට්‍ය බලන්න කියලා. අනේ නැහැනේ මහත්තයෝ කියලා තමා කියන්නේ. ඒ අයට පුළුවන් කාලේ අපි හිස් පුටුවලට නාට්‍යය පෙන්නලා දුකෙන් ගෙදර ආවා.

ඇත්තටම දැන් අපේ රටේ බහුතරය නාට්‍ය රසිකත්වයෙන් ඈත් වෙලා කියන එක තමා කියන්න තියෙන්නේ. මම පටන් ගත්තේ 81දී. ඒ කාලයේ නාට්‍යයේ මංගල දර්ශනය බලන්න දිවයිනේ හතර දිග්බාගේ නාට්‍ය සංවිධායකයන් එකතු වෙලා එන්නේ. ඒ නාට්‍ය හොඳ නම් රසවත් නම්, ගුණාත්මක නම් එදාම ඒ අය තමන්ගේ නගරයට නාට්‍ය බුක් කර ගන්නවා. ඊට පස්සේ බදුල්ල, බණ්ඩාරවෙල පස්සර සංවිධායකයන් එකතු වෙලා එක දිගටම දින දා ගන්නවා. එහෙම තමා නාට්‍ය වටා රසිකයන් එකතු වෙලා හිටියේ. හැබැයි 80න් පස්සේ රට විවෘත ආර්ථිකයට මිනිස්සු හුරුවෙනකොට නාට්‍යයකින් ඇති වැඩකුත් නැති වුණා.

ඒ එක්කම ටෙලිවිෂන් එක ආවා. ඒ තුළින් සැබෑ රසිකත්වයෙන් ඈත් කළා. නාට්‍යයවල‍ට ලැබුණු අනුග්‍රහය සහ එළිමහන් ප්‍රසංගවලට ලැබුණු අනුග්‍රහයයි අහසයි පොළවයි වගේ. මිනිස්සු ඒ පස්සෙම ගියා. අනිත් පැත්තෙන් ගත්තම 80 අපි දැක්ක නාට්‍ය ශාලා වලට වඩා අන්ත පිරිහෙච්ච නාට්‍ය ශාලා තමා අද තියෙන්නේ. ඒ නිසා ප්‍රේක්ෂකාගාරයෙන් මිනිස්සු ඈත් වුණා. නාට්‍යකරුවෙක් වුණාට වඩා වෙනත් වෘත්තියක නියැළුණා නම් හොඳයි කියලත් හිතෙනවා. හැබැයි අපි අවංකවම නාට්‍ය විදියට කළේ හොඳ දෙයක් කියන ආත්ම තෘප්තිය ලැබුණා. මම 2016න් පස්සේ ටෙලි නිර්මාණ වලට සම්බන්ධ වුණේ නැහැ. නමුත් මේ ඊයේ පෙරේදා තරුණ නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් මාව හොයාගෙන ආවා. මම මගේ කොන්දේසි ටික කිව්වා. මට ටෙලි නාට්‍ය නැතුව ඉන්න පුළුවන්.

හැබැයි කවදාවත් මම වේදිකාවෙන් අයින් වෙන්නේ නැහැ. මොකද මේ කම්කරු ජොබ් එකක් නෙවෙයි. ඒ හින්දා රූපණ වෘත්තියේ ගෞරවය රැක ගන්න අපේ ශිල්පින් පවා දැන ගන්න ඕනේ. ඒ ගරුත්වය දෙන්නත් අනිත් අය දැන ගන්න ඕනේ. ඉතින් ඒ මැතක ආවා අධ්‍යක්ෂවරයා කිව්වා අයියේ, ඔයාගේ ඒ සියලු කොන්දේසි වලට අපි එකඟයි, මොකද කියන්නේ කියලා. ඒ නිර්මාණයත් හොඳයි. සල්ලි හම්බෙනවා කියලා ඕන එකක ඉන්න යන්නේ නැහැ. යමක් කරන්න තියෙන වටිනා නිර්මාණයක් නිසා තමා මෑතකදී අවුරුදු 5කට පස්සේ ඒ නිර්මාණයට සම්බන්ධ වුණේ. ඒ නිර්මාණය තමා රොෂාන් රවීන්ද්‍රගේ කටුරෝදය කියලයි මේ ප්‍රවීණ රංගන ශිල්පියා අවසාන වශයෙන් පවසලා තිබුනේ.