Paper Article

මම කවදාවත් නිළියකට නම් ආදරේ කරන්නේ නෑ-මල් පිපෙන කාලේ ටෙලි නාට්‍යයේ බන්ටි

මේ දවස් වල දෙරණ නාලිකාවේ විකාශනය වන මල් පිපෙන කාලේ ටෙලි නාට්‍යය හරහා රංගනයට පිවිසි නවක කඩවසම් රංගන ශිල්පියෙක් තමයි කසුන් තාරක කියලා කියන්නේ. කතාවේ හැටියටනම් ඔහු රංගනයේ යෙදෙන්නේ අහිංසක දඟකාර චණ්ඩි ආදරණීය බන්ටිගේ චරිතයයි. ඉතින් දැන් රටේම ආදරය දිනාගෙන ඉන්න බන්ටි ඔහුගේ කළා ජීවිතය ගැන වගේම පෞද්ගලික ජීවිතේ ගැනත් පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතු වෙමින් මෙන්න මේ විදිහටයි කතා බහ කරලා තිබුනේ.

මගේ ගම නාවලපිටිය. ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම මට මාරම මාර හීනයක් තිබුණා නළුවෙක් වෙන්න. මම ගොඩක් ආස වුනේ ඉගෙන ගන්න ගමන් නළුවෙක් වෙන්න. ඒකට මම විවිධ උත්සාහයන් දැරුවා. අපේ අම්මයි තාත්තයි නම් කිව්වෙ ඕක හරියන්නෙ නැහැ ඉගෙන ගන්න කියලා. මොකද අපි කොළඹින් දුර පළාතක නිසා වැඩවලට එන්න වගේම අවස්ථා හොයාගන්නත් පහසු නැති නිසා.

ඉතින් ඒ වගේම ජීවිතේ ආපහු හැරෙනවා නම් ආපහු හැරිලා ගමට යන්න හිතෙන තැන් මේ කෙටි කාලෙදි මම අත් නොවින්දා නොවෙයි. ඒත් මම හිතුවා මට කවදා හරි අවස්ථාවක් ලැබෙයි කියලා. විශේෂයෙන්ම මගේ එකම සහෝදරයාටත් ලොකු අරමුණක් තිබ්බා මාව කවදා හරි මගේ අරමුණ වෙත රැගෙන යන්න. අයියා තමයි මම වැඩවලට කොළඹ එද්දි උදේ පාන්දරින් මාව බස් එකට ඇරලන්නේ. රෑ වෙලා නාවලපිටියට යද්දි මං බස් එකෙන් බහිනතුරු නිදි වරාගෙන බස් නැවතුමට වෙලා ඉන්නෙ.

අහම්බෙන් නළුවෙක් නොවී පෙරුම් පුරලා අරමුණ හොයාගෙන යන එක හරිම දුෂ්කරයි. හැබැයි මම ආසම කරන අරමුණ කරා යන ගමනක් නිසා ඒ හැම මතකයක්ම මට සුන්දරයි. මම ඒ දුක් කරදර ටිකකට ආදරෙයි. මල් පිපෙන කාලෙ බන්ටිගෙ චරිතය තමයි මට හිමිවුණ පළමු රංගන අවස්ථාව. තුෂාර සර් තමයි මට මේ චරිතයට කතා කළේ. සිය දහස් ගාණක් පරීක්ෂණයට ඇවිත් හිටියා. ඒ අතරින් මට අවස්ථාව හිමිවුණා. මම වගේ ආධුනිකයෙක්ට මේ අවස්ථාව ලබාදුන් ලක්සිරි සර්, චරිත් සර්, ගයාත්‍රි අක්කා, තුෂාර සර් මේ හැමෝම ලබාදුන් අවස්ථාව ගැන මගේ හිතේ ලොකු ගෞරවයක් තියෙනවා.

මේ රංගනයේ පළමු අවස්ථාව වුණත් රසික රසිකාවියන් දැන් මම දන්න කියන කෙනෙක් වෙලා. මට ෆොටෝ ෂූට් ලැබුණා. ඒ වගේම මියුසික් වීඩියෝවල නිරුපණයේ යෙදෙන්නත් අවස්ථාව ලැබිලා තියෙනවා. මීට අවුරුදු දෙකක විතර ඉඳන් මම මියුසික් වීඩියෝවලට සම්බන්ධ වෙනවා. සංදේශ් බණ්ඩාර අයියා නිෂ්පාදනය කළ, රුක්ෂානා දිසානායක අක්කගේ ගීතයක් වෙනුවෙන් නිර්මාණය කළ මියුසික් වීඩියෝවකින් තමයි මම මුලින්ම එන්නේ. මේ දිනවල අතිශයින්ම ජනප්‍රිය මැණිකේ මගේ හිතේ ගීතයේ ඔරිජිනල් ගීතයේ මියුසික් වීඩියෝවේ පෙනී සිටින්නෙත් මමයි.

මම දැනට රංගනය ඉගෙන ගනිමින් රඟපාන ආධුනිකයෙක්. රංගනයේ යෙදිලා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයෙ අත්දැකීම් ලබාගෙන සිනමාවට එන්න ආසාවක් තියෙනවා. රංගනයේ යෙදෙන අතරම නිදහසේ කරන්න පුළුවන් වෘත්තියක නියැළෙන්නත් අදහසක් තියෙනවා. කොහොම නමුත් ඇත්තටම මම ගොඩක් වැඩ කරන ගොඩක් කාර්යබහුල කෙනෙක් වෙන්න කැමති නැහැ. අපිටත් කියලා පෞද්ගලික ජීවිතයක්, නිදහසක් තියෙන්න ඕනනේ. මම කැමතියි ජීවිතය සාමාන්‍ය විදිහට ගෙනියන අතරේ වැඩ කරන්න.

ඇත්තටම දැන් නම් මට පෙම්වතියක් නැහැ. ඉස්කෝලෙ යන කාලෙ නම් පාසල් වියේ පෙම් කතා නොතිබුණා නෙවෙයි. මම දැන් ගොඩක්ම පෙම් කරන්නේ සොබාදහමට. මම ඉපදුණ නාවලපිටියේ පරිසරයට ආදරය කරමින් පරිසරය රසවිඳින කෙනෙක්. මම ගමේ විදිහට සරලව ජීවත් වෙන්න කැමති කෙනෙක්. මගේ ජීවිතයත් හරි සරලයි. මම ආදරය කරන්න කැමති මම වගේ සරල විදිහට හිතන කෙනෙක්ට. නළුවෙක් විදිහට තිරයේ දකින මාව හිතින් මවාගෙන මට ආදරය කරන කෙනෙක්ට හැබෑ ජීවිතයේ ඉන්න කසුන් තාරකව තේරුම් ගන්න බැහැ. හැබෑ ජීවිතයේ මාව තේරුම් අරන් මම කැමති සරල දිවියට ඇළුම් කරන කෙනෙක්ට මම කවදා හරි ආදරය කරයි. ඒක කවදා කාට ආදරය කරයිද කියලා දැන්ම කියන්න බැහැ. හැබැයි නිළියක් නම් මගේ පෙම්වතිය වෙන එකක් නැහැ.

ඉතින් ඒ වගේම මගේ පවුලෙ ඉන්නේ අම්මයි, තාත්තයි, අයියයි, මමයි, නංගියි. අපේ තාත්තා දුම්රිය දෙපාර්තමේන්තුවේ රැකියාවක් කරනවා. අම්මා ගෘහණියක්. මම අධ්‍යාපනය ලැබුවේ නාවලපිටිය අනුරුද්ධ කුමාර ජාතික පාසලෙන්. ටෙක් විෂය ධාරාවෙන් උසස් පෙළ හැදෑරුවා. මේ වෙද්දි පූර්ණකාලීනව රංගනයට යොමුවෙලා ඉන්නේ කියලයි මේ කඩවසම් රංගන ශිල්පියා අවසාන වශයෙන් පවසලා තිබුනේ.