Paper Article

මම කවදාවත් කිසිම දේශපාලන පක්ෂෙකට කඩේ ගිහිල්ලත් නෑ යන්නෙත් නැහැ-ජනප්‍රිය නිවේදක විශ්ව ලංකා

අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන දක්ෂ ජනප්‍රිය වගේම කවුරුත් ආදරය කරන කඩවසම් නිවේදන ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙක් තමයි විශ්ව ලංකා කියලා කියන්නේ. ඉතින් මේ කඩවසම් කළා ශිල්පියා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් මෙන්න මේ විදිහටයි කතා බහ කරලා තිබුනේ. මම මේ දවස්වල සියත නාළිකාව ඔස්සේ විකාශය වන ‘Encounter 2’ ටෙලි නිර්මාණයට නිෂ්පාදනයෙන් සහ රංගනයෙන් දායක වෙලා ඉන්නවා. අලුත් නිර්මාණයකට ආරාධනාවක් ලැබුණා. ඒ සඳහා රංගනයෙන් දායක වීමට සූදානම් වෙමින් ඉන්නවා. ඊට අමතරව නිෂ්පාදන කටයුතු, නිවේදන කටයුතු සහ ව්‍යාපාරික කටයුතුත් සාමාන්‍ය විදිහට කරගෙන යනවා.

මට පුංචි කාලෙ ඉඳලා ලොකු ආසාවක් තිබුණා ජනප්‍රිය පුද්ගලයෙක් වෙන්න. උසස් පෙළ හදාරමින් ඉන්න කාලෙදි මට දැඩි ආසාවක් තිබුණා රංගන ශිල්පියෙක් වෙන්න. ඒ කාල සීමාවේදී නළු උණ ඔළුවට ගැහුවට පස්සේ රූපවාහිනි වැඩසටහන්වලට, නිරූපණ ශිල්පියෙක් විදිහට කටයුතු කරන්න පෙලඹුණා. මම නළුවෙක් වීමේ අරමුණෙන් ගමක ඉඳලා කොළඹට ආපු කොල්ලෙක්. මම වෘත්තීයමය වශයෙන් මාධ්‍යට යොමු වෙන්නේ 2010දී. නමුත් මම සහන නිවේදකයකු ලෙස 2006දී මාධ්‍ය ක්ෂේස්ත්‍රයට සම්බන්ධ වෙනවා. එතැනින් ආරම්භ කළ ගමන තමයි මේ.

මම මාධ්‍ය ක්ෂේස්ත්‍රයට සම්බන්ධ වෙලා දැන් අවුරුදු 15ක් විතර වෙනවා. ඇතැම් අවස්ථාවලදී ප්‍රතික්ෂේප වීම් සිද්ධ වෙලා තියෙනවා. නමුත් මම කිසිම අවස්ථාවක උත්සාහය අතහැරියේ නැහැ, විවේචනයන්ට ලක් වෙච්ච අවස්ථා තියෙනවා. නමුත් එම විවේචනයන් සාධාරණ විවේචනයක් කියලා මම දකින්නේ නැහැ. මොකද නවකයෙක් මුලින්ම ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනකොට කැපිලි කෙටිලි තියෙනවා, විවේචන, දෝෂාරෝපණ එල්ල වෙනවා. ඒක අපි හැමෝම දන්නවා. මටත් ඒ දේවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. නමුත් මම ඒ කිසිම දේකට සැලුණේ නැහැ. සමහර අවස්ථා තිබුණා මාධ්‍ය ක්ෂේත්‍රය මට හරියන්නේ නැහැ කියලා හිතුණා. නමුත් මගේ මවුපියන් වගේම බිරිය ඒ සෑම අවස්ථාවකදීම මට විශාල සවියක් වුණා.

මම ගැන කතා කළොත් මට දවසින් දවස ප්‍රේක්‍ෂකයෝ වැඩි වුණා මිස අඩු වෙලා නැහැ. මම ප්‍රමුඛතාව ලබාදිය යුතු දේවල් කොටස් හතරකට වෙන් කරගෙන තියෙනවා. ඒක මගේ පවුල. දෙක මගේ ආත්මගරුත්වය, නම්බුව, පෞරුෂත්වය. තුන මගේ රැකියාව සහ මිල මුදල්. හතර තමයි අනික් හැමදේම. මම කරන කියන දේවලින් මගේ පවුලට යම් කිසි අගෞරවයක් හෝ හානියක් වෙනවා නම් මම කිසිසේත්ම ඒ දේවල් කරන්නේ නැහැ. පහුගිය කාලේ එක්තරා දේශපාලන මඩ කණ්ඩායමක් මට මඩ ගහලා තිබුණා 15 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියකට. ව්‍යාජ නාමලේඛනයකට මගේ නමත් දාලා තිබුණා. නමුත් මට මාර සතුටක් තියෙනවා කිසිම ප්‍රේක්‍ෂකයෙක් මගෙන් ඇහුවේ නැහැ අයියේ ඔයාගෙ නමත් මෙහෙම තියෙනවා නේද කියලා. මොකද ඔවුන් දන්නවා මම කොයිම වෙලාවකවත් එහෙම කරන්නේ නැහැ කියන්න. මම තාමත් එදා හිටපු විදිහම තමයි. කොළඹ ජීවිතේට හුරු වුණාම එකතු වෙන යාළුවෝ කණ්ඩායමට ගැළපෙන විදිහට සැබෑ ජීවිතයට වඩා ඉහළ මට්ටමක ප්‍රතිරූපයක් නඩත්තු කරන්න වෙනවා. එතකොට තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. මාධ්‍යවේදියකු ඕනෑම අවස්ථාවක ස්වාධීනව් තම මතය ප්‍රකාශ කිරීමට නොපසුබට විය යුතුයි.

නමුත් වර්තමානයේ අපි බොහෝ වෙලාවට දකිනවා පක්ෂග්‍රාහී විදිහට කටයුතු කරන පාර්ශ්වයන්. ඒක නම් කනගාටුවක් නෙමෙයි ඒක ඛේදවාචකයක්. ඒක ඇවිල්ලා අපේ සිස්ටම් එකේ තියෙන පට්ටම අවුලක්. අපේ රටේ දේශපාලනඥයා කියන්නේ ජනතාව විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරපු චරිතයක්. හැමෝම ප්‍රාර්ථනා කරන්නේ 225ම නැත්තටම නැති වෙලා යන්න කියලනේ. එහෙම ප්‍රතික්ෂේප වෙච්ච දේශපාලනඥයා ගාව කලාකරුවා ගිහින් දණින් වැටෙනවා කියන්නේ මාරම ඛේදවාචකයක්. මිනිස්සු ඊට පස්සෙ කලාකරුවාව සත පහකට ගණන් ගන්නේ නැහැ. පහුගිය කාලේ මේ පවතින ආණ්ඩුව බලයට ගේන්න අපේ ප්‍රවීණ ජේෂ්ඨ කලාකරුවෝ කීදෙනෙක් කඩේ ගියාද,

කලාකරුවෙක් වුණාම කෙළින් කතා කරන කොන්දක් තියෙන ඕනි. මම අද වෙනකන් කිසිම දේශපාලන පක්ෂෙකට කඩේ ගිහිල්ලත් නෑ යන්නෙත් නැහැ එහෙම යන්න අවශ්‍යතාවකුත් නැහැ. දේශපාලනයට සම්බන්ධ පාර්ශව කොතරම් හිතවත් වුණත් මම එයාලගෙ මතය වෙනුවෙන් පෙනී ඉන්නේ නැහැ. මම තාත්තා කෙනෙක්. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නා වෙනුවෙන් මම රට ගොඩගන්න කලාකරුවෙක් වශයෙන් දායක වෙන්න ඕනි කියන එක මම විශ්වාස කරනවා. පාට පක්ෂ පැත්තකට දාලා වැරැද්ද නම් වැරදියි කියන කලාකරුවෙක්ට වගේම සාමාන්‍ය මිනිස්සුන්ටත් කොන්දක් තියෙන්න ඕනි.

මනුස්සයෙක් විදිහට මට ළගා කරගන්න අවශ්‍ය වුණු බොහෝ දේවල් මම දැන් ළඟා කරගෙන ඉවරයි. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මට හොඳ බිරිදක් ඉන්නවා. මම හරිම ආඩම්බරයෙන් කියනවා. මම අද මෙතන ඉන්නෙත් ඇය නිසා. මම අද ප්‍රධාන පෙළේ නාළිකාවක ජේයෂ්ඨ විධායක නිලධාරියෙක් විදිහට වැඩ කරනවා කියලයි මේ කඩවසම් කළා ශිල්පියා අවසාන වශයෙන් පවසලා තිබුනේ.