Paper Article

මම කම්මැළිකමට කරපු දේවල් අන්තිමට මගේ වෘත්තීය වුණා-රටම හිනස්සන රැට්ටා

මේ වන විට අපේ රටේ මෙන්ම මුළු ලෝකයේම සමාජ මාධ්‍ය වලට හිමිවෙලා තියෙන්නේ ඉතාම සුවිශේෂී තැනක්. අද සමාජයේ සමාජ මාධ්‍ය භාවිතා නොකරන කෙනෙක් නැති තරම්. ඉතින් ඒ වගේම බොහෝ දෙනෙක් තමන්ට ඇති නිර්මාණාත්මක හැකියාව ප්‍රයෝජනයට ගෙන සමාජ මාධ්‍ය භාවිතා කරමින් මුදල් ඉපයීමට වගේම එය වෘත්තීය කරගත්ත විශාල පිරිසකුත් ඉන්නවා. ඉතින් ඒ අතර අපේ රටේ කවුරුත් ආදරය කරන රටම හිනස්සන හැමෝම දන්න දක්ෂ යූටියුබර් කෙනෙක් තමයි රැට්ටා කියලා කියන්නේ. ඉතින් මේ යූටියුබ් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් රැට්ටා පහුගිය දවසක පුවත්පතක් එක්ක එකතුවෙමින් ඔහුගේ මේ සාර්ථකත්වය ගැන වගේම අලුත්ම තොරතුරු ගැන මෙන්න මේ විදිහටයි කතා බහ කරලා තිබුනේ.

රැට්ටා කියන්නේ රතිඳුට. හැබැයි රැට්ටා නම වැටුණේ මම කලින් රැකියාව කරපු තැනින්. ඔෆිස් එකේ අයියා කෙනෙක් තමයි රැට්ටා කියන නම දැම්මේ. රතිඳු කියන නම අමාරුයි, මම උඹට රැට්ටා කියලා කතා කරන්නම් කියලා. ඊට පස්සේ මුළු ඔෆිස් එකේම අය රැට්ටා කියලා කතා කරන්න ගත්තා. නම වැටුණේ 2012 අවුරුද්දේ. 2016 යූටියුබ් චැනල් එකටයි, ෆේස්බුක් පේජ් එකටයි දාන්න නමක් හිත හිත ඉද්දි මට හිතුණා රැට්ටා කියන නමම දානවා කියලා. හිතුවට වඩා නම නැගලා ගියා.

මේ දවස් වල මම පොඩ්ඩක් හිර වෙලා ඉන්නේ. මොකද වීඩියෝ එකක් කරන්න මගේ කණ්ඩායම එක තැනකට ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා කොරෝනත් එක්ක. දැන් මාස හතරකින් විතර වීඩියෝ එකක් දාන්න බැරි වුණා. අලුත් වැඩක් පටන් අරන් තියෙන්නේ. ඒ වැඩේ කරගෙන යද්දි මට අසනීප වෙලා දවස් විසි ගාණක් ඇඳටම වෙලා හිටියා. දැන් නම් සනීප වේගෙන එන්නේ.

යූටියුබ් ජීවිතේ අමතක නොවන සිදුවීම් නම් බොහොමයි. මම කරපු රාමා වීඩියෝ එකේදි අපිට වෙන්න තිබුණ හැම කරදරයක්ම වුණා. මුහුද මැද රූගත කරන්න සිදුවීමක් තිබුණා අපි බෝට්ටුවේ යන ගමන්. මුලින්ම අපි කට්ටියටම sea sick එක හැදිලා අමාරු වුණා. කොහොමහරි ටික වෙලාවකින් සීන් එක ගත්තා. ඩ්‍රෝන් කැමරාවකින් තමයි ඒ ටික ගත්තේ. කොහොම හරි ඩ්‍රෝන් එකේ බැටරි බහින්න කලින් අපි ඒක බෝට්ටුවට ලෑන්ඩ් කරන්නත් ඕනේ.

ඩ්‍රෝන් එකේ option එකක් තියෙනවා return to home කියලා. ඒකෙන් වෙන්නේ ඩ්‍රෝන් එක උඩ යවපු තැනටම ගිහින් බාන එක. පස්සෙ අපිට මතක් වුණේ දැන් උඩ යවපු තැන බෝට්ටුව නෑනේ එහෙම වුණාම ඩ්‍රෝන් එක බාන්නේ මුහුදටනේ කියලා. කොහොම හරි අපි ආයේ ඩ්‍රෝන් එක පස්සෙන් ගියා. හරියටම අපි ඒක උඩ යවපු තැන ඩ්‍රෝන් එක නැවතුණා. අපේ වෙලාවට මුහුදු රැලි stable නිසා ඩ්‍රෝන් එක බාන්නෙ නැතුව උඩ රැඳිලා තිබ්බා. ඒත් අපිට අල්ලන දුරකත් නෙවේ ඩ්‍රෝන් එක තිබ්බේ. බැට්ට්‍රි බහිනකල් ඉමු කියලා ටික වෙලාවක් බලන් හිටියා බැටරි බහින්නෙත් නෑ. හුළඟට දැන් බෝට්ටුවත් වෙන පැත්තකට පාවෙනවා.

පස්සේ බැරිම තැන අපේ මල්ලි කෙනෙක් කිව්වා ඩ්‍රෝන් එක වැටිච්චදෙන් අපි ගත්තු ෂොට්ස් ටික හරි ඉතුරු වෙයිනේ මම පැනලා ඒක අල්ලගන්නම් කියලා. ඊටපස්සෙ වාසනාවට බැටරි බැහැලා ඒක හෙමීට පහළට ආවා. පස්සේ අර මල්ලි පැනලා ඩ්‍රෝන් එක අල්ලගත්තා. එයාගේ අතත් කැපුණා ෆෑන් එකට. කොහොමහරි ඉතින් ලක්ෂ තුනහමාරක විතර ඩ්‍රෝන් එක බේරගත්තා. ඊටපස්සේ සීන් එක තිබ්බේ ගෙදර.

කොහොමහරි මට ගෑස් එකයි, සී සික් එකයි එක්ක හොඳටම අමාරු වෙලා ෂොට්ස් දෙක තුනක් ගද්දි සිහිය නෑ. පස්සෙ මම මගේ ෂොට්ස් ටික පස්සෙ ගමු ඩි‍ෆෙන්ඩර් ටික ආයෙ ගෙන්නගන්න බැරි නිසා ඒ ටික ගන්න කියලා රෝහල්ගත වුණා. දවස් හතරකට විතර පස්සෙ තමයි ඉතුරු ෂොට්ස් ටික ගත්තේ. මම ගණකාධිකාරීවරයෙක් වුණේ ආර්ථිකය ශක්තිමත්ව සමාජය ඇතුළේ රැකිලා ඉන්න ඕන නිසා. නැතුව මම එකවුන්ට් කියන දේටවත් ගණන් හදන්නත් ආස මිනිහෙක්වත් නෙවේ.

නමුත් මම හොඳින් ඉගෙනගත්තා ඉදිරිය ගැන හිතලා. පාසල් අධ්‍යාපනය ඉවර වෙලා මම CIMA කළා. එහෙම පියවරෙන් පියවර තමයි ගණකාධිකාරී වෘත්තියට ආවේ. ඒක මගේ පැෂන් එක වුණේ නෑ. වෘත්තිය පමණයි. වෘත්තිය කරගෙන ඉන්නකොට තමයි මට පැෂන් එක මුණගැහෙන්නේ. ඉස්සෙල්ලාම මම ගෙදර නිකන් ඉන්න වෙලාවට පොඩි පොඩි වීඩියෝ හදලා ෆේස්බුක් පේජ් එකට දැම්මා.

ඒක මම කම්මැළිකමට කරපු දෙයක්. ඔහොම යද්දි කොමර්ෂල් සෙට් වෙන්න ගත්තා. ඒවත් කළා. ඊටපස්සේ මට තේරුණා මේකේ Commercial value එකක් තියෙනවා මේක මට වෘත්තිය විදිහට කරන්නත් පුළුවන් කියලා. මම කවදාවත් අට පහ රස්සාවල්වලට කැමති වුණ කෙනෙක් නෙවේ. මට අදහස තිබුණේ මම ස්ථාවර වෙලා කවද හරි මගේම දෙයක් පටන් ගන්නවා කියලා. ඒත් ඔය කාලෙත් යූටියුබ් අදහසක් ඔළුවේ තිබ්බේ නෑ. මම මගේ ව්‍යාපාරයට අඩිතාලම දාගෙන රස්සාවෙන් අයින් වුණා.

මට වුවමනාව තිබ්බේ ඉන්ෂුවරන්ස් කම්පැනියක් පටන්ගන්න. ඒකට ලයිසන්ස් එක ගන්න සේරම ලියකියවිලි ඉන්ෂුවරන්ස් බෝඩ් එකට දාලා ලෑස්ති කරලා තියෙද්දි ආණ්ඩුව පෙරළුණා. ඊටපස්සේ ඉන්ෂුවරන්ස් බෝඩ් එකම විසිරුණා. දැන් ලයිසන්ස් එක එනකල් මට කරන්න දේකුත් නෑ. ජොබ් එකත් නැතුව ගෙදරනේ හිටියේ. ස්ථිර ආදායමක් නෑ. එතකොට මගේ වාහනේ තිබුණා. වාහනෙත් තියෙන නිසා මම ඌබර්වලට රෙජිස්ටර් වෙලා ටැක්සි දිව්වා. වෙලාව තියෙද්දි වීඩියෝ හදලා දැම්මා. එහෙම දාපු වීඩියෝ එකක් තමයි මංගල මුතු මාල වළලු වීඩියෝ එක. හිතුවෙ නැති තරම් ඒක මිනිස්සු අතරට ගියා.

ඒකෙන් තමයි මට යූටියුබ් එකෙන් පළවෙනි ඩොලර් සීය ලැබෙන්නේ. ඊටපස්සේ මට තේරුණා යූටියුබ් එකට බැහැලා commercialized videos කළොත් ගාණකුත් හම්බෙනවා එතකොට ටැක්සි දුවන එකත් නවත්තන්න පුළුවන් කියලා.ටැක්සි දුවන එක ටික ටික නැවැත්තුවා. ටික ටික වීඩියෝස් දානකොට හම්බෙන ගාණත් ටිකින් ටික වැඩි වුණා. මාස තුනක් විතර යද්දි මට මාසයක් ජීවත් වෙන්න පුළුවන් ගාණ අතට ආවා.

ඔහොම තමයි ෆුල් ටයිම් YouTube content creations පටන්ගත්තේ. ඔහොම ඉද්දි මගේ ලයිසන්ස් එකටත් අනුමැතිය ලැබුණා. එතකොට මගේ ඉස්සරහා තිබුණා පාත් දෙකක්. යූටියුබ් සහ ඉන්ෂුවරන්ස්. එතනින් මම තෝරගත්තේ යූටියුබ්. දැන් මම මගේ ලොක්කගෙත් ලොක්කගේ සැලරි එකටත් වඩා තුන් ගුණයක් විතර හම්බකරනවා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.