Paper Article

මට දැන් අවුරුදු පහක ඉදන් ප්‍රේමවන්තියක් නැහැ, ඒත් මට ආදරය ලැබෙනවා-ජනප්‍රිය නළු ධනුක දිල්ෂාන්

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ ජනප්‍රිය කඩවසම් රංගන ශිල්පියෙක් තමයි ධනුක දිල්ෂාන් කියලා කියන්නේ. තණමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍ය හරහා රටේම ආදරය දිනා ගත් මේ දක්ෂ රංගන ශිල්පියාව අපට මේ දවස්වල පියාඹන මූනිස්සම් නාට්‍යයේ මෝක්ෂ නමැති චරිතය හරහා දැකගන්න ලැබෙනවා. ඉතින් මොහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

ඇත්තටම මම තණමල්විල කොල්ලෙක් නාට්‍යයෙන් පස්සෙ වෙන වැඩක් බාරගත්තේ නැහැ. ඒකෙන් පස්සේ වැඩ කීපයක්ම ලැබුණත්, අන්තිමට අනුරුද්ධ ජයසිංහ අයියගෙ පියාඹන මූනිස්සම් ටෙලිනාට්‍ය තමයි බාරගත්තෙ. මම මෙගා නාට්‍යවල වැඩ කරන්නෙ නැහැ කියන අදහස එක්ක හිටියේ.

මම මෙගා නාට්‍යවල වැඩ කරන්නෙ නැත්තෙ හොඳ නිර්මාණ නොලැබෙන නිසා නෙවෙයි. හොඳ නිර්මාණ කෙරෙනවා. ඒත් ඒවා අධ්‍යක්ෂණය කරන, නිෂ්පාදනය කරන නිර්මාණකරුවන්ට ඒවා පෙන්වා ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. චැනල් විසින් හම්බ කරන නිර්මාණ තමයි පසුගිය කාලයේදී වැඩිපුරම එළියට ආවේ. ඒ පැත්තෙ මම නැති නිසා, මාව පෙනෙතත් නැතුව ඇති.

මම පොඩි කාලයේ ඉඳලාම රංගනය ගැනම හිත යොමුකළ නිසා වෘත්තිය කරගත්තේ රංගනය. ඒ වුණත් කලාව වෙතින් ජනතාවට, රටට යහපතක්, පණිවුඩයක් දීම හැර සල්ලි මත්තෙම ගිහින් ඕනෑම එකකට දායකවීම අරමුණු කරගත්තේ නැහැ.

මම ආදරය කරන්න පටන්ගත්තේ එකොළහ වසරෙ ඉන්න කාලයේදී. එයාව බදින්න ඕනෑය කියලා මම ගෙදරට කිව්වා. ඒ ගැන තුන් හතර පාරක්ම ගෙදරට කිව්වත් ඒක හරි ගියේ නැහැ. පස්සෙ පස්සෙ ජීවිතය ගැන අවබෝධ කරගන්න පුළුවන් කාලය ආවාම, ආදරය කියන්නෙ සිල්ලර දෙයක් නොවන වග වැටහුණා. ආදරය කියන්නේ විවාහ නොවුවත් පිරිසිදු දෙයක්. ඒ හැරත් මම සිල්ලරට ආදරය කරන කෙනෙක් නෙවෙයි. වසර හතර පහක සිට ප්‍රේමවන්තියක් නැහැ. ඒත් ආදරය මට ලැබෙනවා.

පහුගිය කාලේ මට රට අත ඇරලා යන්න අදහසක් තිබුණා. කොහොමටත් මම වැඩිපුර ඉන්නෙ ජර්මනියෙ. මගේ නංගිවත් බර්ලින්වල යුනිවර්සිටි එකකට යොමුකළා. නංගිව ආයෙත් යුනිවර්සිටි දාන්න යනකොට එයාව ඇරලවන්න මටත් යන්න වෙනවා. මෙහේ වැඩක් තිබුණොත් තමයි එන්නෙ. ඇවිත් ඒකට දායක වෙලා ඊට පස්සෙ යනවා. මගේ විදිය එහෙමයි. ප්‍රංශයේ සිට රංගනය ගැන ඩිප්ලෝමාවක් හදාරමින් ඉන්නෙ.

විවාහයට මම හිතන්නෙ ක්ෂේත්‍රය අදාල වෙන්නෙ නැහැ. ඒක සාපේක්ෂ දෙයක්. නමුත් ඉස්සර අපේ අම්මලගෙ තාත්තලාගෙ කාලයේදි තිබූ ස්වභාවයට වඩා අද ප්‍රේමය වෙනස්. තාක්ෂණයේ පහසුව එක්ක ප්‍රේමය සහ ප්‍රේම කරන විදිය වෙනස් වෙලා. ප්‍රේමයට කලින්, මිනිසුන් සාරධර්ම සහ සංස්කෘතිය වටහාගන්න ඕනැ. ඒවායින් ඈත්වීම හොඳ දෙයක් නෙවෙයි. ඒක තම නිවෙස්වලින්ම තමයි මතුවෙන්න ඕනෑ. එහෙම නැතුව තමුන්ම හොයාගෙන ගිහින්. තමුන්ගෙ අවශ්‍යතාවය සපුරාගන්න හදන ප්‍රේමය කියලා හිතන දෙයක් තමයි අද බොහෝ විට අපට දැකගන්නට ලැබෙන්නෙ. යාන්ත්‍රික නොවී මීට වඩා හැගුම්බර වුණා නම් හොඳයි.

තණමල්විල කොල්ලෙක් නාට්‍යයේ පස්සේ මගේ ජීවිතයේ බොහෝ දේ වෙනස්වුණා කිව්වොත් හරි. රොෂාන් රවින්ද්‍ර අයියා සහ තණමල්විල කොල්ලෙක්ගෙන් පසුව හමුවූ මිනිස්සු එක්ක, කලාව තේරුම්ගැනීම එක්ක, මට බොහෝ දේ වටහා ගන්න පුළුවන් වුණා. ඇයි අපි කලාව කරන්නේ? මොකටද අපි කලාව කරන්නෙ? කියන දේ ගැන වටහාගෙන කලාවේ නියැලෙන්න අදහස් ඇතිවුණා. මේ ක්ෂේත්‍රය ගැනත් ඉගෙන ගන්න සොයා යන්න පෙළැඹුණා. හැබැයි සමහරු හිතාගෙන හිටියෙ මම නිකම්ම නිකම් මල් සිංදුවල රගපාලා ඉන්න කෙනෙක් කියලයි. ඒත් ඒවා මට ලැබුණු අවස්ථා විතරයි. එහෙම නැතුව බලනවා නම් මගේ සැබෑ ජීවිතය සහ කලාව මේ කතාබහ කළ දේට සමානයි.

ජීවත් වෙනවා කියන්නේ පරිසරයට අනුගතව ගත කළ යුතුය කියලයි මම හිතන්නෙ. එහෙම නොවුවොත් විනාශ වෙනවා, ජීවිතය කියන්නේ ජීවත් කරවීමට වඩා එහා ගිය දෙයක්. කොයිහැටි වෙතත්, ජීවිතයේ හැමෝම සතුටින් සිටීම වැදගත්. ද්‍රව්‍යමය දේ පසුපස හඹා යමින්, මිනිස්සු වැඩි දෙනෙක් ජීවත් වෙන්නෙ තෘෂ්ණාවෙන්. ඒවා අවම වෙනවා නම් හොඳයි. ඒ නිසා ඒ තරගයට නොගිහින්, ජීවිතය වටහා ගැනීම හොඳයි. කලාව මේ දක්වා මට ලැබෙන දේ කළා. මේ පවතින ලෝක රටාව, සමාජ රටාව එක්ක මිනිස්සු තරමක් දුරට පිරිහිලා. ඒ දිහා බලාගෙන මාත් ජීවත් වෙනවා.

ඇත්තටම ලංකාව වගේ රටක බෙන්ස් එකක් හරි වෙනත් සුබෝපභෝගී රථයක් මිලදී ගැනීමේදී සියයට තුන්සියයක විතර බද්දක් අය කරනවා. ඉතින් ඒ වගේ රටක බෙන්ස් එකක් ගන්නවාය කියන එකම මහා ගොන් අදහසක්. සල්ලි සාගරයක් තියෙනවා නම් විතරක් බෙන්ස් එකක් අරගෙන ඔළුවට බරක් නැතුව රෑට හොඳට නිදාගන්න පුළුවනි. ඒත් ලෝන්දාලා බෙන්ස් අරන් රෑට නිදහසේ නිදාගන්න බැහැනෙ. මම කොහොමටත් කොළඹ කොල්ලෙක් හින්දා මේවා මට මහ ලොකු මැජික් නෙවෙයි. යථාර්ථය ගත්තොත්, සියයට තුන්සියයක විතර ටැක්ස් ගහන රටක ණය නොවී කාර් එකක් ගන්නවා හැර ලෝන් දාලා අරගෙන ඇති වැඩක් නැහැ. ඒක ඔළුවට මහා බරක්. ඉතින් ධනුක කියන්නෙ ඉතාම සරලව, ජීවත් වන කොලෙක් කියලයි මේ කඩවසම් රංගන ශිල්පියා අවසාන වශයෙන් පවසලා තිබුනේ.