Paper Article

මට අවුරුදු 19 ඉඳන් 24 වෙනකල් අතීතේ සිදුවුණ 60%ක් විතර අදටත් මතක නෑ-ජනප්‍රිය රැප් ගායක ස්මෝකියෝ

අපේ රටේ රැප් කලාව ගැන කතා කරද්දි මුලින්ම මතක් වෙන චරිත අතලොස්සෙන් නව පරපුරේ ජනතාවගේ රැප් ගායකයා ලෙස උඩින්ම රැඳිලා ඉන්න කෙනෙක් තමයි ස්මෝකියෝ කියලා කියන්නේ. හැමෝම ඔහුව හදුනන්නේ ස්මෝකියෝ කියන නමින් වුණත් ඇත්තටම ඔහුගේ නම කෙවින් ද සිල්වා. කොහොම නමුත් මත්ද්‍රව්‍ය නිසා වසර ගණනාවක් පීඩා වින්ද ස්මෝකියෝ වෙනස් වුණ ජීවිතේ එක්ක පසුගිය වසරේදී නැවතත් රැප් කරලියට එන්නේ පෙර චරිතයට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක් විදිහටයි. ඉතින් මේ යන සුබ ගමනේ කාමිනී, නෑසුනා, ලිය ලියා වැනි ගීත මෑත කාලයේ ඉතාමත්ම ජනප්‍රිය වුණා. ඉතින් ඒ වගේම ඔහු මේ දවස්වල ඔහුගේ ප්‍රථම සංගීත ඇල්බමය වන කළුනික වෙනුවෙනුත් සූදානම් වෙනවා කියලා තමයි අපට දැනගන්න ලැබුනේ. ඉතින් මේ ජනප්‍රිය රැප් ගායකයා ඔහුගේ ජීවිත කතාව ගැන වගේම අලුත්ම තොරතුරු ගැනත් පහුගිය දවසක පුවත්පතකට පවසලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

මේ වෙනකොට මිලියන හතකට කිට්ටුව වීව්ස් තියෙන කාමිනී මම rehab එකේදි හොරෙන් ලියපු ගීතයක්. කාලෙකට කලින් රැප් කියන දේ මගෙන් ගැලවිලාම ගියා. ඒ කාලේ මමත් හිතාගත්තා මම ආයෙ කවදාවත් රැප් කරන්නෑ කියලා. මොකද rehab එක මට රැප් තහනම් කළා. එයාලා හිතුවේ මම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණේ රැප් නිසා කියලා. නමුත් මම රෑට රෑට හොරෙන් රැප් ලිව්වා. ඒ හොරෙන් ලියපු ගීත තමයි කළුනික ඇල්බම් එකේ තියෙන්නේ. ඇල්බම් එකට අමතරව තව featuring songs දහයක් විතර ඉස්සරහට රිලීස් වෙන්න තියෙනවා. ස්මෝකියෝ කියලා කියන්නේ මට පාසල් කාලේ ඉඳන්ම යාළුවෝ දාපු නමක්. ඒ කාලේ මගේ තිබුණ Lifestyle එකත් එක්ක. ස්මෝක් කියන්නේ දුමට. දුමක් සාමාන්‍යයෙන් යන්නේ උඩටනේ. මමත් දැන් යන්නේ පහළ ඉඳන් ටික ටික උඩට.

මගේ ජීවිතේ විනාස වුණ කාලයක් තිබුණා මත්ද්‍රව්‍ය නිසා. ඒකෙ බරපතළකම කොච්චරද කිව්වොත් රෝහල් දෙකකින් මගේ අම්මට කියලා තිබ්බා මාව බේරගන්න බෑ කියලා. ඒ තරමටම මගේ ඇඟේ තිබුණේ මත්ද්‍රව්‍ය විතරයි. දෙපාරක්ම ජීවිතේ අන්තිම තත්ත්පරේට වැටිලා බේරුණා. ඒත් එක තැනකදි මට ඒ ජීවිතේ ගැන කලකිරුණා. හෙරොයින් පාවිච්චිය නිසා මට හැමදේම නැති වුණා. සෞඛ්‍යය පිරිහුණා. නීතිමය ප්‍රශ්න ආවා. පස්සේ මමම තීරණය කළා ජීවිතේ වෙනස් කරගන්නවා කියලා. පස්සේ පැල්මඩුල්ල පන්සලක තියෙන විශෝධන මධ්‍යස්ථානයකට යොමු වුණා. 2018දී මම එතැනින් වෙනස්ම චරිතයක් වෙලා එළියට ආවේ. ඒත් ටික දවසක් යද්දි මම ආයෙම පෙර තත්ත්වයටම එනවා කියලා දැනුණා. දෙවැනි පාරටත් මම rehab එකට ගියා.

අවුරුදු එකහමාරක් ඉඳලා ගිය අවුරුද්දේ සැප්තැම්බර් තමයි ආයෙම ගෙදර ආවේ. මට ලොකුවටම වුවමනාව තිබ්බේ හෙරොයින් ඇබ්බැහිය නවත්තන්න. ඒක මම කොහොමහරි කළා. කවුරුහරි කිව්වොත් හෙරොයින් පාවිච්චියට පුරුදු වුණ කෙනෙක්ට ඒක නවත්තන්න බෑ කියලා දැන් මම කියනවා අනිවාර්යෙන්ම පුළුවන් කියලා. හැබැයි ඒකට හිතේ ලොකු හයියක් තියෙන්න ඕනේ. Rehab එකට ගිය පළවැනි පාර lifestyle එක වෙනස් කරගන්න වුවමනාවක් තිබ්බේ නෑ. දෙවැනි පාර ආයෙමත් ගියේ පළවැනි පාර නවත්තගන්න බැරි වුණ දේවල් නවත්තනවා කියලා හිතාගෙන. ආයේ මම ගෙදර ආවේ මගේ lifestyle එකත් සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන. මම මුලින්ම මත්ද්‍රව්‍ය පාවිච්චි කළේ fashion එකක් විදිහට. ඊට පස්සේ තිබුණ කුතුහලයත් එක්ක සිගරැට් එකෙන් පටන් අරන් ලංකාවට ආපු හැම මත්ද්‍රව්‍යක්ම පාවිච්චි කළා. මං හිතන්නේ මගේ වයසේ කවුරුත් මං තරම් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා නැතුව ඇති.

මම හරිම සංවේදී මනුස්සයෙක්. පස්සේ පොඩි පීඩනයක් ආවත් මම ඒක හෙරොයින්වලින් නිදහස් කරගන්න පුරුදු වුණා. Rehab එකේ ජීවිතෙත් ලේසි නෑ. සේරම කාලසටහනකට තමයි වෙන්නේ. අසූ දෙනෙක්ට උදේ wash එක දාගන්න විනාඩි 15යි තියෙන්නේ. අර අසූ දෙනාටම තියෙන්නේ වොෂ් රූම්ස් 3යි. කාලසටහන හරිම tied. එතන පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් නෙවේ, ඇත්තටම සුපර් හියුමන්ස්ලා හදන තැනක් කිව්වොත් හරි. කොහොම නමුත් දැන් අතීතයට වඩා මම වර්තමානයට හැම පැත්තෙන්ම කැමතියි. දැන් ඉන්න ස්මෝකියෝ හෙරොයින්වලින් සම්පූර්ණයෙන්ම තොරයි.

මට පෙම්වතියෝ කීප දෙනෙක්ම හිටියා. නමුත් එයාලා මගෙන් බලාපොරොත්තු වුණේ වෙන දෙයක්. මම එයාලගෙන් බලාපොරොත්තු වුණෙත් වෙන දෙයක්. නමුත් rehab එකට යනකොට මම ඇත්තටම ආදරය කරපු කෙනෙක් හිටියා. එහේ දුරකථන පාවිච්චි කරන්න බෑ. ලියුම් තමයි ලියන්න ඕනේ. අම්මට විතරයි මාව බලන්න දුන්නෙත්. එයා එක්ක කතාබහ කරන්න බැරි වුණ නිසාද දන්නෙ නෑ ඒ සම්බන්ධය නැවතුණා. මම rehab එකේ ඉඳන් හොඳවෙලා එනකොට ඇයට වෙන පෙම්වතෙක් ඉන්නවා.

ඇත්තටම මම ජීවත් වෙනවා කියලා දැනෙන්න ගත්තේ ගිය අවුරුද්දෙන් පස්සේ. එතකල් මම සිහියකින් නෙවේ ජීවත් වුණේ. මම ඔයාට ඇත්තම දෙයක් කියන්නම්. මට අවුරුදු 19 ඉඳන් 24 වෙනකල් අතීතේ සිදුවුණ 60%ක් විතර අදටත් මතක නෑ. ඒ කියන්නේ මම දරුණුවටම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා හිටපු වයස් සීමාව. මාව බලන්න ආපු යාළුවෝ අතීත කතා ගැන කියද්දි තමයි මට දැනෙන්න ගත්තේ මට ඒ සිදුවීම් කිසිම දෙයක් මතක නෑ කියලා. සිදුවීම් විතරක් නෙවේ ඒ කාලසීමාවෙදි අඳුරගත්ත පුද්ගලයෙක්වත් මට මතක නෑ. ඒ කාලේ මගේ ජීවිතේ පට්ටම අමුතුයි. උදේ නැගිට්ට වෙලේ ඉඳලා මම හෙව්වේ මත්ද්‍රව්‍ය. බැරිම තැන අම්මා මල්ලිවත් එක්කන් ගෙදරින් යන්න ගියා. ඇත්තටම මං හිතන්නේ අම්මා හොඳටම සතුටු වුණ දවසක් තමයි මම හොඳ දරුවෙක් විදිහට ආයෙම ගෙදර ආපු එක. මම දැන් සම්පූර්ණයෙන්ම කණපිට ගහපු මනුස්සයෙක්. කෙවින් ඔහුගේ අඳුරු අතීතය එහෙම සිහිපත් කරනකොට අහන්න හිතුණා යහපත් පුද්ගලයෙක් විදිහට නැවතත් සමාජගත වීම ගැනත්. ඇත්තටම මට ඉස්සරට වඩා දැන් හොඳ රසික ප්‍රතිචාර ලැබෙනවා කිව්වොත් මම හරි. රිලීස් කරලා මාස කීපයක් ඇතුළත කාමිනී, නෑසුනා, ලිය ලියා ගීත සියල්ලටම මිලියන දහකට ආසන්න නැරඹුම් වාර තියෙනවා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.