Paper Article

මට අවුරුදු 16දී තාත්තා නැතිවීමත් එක්ක ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වුණා-ජනප්‍රිය නළු සචින් ලියනගේ

අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන දක්ෂ කඩවසම් නවක රංගන ශිල්පියෙක් තමයි සචින් ලියනගේ කියලා කියන්නේ. මේ දිනවල සිරස නාළිකාවේ විකාශය වන ධනුෂ්ක රත්නායකගේ අධ්‍යක්ෂණයක් වන කියා දෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යය ඔබ නරඹනවා නම් එහි නිර්වාන්ගේ චරිතය ඔබට මතක ඇති. ඉතින් ඔහුගේ පවුද්ගලික තොරතුරු ගැන වගේම ඔහු පණ පොවන පළමු ප්‍රධාන චරිතය ගැනත් ඔහු පහුගිය දවසක පුවත්පතක් සමඟ කතා බහ කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

මුලින්ම කියත ඕන මගේ පළමු රංගන දායකත්වය අහස් මාලිගා ටෙලි නාට්‍යය. කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍ය මගේ දෙවැනි ටෙලි නාට්‍ය වගේම මම ප්‍රධාන චරිතයක් කරන පළමු අවස්ථාව. රංගන කලාවේ අධුනිකයෙක් විදිහට ප්‍රධාන චරිතයක් කිව්වම මුලින් චකිතයක් බයක් දැනුණා. චරිත දෙකක් නිරූපණය කරන්න වුණාම ඒ අභියෝගය දෙගුණ තෙගුණ වුණා. ධනුෂ්ක අයියා මේකට මට කතා කරද්දීම මල්ලි චරිත දෙකක් කරන්න තියෙනවා කියලා කිව්වා. නිර්වාන් අනුත්තර කියන්නේ එකිනෙකට වෙනස් චරිත දෙකක්. ඒකත් එක්ක චරිත දෙකට මට ගොඩක් මහන්සි වෙන්න වුණා. මම නවකයෙක් විදිහට මට එක එක දේවල් ඉගෙන් ගන්න හොඳ අභියෝගයක්. නවක නළුවෙකුට ප්‍රධාන චරිතයක් කියන්නේ හීනයක්. අද ඒ හීනය ඇතුළේ මම ජීවත් වෙනවා. ඉතින් මේ චරිත දෙක ගත්තම වැඩිපුරම ආදරේ ලැබෙන්නේ, ප්‍රතිචාර ලැබෙන්නේ රෙදි මොලවත්තේ නිර්වාන්ට. අනුත්තරාට නම් බැනුම් තමයි ලැබෙන්නේ.

ඇත්තටම ප්‍රේමවන්තයෙක් විදිහට මාත් ලොකු අර්බුදයක තමයි මේ දවස්වල ඉන්නේ. ස්නේහා එක පැත්තකින් දිගැසි එක පැත්තකින් මම අර්බුද ගොඩකට මැදිවෙලා ඉන්නේ. ඇත්තටම ප්‍රේක්ෂකයෝ ගොඩක් ආසාවෙන් කුතුහලයෙන් මේ දවස්වල ටෙලි නාට්‍ය බලනවා. ලැබෙන ප්‍රතිචාර දුරකතන ඇමතුම්වලින් ඒක තේරෙනවා. කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍ය එක තැනක දී අතරමග නතර වෙනවා. නැවත අලුත් ආරම්භයක් අරගෙන දින කිහිපයක් වුණත් ප්‍රතිචාරවල අඩුවක් දකින්න ලැබෙන්නේ නැහැ.

මම වෙළඳ දැන්වීම්, මියුසික් වීඩියෝ සහ ටෙලි නාට්‍යයක වැඩ කරලා තිබුණට මිනිස්සු මාව දැනගෙන හිටියේ නැහැ. ඒ හරහා මිනිස්සු අතරට ගියාම රැදෙන්න මට බැරිවුණා. මිනිස්සු අතර රැඳෙන්න ප්‍රේක්ෂක ආදරේ බලන්න මට වාසනාව දුන්නේ නිර්වාන්ගේ චරිතය. දැන් සචින් කියනවට වඩා හැමෝම දන්නේ කතාකරන්නේ නිර්වාන් කියලා, මේ හැමදේටම මම ස්තූති කරන්න ඕන කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ ධනුෂ්ක අයියා. මහේෂ් අයියා, දුලිකා අක්කා, ප්‍රියන්ත අයියා, කොඩිතුවක්කු සර්, මීනා අක්කා. මේ අයට විශේෂයෙන් අලුත් කෙනෙක් ප්‍රධාන චරිතයක් කරන ටෙලි නාට්‍යයක්. ඒ වගේ පුද්ගලයන් වගකීම ගන්නවා කියන්නේ ඒක මට මාර සතුටක්. මම ගොඩක් වාසනාවන්තයි. ශලිනි අක්කා වගේ කෙනෙක් එක්ක රඟපාන්න ලැබුණු එකට. ශලිනි කියන්නේ මට ජීවිතේ මුණ ගැහුණු ඉතාම හොඳ මිතුරියක්. මේ චරිතය තුළ මට වැරදෙන දේවල් මම වරද්දන දේවල් හදාගත යුතු තැන් ගොඩක් දේවල් මට කියලා දෙන්නේ ශලිනි අක්කා. මේ චරිත දෙකේ මොන විදියකට හරි සාර්ථකත්වයක් තියෙනවා නම් ඒ ඇයගෙන් ලැබුණු සහයෝගය නිසාම තමයි.

රංගනය මම තෝර ගත්තේ නැහැ. පාසල් කාලයේදිවත් මම නළුවෙක් වෙන්න හිතලාවත් නැහැ. එහෙම දක්ෂතාවයක් මගේ තුළින් මම දැකලා තිබුණෙත් නැහැ. රඟපාන්න මට අවස්ථාව ලැබෙන්නේ නොහිතපු විදිහට. මගේ හිතවත් අයියා කෙනෙක් ඉන්නවා රසාංග ඩී සිල්වා කියලා ඔහු ගායකයෙක්. එයත් එක්ක මම දවසක් ශ්‍රී ටීවී එකට යනවා ඒ අයියාගේ ගීතයක් බාර දෙන්න. එයාගේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනකම් මම ඉඳගෙන ඉන්නකොට ඒඅතරේ දී ශ්‍රී ටී. වී. එකේ සුජිත් අයියා මගේ ළගට ඇවිත් ඇහුවා මියුසික් වීඩියෝ එකකට ඉන්න පුළුවන් ද කියලා. පස්සේ මම ඒ වැඩෙට ගියා. ඔයා වගේ තව කෙනෙක්

කියන ගීතයේ මට තිබුණේ දුෂ්ඨයාගේ චරිතය කරන්න. ඒක තමයි මම කැමරාවක් ඉදිරියේ රඟපෑ පළමු අවස්ථාව. නළුවෙක් නොවුනානම් පාසල් කාලේ ඉඳලා ක්‍රිකට් ක්‍රීඩාව තමයි මගේ ජීවිතේ වෙලා තිබුණේ. නළුවෙක් නොවුනානම් අනිවාර්යන්ම මම ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙනවා. අවාසනාවකට මට අවුරුදු 16දී තාත්තා නැති වීමත් එක්ක පවුලේ එකම පිරිමි දරුවා විදිහට මට රැකියාවක් කරන්න වෙනවා. ඒ නිසා මට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත් වෙන්න වෙනවා. කොච්චර කරත් මට ක්‍රිකට් ජීවිතෙත් අතාරින්න බැහැ. දැනටත් මම ක්ලබ් එකක සෙල්ලම් කරනවා.

මගේ පදිංචිය වත්තල. පවුලේ අක්කලා තුන්දෙනයි මායි අම්මයි ඉන්නේ. මට අවුරුදු 16දී තාත්තාගේ අභාවයත් එක්ක ජීවිත්තේ ගොඩක් දේවල් වෙනස් වුණා. පොඩි වයසක දී මට එකම පිරිමි දරුවා විදිහට ගෙදර වගකීම ගන්න වුණා. හැමදේම පැත්තකින් කියලා මම රැකියාවක් කරන්න ගියා. මුලින්ම වැඩ කළේ චයිනා හාබර් එකේ ටලි ක්ලාක් විදිහට. එතැන ඉද්දී තමයි මියුසික් විඩියෝවකින් මගේ දෛවය වෙනස් වුණේ. මම ජීවිතේ ගොඩක් ප්‍රශ්නවලට කඩා වැටීම්වලට මූණ දුන්නා. මගේ පොඩි අක්කාත් හදිසියේම නැතිවුණා. අනිත් අක්කලා දෙන්නා විවාහ වෙලා ඉන්නවා. දැන් මමයි අම්මයි පොඩි අක්කාගේ පුතයි තමයි මගේ පවුල.

මගේ ජීවිත්තේ අභියෝග, ප්‍රතික්ෂේපවීම් ඕන තරම් තිබුණා. දැනුත් තියෙනවා ඉස්සරහටත් තියේවි. මම කාවවත් පාගාගෙන ඉස්සරහට යන්නේ නෑ. මේ තැනට ආවේ මගේ මහන්සියෙන්. මට කා එක්කත් තරඟයක් නැහැ. කොහොමත් මම ජීවිතේ දේවල් ලොකුවට බලාපොරොත්තු වෙන කෙනෙක් නෙමෙයි. මම කවදාවත් ලැබෙන්නේ නැති දේවල් ගැන පසුතැවෙන්නේ නැහැ. මට ලැබෙන දේවල් එක්ක සතුටින් ජීවත් වෙන කොල්ලෙක්. අභියෝගවලට මම හරි කැමතියි කියලයි මේ කඩවසම් රංගන ශිල්පියා අවසාන වශයෙන් පවසලා තිබුනේ.