Paper Article

මගේ හදවත වයසට වඩා බොහොම තරුණයි-රට හැරයාමට සූදානම් වෙන ප්‍රවීණ නළු බුද්ධදාස විතානාරච්චි

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්පියෙක් තමයි බුද්ධදාස විතානාරච්චි කියලා කියන්නේ. ඉතින් ඒ වගේම අඩසියවසක් පුරා ගුවන්විදුලිය, වේදිකාව, සිනමාව, රූපවාහිනිය ඔස්සේ ප්‍රේක්ෂකයින් හමුවට ආපු ඔහු ඔහුගේ අලුත්ම තොරතුරු ගැන පහුගිය දවසක පුවත්පතකට පවසලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

මම කොවිඩ් වසංගතය බරපතළ ලෙස පැවතුණු කාලයේ මහජනයා ගැවසෙන තැන් වලට වැඩිය නොගිහින් ගෙදරටම වෙලා සිටියා. සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම රට වැසියන් හැමෝගේම වගකීමක් නිසා. කෝවිඩ් වසංගතයට පෙර ඉඳන්මත් මම කෑමෙන් බීමෙන් වගේම පැවැත්ම ගැන හරි සැලකිලිමත්. අපි අතපය හෝදන්න හුරු වුණේ පාසලේ ස්වස්ථතාවය පිළිබඳ අපට උගන්වා තිබෙන නිසා නේ. මම සාමාන්‍යයෙන් බොහොම නිරෝගි කෙනෙක්. ඒ නිසා, ඔය බෝ නොවන රෝග මුකුත් මට නැහැ. මම වාර්ෂිකව පරික්ෂා කර බලනවා. දොස්තර කියන්නේ මගේ හදවත වයසට වඩා බොහොම තරුණයි කියලා.

හදවත විතරක් නෙමෙයි අපේ සිත ගත දෙකම බොහොම ජවසම්පන්නයි. ‌භෞතික වයස නෙවෙයි පුද්ගලයකුට වැදගත් වෙන්නේ හදවතින් සහ මොළයෙන් යන වයසයි. මොකද තරුණ ආකල්ප හැදෙන්න නම් මොළය පරණ නොවී පරිණත වෙන්න ඕනේ. දැනුමට, ලෝකයේ තියෙන ප්‍රවණතාවලට, පරිසරයට යාවත්කාලීන වෙන්නත් ඕනේ. නැත්නම් යල්පැනපු කෙනෙක් බවට පත්වෙනවා.

ඉදිරියේදී මගේ අවසාන ටෙලි නාට්‍ය වන නන්නත්තාර ටෙලි නාට්‍ය රූපගත කිරීමෙන් පසු මම විදෙස්ගත වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉස්සර මගේ පොඩි දුව නම් රූපවාහිනී වැඩසටහන්වලට සම්බන්ධ වුණා රඟපෑවා. ලොකු දුව නම් ඒවාට සම්බන්ධ වුණේ නැහැ. පුතා රූපවාහිනී නිෂ්පාදකවරයකු ලෙස හොඳම වාර්තා වැඩසටහනට සුමති සම්මාන පවා ලබා ගත්තා. දැන් ඒ තිදෙනාම ඕස්ට්‍රේලියාවේ යහපත් අයුරින් රැකියා කරගෙන අම්මාවත් බලාගෙන ඉන්නවා. මම අවුරුදු හතරක් පමණ මෙහෙ තනිව හිටියා. දැන් ඉතින් දරු මුණුපුරන් සමඟ ඉන්න ඕනෙ කාලෙනෙ. හැබැයි ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂවරයා යළිත් ටෙලි නාට්‍යයකට තෝරාගත්තොත් ආපසු එන්න වුණත් මම ලෑස්තියි.

මම 1970 ගුවන් විදුලි වැඩසටහන්වලට සම්බන්ධ වුණේ. ජාතික රූපවාහිනියට 1995 සම්බන්ධ වුණා. සියලු වර්ගවල වැඩසටහන් කර තිබෙනවා. මට දැනෙනවා ඒ කාලේ අප දැක්වූ ප්‍රමිතීන් අද වැහැරී ගොස් තිබෙන බව. නාළිකා ප්‍රධානීන් මෙය නොදන්නවා නෙවෙයි එහෙත් තමන්ගේ පැවැත්ම උදෙසා නිශ්ශබ්දව සිටින්නට සිදුව තිබෙනවා.

දේශපාලනය කරගන්න අය දේශපාලනය කර ගත්තාවේ. දේශයට යහපතක් වන ආකාරයට, අප විශ්වාස කරන විදිහට සමාජය යහපත් කරන්න පසුගිය වසර පනහක් පුරා අපි කටයුතු කළා. ඒවා කළේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් හෝ කාටහරි කඩේ යන්න හෝ නෙවෙයි. ලෝකයට සාපේක්ෂව අපි ඉන්න තැන පාතයි. මේ රට, සමාජය මීට වඩා දියුණු තත්ත්වයකට ගේන්න ඕනෙ, සෑම පවුලකටම, රට වැසියකුටම මීට වඩා ජීවිතයක් අවශ්‍යයි කියන විශ්වාස යෙනුයි. සමානාත්මතාව, මානව අයිතීන්, මානව ගරුත්වය රැකෙන සමාජයක් බිහිවෙන්න ඕනෙ කියන හැඟීමෙන් යම් යම් දේවල් කරලා අවසානයේ හිරගෙවල්වලත් අවුරුදු ගණන් ඉන්න වුණානෙ. එහෙම කැප කිරීම් කරලත් අද අපට දකින්න තිබෙන්නේ එදාටත් වඩා ප්‍රශ්න තිබෙන සමාජයක් බව සමාජයටම දැනෙනවා.

පුද්ගලයන්ට දොස් කියලා වැඩක් නැහැ. ජනාධිපතිවරුන්ට, අගමැතිවරුන්ට හෝ පාර්ලිමේන්තුවට පත්වන දෙසියවිසිපස්දෙනාට බැණලා වැඩක් නෑ. ඒ අය මෙතැනට එන්නේ බලහත්කාරයෙන් නෙවෙයි. තෝරාපත් කරගත්තට පස්සේ කරන වැඩ තමන් විඳදරාගන්න ඕනේ. නැතිව තෝරගෙන ඉවරවෙලා 225ටම හෙණ ගහන්න ඕනේ මකබෑවෙන්න ඕනෙ කියන්නේ ගොබ්බ මෝඩ ප්‍රාථමික කතා. මුහුණු පොතත් මට හිරිකිත වෙලා තිබෙන්නේ. මේ සමාජයේ මුහුණුපොතක් ඇති අය අතරින් බහුතරයකගේ මානසික තත්ත්වය එයින් පිළිබිඹු වෙනවා. මේ වේදිකාව කොයිතරම් හොඳීන් භාවිත කරන්න පුළුවන්ද මිනිසුන්ගේ වින්දනය සහ දැනුම ලබා ගන්න. සමාජ මාධ්‍යයක් නිසා විවිධ අයගේ රුචිකත්වය තමයි එහි පෙන්වන්නේ. හැබැයි බහුතරයක් ගත්තාම ඔවුන් මේ රට, සමාජය, ජීවිතය, ආගම ගැන බහුබූත පළ කරන බොළඳ ඕලාරික මානසිකත්වයක ඉන්නේ. ඉතින් හෝඩිය දන්නේ නැති අයට ව්‍යාකරණ කියලා දෙනවාට වඩා හොඳයි මින් මතු ඒකේ මුකුත් නොදා ඉන්න එක කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.