Paper Article

මගේ මල්ලි තමයි මට නළුවෙක් විදිහට ඉදිරියට යන්නට ලොකු උදව්වක් දෙන්නේ-රංගන ශිල්පී ජෙනට් ඇන්තනී

පුංචි තිරය ඔස්සේ මේ වනවිට නිර්මාණ කිහිපයකින්ම දැකගන්න ලැබුණු දක්ෂ රංගන ශිල්පියෙක් තමයි ජෙනට් ඇන්තනී කියලා කියන්නේ. ඉතින් ඒ වගේම ස්වාධීන රූපවාහිනියේ විකාශය වන කොළඹ ඉතාලිය නාට්‍යයේ සමාජයේ අකටයුතුකම් කරන්නා වූ අජිත් නැමැති තරුණයාගේ චරිතය රඟ දක්වන ඔහුගේ එහි ගලායන හැඩය පසුව වෙනස් වනවා. ඒ ගැහැනු ස්වරූපයට වඩාත් නැඹුරු වූ පිරිමි චරිතයක් විදිහට. ඉතින් මේ චරිතය බොහොම අපූරුවට මේ දක්ෂ නළුවා ඉදිරිපත් කරනවා. වේදිකා නිර්මාණ ගණනාවකින් සිය නිසග හැකියාව ඔපමට්ටම් කරගත් ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් ඔහුගේ අලුත්ම තොරතුරු පවසල තිබුනේ මෙන්න මේ විදිහටයි.

මගේ උපන් ගම දෙහිවල. දෙහිවල කියලා කියන්නේ නාට්‍යවලට ටිකක් ප්‍රසිද්ධ ප්‍රදේශයක්. මගේ මව සහ පියා දෙබස් කථන මුද්‍රා නාට්‍යවලට සම්බන්ධ වූ අය. ඒ නිසා කලා හැකියාව මගේ ඇඟේ තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මම ඉගෙන ගත්තෙ දෙහිවල එස් ද එස් ජයසිංහ පාසලෙන්. එහෙම ඉගෙන ගනිමින් ඉන්න අතරතුරදී මාව නාට්‍යයට සම්බන්ධ කරගන්නෙ නිහාල් සමරදිවාකර කියන ගුරුවරයා. ඔහු මාව යවනවා අභිරූපණ නාට්‍ය තරගාවලියකට. මම එහි ගිහිල්ලා ඔහුගේ උපදෙස් සහ පුහුණුවීම් මත රඟපානවා. නාගරික තරුණයා කියලා පොඩි ඩ්‍රාමා එකක්. අන්න ඒකෙදි මම ඒ තරගයෙන් ජය ගන්නවා. ඉන්පසුව පාසලේ මම දිගින් දිගටම නාට්‍යවලට සම්බන්ධ වුණා. මම සමස්ත ලංකා නාට්‍ය තරඟ කිහිපයකදීම සම්මානයට පාත්‍ර වෙලා තියෙනවා. පාසලෙන් අයින් වුණාට පස්සේ මම වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. යොවුන් නාට්‍ය උලෙළ සඳහා දායකත්වය දැක්වූවා. ඒවා මඟින් ලොකු අත්දැකීම් ප්‍රමාණයක් මම මගේ නාට්‍ය ජීවිතයට එකතු කරගත්තා.

රොහාන් විජේසිංහ කියන අපේ රංගන ශිල්පියා පිළිබඳ ඔබ දන්නවා ඇති. කොළඹ ඉතාලිය නාට්‍යයේත් ඔහු රඟපානවා. රොහාන් අයියා තමයි මාව ජයප්‍රකාශ් සිවගුරුනාදන් කියන අධ්‍යක්ෂවරයාට හඳුන්වා දුන්නේ. එතැනින් පසුව මම සිවා අයියත් එක්ක ලොකු ජර්නි එකක් යනවා කිව්වොත් නිවැරදියි. ඔහු අධ්‍යක්ෂණය කළ කෝටිපතියෝ, අමුතු රසිකයා, අග්නි පියාපත් කියන නාට්‍යවල විවිධ චරිත නිරූපණය කරන්නට මට අවස්ථාව ලැබුණා. ඔහොම තමයි මම මේ මගේ රංගන දිවියේ මග සලකුණු තිබ්බේ. මේ වන විට මගේ වෘත්තිය රංගනය. ඒත් මම පොඩි බිස්නස් එකක් කරගෙන යනවා ප්‍රධාන තැන දෙන්නේ රංගනයට.

ඉතින් ඒ වගේම බොහෝ අවස්ථාවලදී අපිට ගැළපෙන චරිත තමයි අපිට ලැබෙන්නේ. ඒ වගේ වෙලාවලදී මම චරිතයේ ස්වභාවය අහගෙන පළුවන් නම් පිටපතක් ගෙන්න ගෙන ඒ චරිතයේ ඉතිහාසය පිළිබඳ අධ්‍යයනයක යෙදෙනවා. එහෙම කළාම ඒ චරිතයට හොඳ සාධාරණයක් ඉටු කරන්න පුළුවන්. රඟපෑම තෝරා බේරාගෙන කරන්න ඕනේ. ඒත් මට ගැළපෙන චරිත සඳහා තමයි මට ආරාධනා ලැබෙන්නේ. ඒ නිසා ලොකු තෝරා බේරා ගැනීමක් කරන්නේ නැහැ.

මමයි, අම්මයි, තාත්තයි, මල්ලියි, නංගියි, ආච්චි, සීයයි තමයි මගේ පවුලේ ඉන්නේ. මගේ මල්ලි මට නළුවෙක් විදිහට ඉදිරියට යන්නට ලොකු උදව්වක් දෙන්නෙ. තවත් විදිහකින් කිව්වොත් ඔහු නිවසේ බර වැඩිපුර කරට අරගෙන ඉන්නේ. මොකද මම කරන වෘත්තිය නිදහසේ කරන්න ඕනේ කියලා ඔවුන් දන්නවා. ඒ නිසා මට ඒ නිදහස උපරිමයෙන්ම ඔවුන් දීලා තිබෙනවා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Comment