Paper Article

මගේ දේශපාලනය ගිනියම් වූවක්වත් වාචාල වූවක්වත් නෙමෙයි-ප්‍රවීණ රංගන ශිල්පී ජීවන් කුමාරතුංග

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය වගේම ප්‍රවීණ කඩවසම් රංගන ශිල්පියෙක් තමයි ජීවන් කුමාරතුංග කියලා කියන්නේ. ඒ වගේම හිත හොඳ කොල්ලෙක්, රන්කහවනු, සුදු පරවියෝ, හිඟන කොල්ලා වැනි චිත්‍රපටවලින් ඔහුගේ නාමය සිනමාවේ රන් අකුරින් ලියවී ඇති බව කාටත් නොරහසකි. ඉතින් ඒ වගේම රංගන කාර්යයෙන් බැහැර වි චිත්‍රපට නිෂ්පාදකවරයෙක්, සිනමා ශාලා හිමිකරුවෙක් හා චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන ඔහු ඔහුගේ අලුත්ම තොරතුරු ගැන පහුගිය දවසක පුවත්පතකට පවසලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

මම මේ දවස් වල පසුගිය දිනවල පැවැති අයහපත් තත්ත්වය තුළ මගහැරුණු හා අතපසුවුණු වැඩකටයුතු නැවත නිරාකරණය කර සුපුරුදු ලෙස වැඩ කටයුතු කරනවා. දේශපාලන වැඩ කටයුතු කරන අතරතුර චිත්‍රපටයේ වැඩ කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන්ම නිම කර හමාරයි. ඉතින් ඒ වගේම ජීවා කියන්නේ මගේ කුලුදුල් චිත්‍රපට අධ්‍යක්ෂණය. එය වාණිජ චිත්‍රපටයක්. නැවත සිනමා ශාලා විවෘත වි මිනිසුන් චිත්‍රපට නැරඹීමට යොමුවන විට එය ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තු වෙනවා.

වාණිජ සිනමාව පමණක් නොවෙයි සමස්ත සිනමාවම ඇද වැටෙන යුගයකයි ජීවා චිත්‍රපටය මම අධ්‍යක්ෂණය කළේ. එයින් සිනමාවට යම් තල්ලුවක් ලැබේ යැයි මං විශ්වාස කරනවා. වාණිජ සිනමාවේ තිබෙන යම් යම් ගුණයන් වගේම අපේකම එයින් ගිලිහීම තුළ ඉස්සර නැරබූ චිත්‍රපටයක් බලන්නේ නැහැනේ කියන කතාව බොහෝදෙනෙක් ප්‍රකාශ කළා. එයින් ලැබුණු උත්තේජනය මතයි අපේ අනන්‍යතාව රැඳි ජීවා චිත්‍රපටය මම අධ්‍යක්ෂණය කළේ.

මම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ දුෂ්ට චරිතවලට පණ පෙවිම තුළින්. ඒ නිසා මං කිහිප වරක්ම ප්‍රේමවන්තයාගේ චරිතයෙන් ප්‍රතික්ෂේප වුණා. හිත හොඳ චණ්ඩියෙක් කියන චිත්‍රපටය නිෂ්පාදනය කර එහි පෙම්වතාගේ භූමිකාව මං නිරූපණය කළා. එකී චිත්‍රපටය සාර්ථක ප්‍රදර්ශනයක් බවට පත්වූ නිසා දුෂ්ටයාගේ රාමුවෙන් පිට පැන විරයා ලේබලය මට ඇලවුණා. මං බොහෝවිට වාණිජ චිත්‍රපටවල පෙනී සිටි නිසා කලාත්මක චිත්‍රපටවලට මට ආරාධනා ලැබුණේ නැහැ. ඇතැම් විට කලාන්කික චිත්‍රපට වටා එක් වූ ප්‍රේක්ෂකයන්ගෙන් මම ප්‍රතික්ෂේප වේවි යැයි අධ්‍යක්ෂවරු සිතන්නට ඇති.

ඉතින් ඒ වගේම අනෝජා වීරසිංහ හා මම එකදිගට චිත්‍රපට ගණනාවකට රංගනයෙන් දායක වුණා. මම චිත්‍රපට සීයකට අධික ප්‍රමාණයක් රඟපා තිබෙනවා. නමුත් අනෝජා වීරසිංහ සමඟ රඟපෑ චිත්‍රපට එකදිගට සිනමා මණ්ඩල පහේම මාස 6ක් හෝ 7ක් එකදිගට ප්‍රදර්ශනය වුණා. ඉස්සර චිත්‍රපටයක් තිරගත කරනවිට විජය, මාලනී, ජීවන්, අනෝජා රඟන ලෙස ප්‍රචාරණය කරනවා. එකී ප්‍රචාරණයන් තුළ අප වටා එක් රොක් වූ ප්‍රේක්ෂකයන් චිත්‍රපටය නැරඹීමට පැමිණෙනවා. වර්තමානයේ එසේ යුගලයන් පිළිබඳව කතා බහට ලක් නොවන්නේ ප්‍රේක්ෂකයන් රංගන ශිල්පීන් බොහොමයක් නමින් හදුනන්නේ නැති නිසයි. ඒ වගේම එසේ නම් සඳහන්කළත් එයින් ප්‍රේක්ෂක ආකර්ෂණයක් බලාපොරොන්තු විය නොහැකියි.

ඉතින් නවකයන්ගේ තරු ගුණය ගිලිහිලා කියන සත්‍ය අප පිළිගත යුතුයි. එය රංගන ශිල්පීන්ට පමණක් සීමා වූවක් නොවෙයි. එය සමස්ත සමාජයේ ඇතිවූ විප්ලවකාරී වෙනසක්. කිසිම ක්‍ෂේත්‍රයක විශේෂ පුද්ගල නාමයන්ගෙන් ජනප්‍රිය වූ චරිත අද දක්නට ලැබෙන්නේ නැහැ.

මං කුඩා කාලයේ බාප්පා සිටියෙත් අපේ නිවසේ. බාප්පා හැදී වැඩුණේ මාගේ පියාගේ සෙවණෙ. ඒ නිසාම බාප්පා හා අප අතර බෙහෙවින් සමීප සම්බන්ධතාවක් තිබුණා. බාප්පා චිත්‍රපටවලට සම්බන්ධ වෙලා ජනප්‍රිය වූ කාලයේ මං පාසල් නාට්‍යවලට වගේම ගමේ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වි රඟපෑවා. ඉන් පසු රඟපෑමට ඇති ආසාව අම්මගෙ මාර්ගයෙන් මම බාප්පට ප්‍රකාශ කළා. මම අතින් ඇදගෙන යන්නේ නැහැ මම හදපු මාර්ගය ගිහින් දස්කම් පෙන්වන්න යැයි බාප්පා මට අවවාද කළා. නමුත් ඔහු අධ්‍යක්ෂවරුන් කිහිපදෙනකුට මාව හදුන්වලා දුන්නා. ඒ අනුවයි මමයි රජා, ජය අපටයි, නැවත හමුවෙමු වැනි චිත්‍රපටවලට සම්බන්ධ විමට මට අවකාශ ලැබුණේ.

ඔහු මියගියත් මගේ දේශපාලන ගමන තුළ වගේම රංගන ගමන තුළ හැමදාම දැවැන්ත සෙවණැල්ලක් බවට පත් වුණා. මගේ වගකීම වුණේ ඔහුගේ ගෞරවය රැකෙන විදිහට කටයුතු කිරීමයි. සිනමා නිර්මාණවලට මං සක්‍රියව දායක වෙනවා වගේම මගේ දේශපාලන ගමන තුළත් මං ක්‍රියාකාරීව ගතකරනවා. මගේ දේශපාලනය ගිනියම් වූවක්වත් වාචාල වූවක් වත් නෙමෙයි. එය මගේ නිහඬතාවක් නෙමෙයි. නමුත් කැමරාව ඉදිරියේ මාධ්‍ය සංදර්ශන දැමීම මට හුරු නැහැ. හැම මැතිවරණයක්ම මම ජයග්‍රහණය කළා. විශාල වශයෙන් මුදල් වැය කළේ නැහැ. මගේ දේශපාලන ගමන ජනතාව තුළ සිටිමින් නිවැරැදිව කිරීම ඊට හේතුවක් කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.