Paper Article

මගේ ඇගේ ටැටූ 12ක් තියෙනවා, සමහරු අහනවා තව ගහන්න තැන් තියනවද කියලත්-කවින්ද්‍යා අධිකාරි

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පිනියක්, නිවේදන ශිල්පිනියක් මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි කාවින්ද්‍යා අධිකාරි කියලා කියන්නේ. අපේ රටේ ජනප්‍රිය ප්‍රවීණ ගායන ශිල්පීන් යුවලක් වන සමිතා අතුල යුවලගේ ආදරණීය දියණිය වෙලා ඉපදුන කවින්ද්‍යා කලාව තුළ ඇයගේම අනන්‍යතාව‍ක් ගොඩ නගා ගන්නට උත්සාහ කරන කෙනෙක් කිවුවොත් හරියටම හරි. ඉතින් මේ සුන්දර කළා ශිල්පිනිය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

මේ දවස්වල මම කරගෙන ආපු සුපුරුදු වැඩ කටයුතු කරගෙන යනවා. නිවේදන කටයුතු සහ අම්මගේ කලායතනයේ වැඩවලට තමයි වැඩිපුර කාලය වෙන් කරලා තියෙන්නේ. මගේ මම්මා ඒ කියන්නේ අත්තම්මා නැතිවීමත් එක්ක කරගෙන ආපු වැඩ කටයුතු හිතට ලොකු බරක් වගේ දැනුණා. මොකද මම්මා කියන්නේ මගේ හැම වැඩකටම ලොකු ශක්තියක් දුන්න කෙනෙක්. එයා අපි අතරින් වෙන්වීම ඇතුළෙ තියෙන්නේ කියාගන්න බැරි ලොකු බරක්.

කලා කටයුතු කරද්දි මම ටිකක් කම්මැලි කෙනෙක්. ගොඩක් අය කියනවා මට ලැබෙන දේවල්වල අගයක් නෑ කියලා. හැබැයි එහෙම දෙයක් නෑ. මම ලැබිච්ච දේවල් උපරිම සාර්ථකව කළා. ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ ඝරසරප චිත්‍රපටයේ මගේ රංගනය වෙනුවෙන් නැගී එන නිළිය සම්මානය දෙවතාවක් ලබාගත්තා. මම සම්බන්ධ වුණ පළමු ටෙලි නාට්‍ය අරුණ ජයවර්ධනයන්ගේ සක්කාරං. එයත් මම සාර්ථකව කළා. මම තව මහන්සි වෙන්න ඕනේ. ඇත්ත. හැමදේටම කාලයක් එන්න ඕනේ කියනවනේ. ඒ කාලය එනකල් ඉමු.

මට ලඟදි වෙළෙඳ දැන්වීම් කිහිපයකට ආරාධනා ලැබුණා. හැබැයි බජට් ප්‍රශ්න නිසා ඒවා බාරගත්තේ නෑ. මෑතකදී රංගනයට වෙනත් ආරාධනා ලැබුණේ නම් නෑ. මම ටැටූ ගහන නිසා ඒකත් රංගනයට ප්‍රශ්නයක් වෙලා ඇති සමහර විට.

මගේ ඇගේ මේ වෙනකොට ටැටූ 12ක් තියෙනවා. මම මුලින්ම ටැටූ එකක් ගැහුවේ 2013දී. මම ලස්සනට වඩා තේරුම එක්ක තමයි ටැටූ ගහන්නෙ. මගේ ඇඟේ ගහලා තියෙන හැම ටැටූ එකකටම තේරුමක් තියෙනවා. ඒක කලාවක්. මම හරි ආසයි ටැටූවලට. සමහරු කියනවා දැන් මගේ ඇඟේ ටැටූ ගහන්න තැනක් නැතුව ඇති කියලා. සාමාන්‍යයෙන් තව කෙනෙක්ට හානියක් නැත්නම් මම ආස දේ කරන කෙනෙක්. මගේ කොණ්ඩේ වුණත් දිගට තිබ්බා. මට හිතුණා කොණ්ඩේ කපලා බලන්න ඕනේ කියලා. ඒකත් කරලා බැලුවා. මම හැම වෙලාවෙම අද දවසේ ජීවත් වෙන්න උත්සාහ කරන කෙනෙක්. අද දවස පුළුවන් උපරිම වින්ඳම දුක් වෙන්න දෙයක් නෑ.

මගේ ජීවිතේ උඩින්ම හිටියේ මම්මා. අම්මයි තාත්තයි දෙන්නම කාර්යබහුල වෙලා ඉද්දි මාව බලාගත්තේ මම්මා. ඒ නිසා මගේ ජීවිතේ අංක එක මම්මා. දෙක අම්මා. තුන තමයි තාත්තා. මම හිතන දෙයක් තමයි අපි කෙනෙක් එක්ක යාළු වෙලා ඉන්නවා නම් අපි, අපි අතරේම ඒ දේ තියාගත්තම හොඳයි කියලා. මොකද ගොඩක් අය අපි ගැන ඕනවට වඩා හොයනවා. ඉතින් ඒ දේවල් අපි අතරේම තියාගන්න එක වැඩිපුර හොඳයි කියලා මම විශ්වාස කරනවා.

දැන් මිනිස්සු විශ්වාසය, ගරුත්වය කියන දේවල් පැත්තක තියලා තියෙන්නේ. ආදරය කියලා බලාපොරොත්තු වෙන්නේ වෙන දේවල්. සමහර පවුල් ජීවිතවල ගෑනු කෙනා පිරිමි කෙනාව පාගගෙන ඉන්නවා. පිරිමි කෙනා ගෑනු කෙනාව පාගගෙන ඉන්නවා. එහෙම වුණාම දෙන්නට දෙන්නව එපා වෙන්න ගන්නවා. මම කියන්නේ සම්බන්ධයක් පටන් ගත්තට පස්සේ ඇත්ත කෙනාව පෙන්වන්න ඕනේ. බැන්දට පස්සේ හංගන් හිටපු ඇත්ත කෙනා එළියට ආවම තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. මම මගේ පවුල තුළ සහ යාළුවන්ගේ දැකලා තියෙන දේවල් එක්ක විවාහයට හරි බයයි. ඒකත් එක්ක මේ ඉන්න විදිහ හොඳයි කියලා තමයි මට හිතෙන්නේ.

මට සමහර තැන්වල කලකිරුණු අවස්ථා තියෙනවා. අපි මිනිස්සු. අපේ අදහස් විවිධයි. මම කසාඳ බඳින්නත් පුළුවන්, නොබැඳ ඉන්නත් පුළුවන්. මට වැදගත් වෙන්නේ සතුටින් ජීවත් වීම. හැමෝම කාටවත් වෛර නොකර ඉන්න ටික කාලේ හරි සතුටින් ජීවත් වෙනවා නම් කොච්චර ලස්සනද.

මගේ ජීවිතේ මගෙන්ම තමයි මම පාඩම් ඉගෙන ගත්තේ. කෙනෙක්ට මං දිහා පිටින් බැලුවම පේන්නේ කවී කියන්නේ හරිම සැප පහසුවට ජීවත් වෙන කෙනෙක් කියලා. මට අතට පයට වැඩ කරලා දෙන අය ඇති කියලා. ගෙදර දොරේ වැඩ, උයන පිහින දේවල්, අස්පස් කරන ඒවා, වාහන හෝදන එක පවා මම අනෙක් අයගෙන් බලන් ඉඳලා ඉගෙන ගෙන තියෙනවා. මට ඇත්තටම ඕන දෙයක් කරන්න ශක්තියක් තියෙනවා. ප්‍රශ්නයක් වුණත් මම මගේ පැත්තෙන් වගේම අනෙක් කෙනාගෙ පැත්තෙනුත් හිතලා තමයි තීන්දු තීරණ ගන්නේ කියලයි මේ දක්ෂ ජනප්‍රිය කළා ශිල්පිනිය අවසාන වශයෙන් පවසලා තිබුනේ.