Paper Article

මංගල දිනයේදී මම උඩරට මනාලියක් විදිහට සැරසෙන එක මගේ අම්මාගේ හීනයක්-සුරූපී නිලි නයෝමි තක්ෂිලා

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන වේදිකාව තුළින් රංගනයට පිවිසි දක්ෂ ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනියක් තමයි නයෝමි තක්ෂිලා කියලා කියන්නේ. ඉතින් ඒ වගේම පුංචි තිරය හරහා රන්තිලි වැව ටෙලි නාට්‍යයේ මුතු මැණිකේ ලෙසත්, නීල පබළු ටෙලිනාට්‍යයේ පූජා ලෙසත් ප්‍රේක්ෂකයින් අතරට පැමිණි ඇයව මේ දිනවල අඳුන්ගිර ටෙලි නාට්‍ය හරහාත් දැකගන්න ලැබෙනවා. කොහොම නමුත් මේ සුරූපී රංගන ශිල්පිනිය පහුගිය දවසක ෂැගි වීරනායක කියන කඩවසම් තරුණයත් එක්ක එකතු වෙලා බොහොම අපූරු ලස්සන වෙඩින් ෆොටෝ ශූට් එකක් කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් මේ ෆොටෝ ශූට් එකත් එක්ක බොහෝ දෙනෙක් හිතුවේ ඇය ඇත්තටම විවාහ වෙලා කියලා. ඉතින් මේ ගැන ඇය පහුගිය දවසක පුවත්පතකට පවසලා තිබුනේ මෙන්න මේ වගේ කතාවක්. පහුගිය දවස්වල මම දිනේෂ් එක්ක පෙනී සිටි මංගල ජායාරූප නිසා මම විවාහ වුණා කියල රාවයක් පැතිරුණා. ඇත්තටම මේ ඡායාරූපවල තිබුණ ස්වභාවික බව නිසා ගොඩක් දෙනා හිතල තිබුණෙ මම ඇත්තටම විවාහ වුණා කියලයි. මගේ රසික රසිකාවියන් මගෙන් අහන්න ගත්තා මම කසාද බැන්ද ද කියලා. ඇත්තටම මම විවාහ වුණේ නැහැ. අන්තර්ජාලයෙන් රසික රසිකාවියන් දැක්කේ ෆොටෝ ෂූට් එකක් පමණයි.

ගොඩක් දෙනෙක් අහනවා මාත් සමග මගේ මනාලයා ලෙස පෙනී සිටින දිනේෂ් හා මා අතර විශේෂ බැඳීමක් තියෙනවද කියලා. ඇත්තටම එහෙම නැහැ. දිනේෂ් නීල පබළු ටෙලි නාට්‍යයේ රඟපාන මගේ සහෝදර රංගන ශිල්පියෙක් පමණයි. මගේ පෙම්වතා කලාවට සම්බන්ධ කෙනෙක් නෙවෙයි.

ඇත්තටම මංගල ඡායාරූප ටිකක් කරල අමුතුවෙන් ගොසිප් එකක් හදාගෙන ජනප්‍රිය වෙන්න මම කොහොමත් අපේක්ෂා කරන්නෙ නැහැ. මගේ විවාහය සිද්ද වෙන වෙලාවක් කලාවක් හරියටම කියන්න බැහැ. ඒත් දැන් නම් විවාහ වුණොත් හොඳයි කියලා හිතිලා තියෙන්නෙ.

මගේ ජීවිතයේ කිසිම දෙයක් මම ගොඩාක් ඉහළින් සමරපු කෙනෙක් නෙවෙයි. මගේ උපන් දිනයක්වත් මම එහෙම විශේෂයෙන් පවත්වලා නැහැ. මම කැමතියි චාම් විදිහට. ඒ නිසා මගේ විවාහයත් බෙහොම චාම් විදිහට සිද්ධ වෙයි. මංගල දිනයේදී මම උඩරට මනාලියක් විදිහට සැරසෙනවට මගේ අම්මා ආසයි. ඒ නිසා මම මගේ අම්මගේ කැමැත්ත අනුව මගේ මංගල දිනයේදී මම උඩරට මනාලියක් සේ හැඩවෙනවා.

මේ දවස්වල මම රඟපාන නීල පබළු සහ අඳුන්ගිර ටෙලි නාට්‍ය දෙක විකාශය වෙනවා. ඒ අතර තව විකාශය නොවූ ටෙලි නාට්‍ය ටිකකුත් තියෙනවා. මම මීට කලින් ටෙලි නාට්‍යවල රඟපාලා තිබුණත් නීල පබළු කියන්නේ රසිකයන් වැඩි පිරිසක් මාව හඳුනාගත්ත නිර්මාණයක්. දැන් අවුරුදු තුනක් තිස්සේ මේ නාට්‍යයේ පූජාගෙ චරිතය ගලා යනවා. මට නම් ඒ චරිතය බෝරිං නැහැ. මම අදටත් ඒ චරිතය කරන්නෙ හරිම සතුටෙන්.

මම ගොඩක්ම ගමෙන් කොළඹට එන්න හේතුව නාට්‍ය හා රංග කලාව හදාරලා ගුරුවරියක් වීමේ අරමුණ ඉටුකරගන්නයි. ඒ අනුව මම ටවර් හෝල් පදනමේ නාට්‍ය රංග කලාව පිළිබඳ ඩිප්ලෝමාව හා උපාධිය සඳහා විභාගවලට පෙනී ඉඳලා එහි ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින්න සූදානම් වෙනවා. ඉන් පසුව මම බලාපොරොත්තු වෙනවා නාට්‍ය හා රංග කලා ගුරුවරියක් ලෙස වෘත්තිය අරඹන්න.

මම සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්ත අපේ ගමේ ඉස්කෝලෙ. සෞන්දර්ය විෂයකට තිබුණෙ චිත්‍ර විතරයි. මට නැටුම් ඉගෙන ගන්න ඕන වුණත් අපේ ඉස්කොලේ නැටුම් උගන්වන්න ගුරුවරයෙක් හිටියෙ නැහැ. මම පුද්ගලිකව පංතියකට ගිහින් නැටුම් ඉගෙන ගෙන සාමාන්‍ය පෙළ විභාගයට නර්තනය විෂයට පෙනී සිටියේ. මම මේ වෙද්දි නාට්‍ය හා රංග කලා උපාධිය දක්වා අධ්‍යාපනය ලබලා තියෙනවා.

නමුත් අද වෙනතුරුත් අපේ ගමේ ඉස්කෝලෙට නාට්‍ය හා රංග කලාව උගන්වන්න ගුරුවරයෙක් නැහැ. ගම්වල අපිට වඩා දක්ෂ ළමයි කෙතෙුත් ඉන්නවා. හැබැයි ඉගෙනගන්න වුවමනා සම්පත් නැහැ. මගේ ලොකුම බලාපොරොත්තුව ඒ වගේ දුෂ්කරතා මැද ඉගෙන ගන්න දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන්නයි. ඒ නිසා මම අනාගතයේ ගමක පාසලක ගුරුවරියක් විදිහට සේවය කරයි. ඒත් මම රංගනය අතහරින්නෙ නැහැ කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.