Paper Article

නින්දා අපහාස ලැබෙද්දී හෂිනි මට ලොකු ශක්තියක් වුණා-අග්‍රගණ්‍ය ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක

අපේ සංගීත ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන අග්‍රගණ්‍ය ප්‍රවීණ ගායන ශිලියෙක් තමයි වික්ටර් රත්නායකයන් කියලා කියන්නේ. දැඩි ලෙස රෝගාතුරව සිට සුවය ලද ඔහු ඔහුගේ මුහුණු පොත ඔස්සේ රසිකයන්ට ප්‍රතිඥාවක් ලබා දිලා තිබුණා. ඉතින් ඒ ගී පොද මල් වරුසාවකින් ඔබ හද තෙත් කරන්නට නුදුරේම ඔබ හමුවට එනු රිසියෙමි යනුවෙන් සටහනක් එක කරමින්. ඉතින් දැන් ඔහු ඒ ප්‍රතිඥාව ඉටු කරමින් සිටිනවා. ප්‍රවීණයන් බොහෝ දෙනෙක් විවිධ හේතූන් දක්වමින් නව නිර්මාණ එළිදැක්වීමෙන් වැළකී සිටිද්දී වික්ටර් රත්නායකයන් මේ දිනවල අලුත්ම ගීත කීපයක් පටිගත කරමින් සිටිනවා. ඉතින් ඒ වගේම වික්ටර් රත්නායකය නම කී පමණින් සිහිපත් වන්නේ ‘ස’ ප්‍රසංගයයි. ප්‍රසංග වාර දහස් ගණනකට පසුව තවත් ඉල්ලීම් තිබියදීත් ඉන් සමුගත් වික්ටර් රත්නායක මහතා පසුව ‘සරස’ නමින් දෙස් විදෙස් ප්‍රසංග මාළාවක් ආරම්භ කළා. කොහොම නමුත් හදිසියේ අසනීපවූ නිසා සරස ද නැවතුනා.

ඉතින් අසනීප වූ පසුව මේ දක්වා මාධ්‍යයෙන් ඈත්ව සිටි ඔහු අවුරුදු එකහමාරකට පමණ පසුව පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් මෙන්න මේ විදිහටයි කතා බහ කරලා තිබුනේ. මට උවමනා වුණේ මේ ක්ෂේත්‍රයේ ඉන්න අලුත් අය දිරිමත් කරන්න. ඒ නිසා තමයි තරුණ පිරිසකගේ ගී තනු සහ ගී පද රචනා කීපයක් තෝරාගෙන ගායනා කරන්න තීරණය කළේ. අනෙක ඉතින් නිර්මාණ නොකර නිසොල්මනේ බලා ඉන්න පුරුද්දකුත් මට නැහැ. මම පොරොන්දුවකුත් දුන්නනේ සුවවූ පසුව ගීපොද මල් වරුසාවක් තිළිණ කරනවා කියලා. පොරොන්දුවක් දුන්නොත් ඒක ඉෂ්ට කරන්න ඕනේ.

අපට ගුවන් විදුලිය රූපවාහිනිය බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ වෙනුවට සමාජ මාධ්‍ය තියෙනවා. යූ ටියුබ් සහ ෆේස්බුක් තියෙනවා. ඒ හරහා තමයි රසිකයන් අතරට මේ ගීත ගෙනයන්න වෙන්නේ. පහුගිය කොවිඩ් කාලේ මම චිත්‍රපටයකත් සංගීතය අධ්‍යක්ෂණය කළා. ඒ මම ලෙඩ වෙන්න කලින් භාරගත් චිත්‍රපටයක්. මොණරවිලක් අධ්‍යක්ෂණය කරන්නේ රසික ලියනගේ. ගීත දෙකකුත් ගායනා කළා. ඇත්තටම මම ෆේස්බුක් යන්නේ නැහැ. ඒත් පහුගිය දවස්වල මම ලෙඩ වෙලා ඉඳිද්දී බොහෝ දෙනෙක් ෆේස් බුක් එකෙන් මට ආශිර්වාද කරලා තිබුණා. හෂිනි මගේ බිරිඳ ඒ කමෙන්ට්ස් මට ඇහෙන්න කියවනවා. ඒවායෙන් මට ශක්තියක් වගේම උත්තේජනයකුත් ලැබුණා. මගේ ගීයක් එනතුරු මඟ බලා ඉන්න බව සමහරු කියා තිබුණා. ඒ නිසා තමයි අලුතින් නිර්මාණ කළේ. දර්ශන වික්‍රමතුංග සමග කළ ගීය අසනීපෙන් පසුව මුදා හැරිය පළමු ගීය. තවත් ගීත කීපයකම වැඩ ඉවර කරගෙන යනවා. ආධුනික ගායකයෙකුටත් මම සිංදු දෙකකට තනු නිර්මාණය කළා.

චිත්‍රපටවල, ප්‍රසංග වේදිකාවේ සහ විද්‍යුත් මාධ්‍යවලින් මම ඉදිරියේදීත් ගීත ගයාවි. ඒත් ස, සරස වගේ ඒක පුද්ගල ප්‍රසංගයක් නම් යළි කෙරෙන එකක් නැහැ. ඒක මහ බරසාර වැඩක්. ඇත්තටම අපේ හිමිකම් අපට නැතිවේගෙන යනවා. අපි ජනතාකරණයවූ ශිල්පීන්නේ. ඒ නිසා රසිකයාගේ කැමැත්තට අපි තැන දිය යුතුයි. වයස්ගත වුණා හෝ අසනීප වුණා කියලා නිහඬ වීම වැරදියි. ඇත්තටම දැන් මට අසනීපයක් නැහැ. අසනීප වුණ එකේ සුළු ආබාධ තියෙනවා. තවම ප්‍රතිකාර කරනවා. මට මුලින්ම ආවේ ස්ට්‍රෝක් එකක්නේ. ඒ නිසා අසීරුතා තියෙනවා. සෑහෙන දුරට සුවයක් තියෙනවා. මට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් වන ප්‍රියංකර ජයවර්ධන, එංගලන්තයේ ශර්මිලා විතාන, මහාචාර්ය සමන් ගුණතිලක, නියෝමාලි අමරසේන, හර්ෂ සමරසිංහ, අෆ්ලා සදිකීන් සහ දේශීය වෛද්‍ය තරංගා වික්‍රමසූරිය යන අය නිසා තමයි මම ගොඩ ආවේ.

රෝගීව පසුවෙද්දීද ඔහුට විවිධාකාරයේ අවලාද සහ අපවාදයන්ට මුහුණ දෙන්නට සිදුවූ බව රහසක් නොවේ. ඇත්තෙන්ම කලකිරීමක් නැහැ. සිදුවූ සියල්ල උපේක්ෂා සහගතව භාරගත යුතුයි. එදා ඉඳලා මම වැඩ කළේ එහෙමනේ. මේක විවේචන, විචාර හැම දේටම මුහුණ දෙමින් ආ ගමනක්නේ. ලාභ අලාභ, නින්දා අපහාස මේවා හොඳට පුරුදුයි. ඒ අවස්ථාවේදී හෂිනි මට ලොකු ශක්තියක් වුණා. මේ හැම දෙයක්ම කරන්න ධෛර්යය ලැබෙන්නේ ඇගෙන්. ඒ අතර මගේ යාළු හිතමිත්‍රාදීන් නිතර ඇවිත් සුවදුක් බලා යනවා කියලයි ඔහු අවසාන් වශයෙන් පවසලා තිබුනේ.