Paper Article

දැන් වැඩිපුරම ඉන්නේ සබන් දිය කළා වගේ නළු නිළියෝ-ජනප්‍රිය ප්‍රවීණ නිලි වසන්ති චතුරාණි

අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය වගේම සම්මානනීය ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි වසන්ති චතුරාණි කියලා කියන්නේ. ඇය කළා ක්ෂේත්‍රය තුල වඩාත් ප්‍රකට රිදී තිරයේ අහිංසකාවිය ලෙසයි. 1980 වසරේදී ගඟ අද්දර චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම නිළිය ලෙස සරසවිය සම්මානයෙන් පිදුම් ලබන්නටත් ඇය වාසනාවන්ත වුණා. ඉතින් ඒ වගේම මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන සකුණ පියාපත් ටෙලිනාට්‍යයේ රන්මැණිකාගේ චරිතය හරහාත් අපට ඇයව දැකගන්න ලැබෙනවා. ඉතින් ඒ වගේම එය නිෂ්පාදනය කරන්නේද ඇය විසින්මයි. කලක් නිහඬව සිට නව නිෂ්පාදනයක්ද සමඟින් නැවත කරලියට පැමිණි මේ ප්‍රවීණ රංගන ශිල්පිනිය ඇයගේ අලුත්ම තොරතුරු ගැන පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් මෙන්න මේ විදිහටයි කතා බහ කරලා තිබුනේ.

කාලෙකට පස්සේ මම නැවතත් ස්වාධීන රූපවාහිනී නාළිකාවේ මේ දිනවල විකාශය වෙන සකුණ පියාපත් ටෙලිනාට්‍යයේ රංගනයෙන් දායක වෙනවා. රංගනය විතරක් නෙමෙයි මේ ටෙලිනාට්‍ය නිෂ්පාදනයෙනුත් මම දායක වෙනවා. මම සහ ශාන් දිසානායක මේ ටෙලිනාට්‍ය නිෂ්පාදනය කළේ. සකුණ පියාපත් ක්‍රිස්ටි ෂෙල්ටන්ගේ අධ්‍යක්ෂණයක්. අරුණ ප්‍රේමරත්නගේ පිටපතක්. ගල්ගමුව කියන සුන්දර ගම්මානය තමයි අපි මේ ටෙලිනාට්‍යයට තෝරාගත්තේ. මේ වගේ කාලෙක ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කිරීම හරිම අමාරු කාර්යයක්. ඒත් ස්වාධීන රූපවාහිනී නාළිකාව ගැන තිබුණ විශ්වාසය සහ පිටපතේ තිබුණ ගුණාත්මකත්වය එක්ක ටෙලිනාට්‍ය නිෂ්පාදනය කළා. 2019 යශෝ මන්දිර ටෙලිනාට්‍යයෙන් පසුව මේ ටෙලිනාට්‍යයේ තමයි මම රඟපෑවේ. කොරෝනා වසංගතය නිසා ක්ෂේත්‍රයේ හැම කෙනෙක්ටම වගේ මටත් රංගන කටයුතු කරගන්න බැරි වුණා. ඒත් මේ චරිතයත් එක්ක මගේ ප්‍රේක්ෂකයන්ගෙන් නැවතත් මට ප්‍රතිචාර ගොඩක් ලැබෙනවා.

ඉතාමත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. ප්‍රේක්ෂකයෝ හරිම සතුටින් “සකුණ පියාපත්” ටෙලිනාට්‍යය නරඹන බව ඒ ප්‍රතිචාරවලින් තේරෙනවා. ටෙලිනාට්‍ය විකාශය වෙන වෙලාවට නරඹන්න බැරි අය එකෙන් ටෙලිනාට්‍ය නරඹනවා. හොඳ නිර්මාණයක් කළාම ඒකට හොඳ ප්‍රතිචාරත් ලැබෙනවා.

මම විවිධ චරිත රඟපාලා තියෙනවා. පෙම්වතියගේ චරිත, බිරිඳගේ චරිත, මවගේ චරිත මේ හැම චරිතයක්ම බොහොම අහිංසක, උපේක්ෂා සහගත නිවුණු චරිත. මම පිළිගන්නවා කලබලකාරී, කලහාකාරී, චණ්ඩි චරිත මම රඟපෑවේ නැහැ කියලා. මට ඒ වගේ චරිතවලට ආරාධනා ලැබුණේ නැහැ ආරාධනා ආවොත් මම රඟපානවා. ඒ වගේ චරිත නොලැබෙන්න මගේ පෙනුමත් හේතුවක් වෙන්න ඇති. ඒත් ඒ වගේ චරිත කරන්න ලැබුණොත් දැනටත් මට බැරිකමක් නැහැ. චණ්ඩි රැජිණක්ගේ වගේ චරිතයක් රඟපාන්න ලැබුණොත් උත්සාහ කරලා බලනවා පුළුවන්ද කියලා.

අපි කළා වගේ හොඳ නිර්මාණ දැන් බිහි වෙන්නේ නැහැ. ඒක තමයි ප්‍රධානම හේතුව. ඒ වගේම මම කලින් කිව්වා වගේ දැන් ඉන්න අධ්‍යක්ෂවරුත් ඒකට හේතුවක්. ඒ අය නළු නිළියන් හසුරුවන්න දන්නේ නැහැ. කිසිම නිර්මාණශීලීත්වයක් නැහැ. මම ක්ෂේත්‍රයට ආවේ සුමිත්‍රා පීරිස් මහත්මියගේ ගැහැනු ළමයි චිත්‍රපටයෙන්. ඇය අපිව හසුරුවපු විදිහ දැකලා දැන් අධ්‍යක්ෂවරු දිහා බැලුවාම ඔවුන් ගැන ඇත්තටම කලකිරෙනවා. ඉතාම හොඳ අධ්‍යක්ෂවරු එක්ක වැඩ කරන්න ලැබීම මගේ වාසනාවක්. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා, ධර්මසිරි බණ්ඩාරනායක, එච්.ඩී. ප්‍රේමරත්න, ධර්මසේන පතිරාජ වගේ ඉතාම දක්ෂ අධ්‍යක්ෂවරු එක්ක මම වැඩ කළේ. මම දන්නවා ඒ අය වැඩ කළේ කොහොමද කියලා. ඒ වගේම චරිතාංග රංගන ශිල්පීන් කියන අය දැන් නැහැ. අලුත් පරපුරෙන් චරිතාංග රංගන ශිල්පීන් බිහිවෙන්නේ අඩුවෙන්. අද ඇවිත් හෙට ජනප්‍රිය වෙලා නිළියෝ වෙන්න බැහැ. දැන් ටෙලිවිෂනය තියෙන නිසා අද ඇවිත් හෙට ජනප්‍රිය වෙන්න පුළුවන්. දැන් වැඩිපුරම ඉන්නේ සබන් දිය කළා වගේ නළු නිළියෝ. ඒ වගේම හොඳ රංගන ශිල්පිනියක් වෙන්න සහජ හැකියාව වගේම හොඳ සතතාභ්‍යාසයක් තියෙන්න ඕනේ. රංගනය කියන විෂයය ගැන හොඳ හැදෑරීමක් තියෙන්න ඕනේ.

රංගන ශිල්පියෙක්ගේ පැවැත්මට වැඩිපුරම බලපාන්නේ දක්ෂතාව. ඒකට හොඳම උදාහරණය ජෝ අබේවික්‍රම මහත්මයා. ඔහුගේ පෙනුමට වඩා ඉස්මතු වෙන්නේ දක්ෂතාව. පෙනුම පමණක් තිබුණාට වැඩක් නෑ රඟපාන්න බැරි නම්. ඒත් පෙනුම ඒ තරම් නැතත් රඟපාන්න පුළුවන් නම් ඕනේ තරම් චරිත තියෙනවා. ‍ඒ තියෙන දක්ෂතාව තව තවත් වැඩි දියුණු කරගන්නත් ඕනේ. ඒ වගේම ඒ දක්ෂතාවය තමන්ට උචිත ආකාරයට සකස් කර ගන්න බුද්ධිය තියෙන්නත් ඕනේ. ඒත් දැන් නවක ශිල්පීන් මේ කාර්යයේ බරපතළකම සහ වගකීම දන්නේ නැහැ. එයාලා එක ටෙලිනාට්‍යයක රඟපාලා දවසකින් ජනප්‍රිය වුණාම හිතන්නේ රංගන ශිල්පියෝ කියලා. එහෙම හිතන් ඉන්නවා නම් ඒක අනුවණකමක්. මම නම් අලුත් පරපුරෙන් මෙහෙම දක්ෂයි කියලා කියන්න පුළුවන් එක්කෙනෙක්වත් තවම දැක්කේ නැහැ කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.