Paper Article

දැන් මට වයස 72යි, වයස කියන්නේ ඉලක්කමක් විතරයි, මමත් ආදරවන්තයෙක්-මහාචාර්ය සුනිල් ආරියරත්න

මෙරට සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙකු, ගී පද රචකයෙකු, සාහිත්‍ය වේදියෙකු මෙන්ම විශ්වවිද්‍යාල සිසුන්ට නැණස පෑදු මහාචර්යවරයෙකු ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සකච්ච්වක් එක්ක එකතුවෙමින් ඔහුගේ අලුත්ම තොරතුරු ගැන මෙන්න මේ විදිහටයි පවසලා තිබුනේ.

මම අලුත් පොතක් නිකුත් කළා දෙමළ මහා කවි භාරතී කියලා. දෙමළ සාහිත්‍යය රසය පාඨකයාට හඳුන්වා දීමේ උතුම් ජාතික වගකීමක් ලෙසටයි මෙවැනි පොත් මම කරන්නේ. පාඨක පිරිස අඩු වුණත් දෙමළ සාහිත්‍යය ගැන දැනගන්න කැමති පිරිස් වෙනුවෙන් මේ වෙනකොට ග්‍රන්ථ කිහිපයක්ම මම නිර්මාණය කරලා තිබෙනවා.

ඉතින් ඒ වගේම රට පුරා පැතිරී ගිය වසංගත රෝගී තත්ත්වය නිසා මා විසින් නිර්මාණය කළ චිත්‍රපටි දෙකක් තිරගත කිරීමට සුදුසු කාලයක් පැමිණෙන තෙක් බලා සිටිනවා.මා මෙතෙක් කළ සිනමා නිර්මාණ වගේම නව සිනමා නිර්මාණ 2ක් වන කදිර දිව්‍ය රාජ සහ ක්ෂීර සාගරය කැළඹිණ කියන චිත්‍රපටි දෙකම ප්‍රේක්ෂකයා ආදරයෙන් වැළඳ ගනී කියලා මම විස්වාස කරනවා.

මම කරන සෑම සිනමා නිර්මාණයක් ම ආදායම් වාර්තා තබන්නට තරම් ජනප්‍රිය වීමට මූලිකම හේතුව තමයි කරන වැඩේ අවංකවම උපරිමයෙන් කිරීම කියන මා සතු ප්‍රතිපත්තිය. පැය කිහිපයකට පටිගත කිරීම් කරන සිනමාපටයක් නිර්මාණය කරන වසර ගණනාවක් තොරතුරු සෙවිය යුතුයි. ආගම, සංස්කෘතිය, ඉතිහාසය ස්පර්ශ කළ යුතුයි, හැදෑරීම් කළ යුතුයි. මේ සියල්ල සමගින් ප්‍රේක්ෂකයාට නිවැරදිම දේ දිය යුතු යි. ඒ සියල්ලෙහිම එකතුවකින් මාගේ සිනමාපට සියල්ල ඉතා ම කෙට් කලකින් ආදායම් වාර්තා තබන්නට තරම් ප්‍රේක්ෂක ආදරයක් ලැබීමට හේතු වුණා විය හැකියි.

මම හැත්තෑව අසූව දශක වලදි මාගේ ගීත රචනා අති දක්ෂ ප්‍රතිභාසම්පන්න ගායක ගායිකාවන්ගේ හඬින් ගායනා වීමත් සමඟ නොසිතූ විරූ ජනප්‍රියත්වයක් ලැබුණා. ඉන්පසුව සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ වීමත් සමග කුසපබා චිත්‍රපටයේ සිට මේ දක්වාම කළ සෑම චිත්‍රපටයක්ම ඉතාම කෙටි කාලයකින් මිනිසුන් වැළඳ ගැනීමත් සමග ජනාධිපති සම්මාන ඇතුළු සම්මාන රාශියකට පාත්‍ර වීමත් සමග නොසිතන ජනප්‍රියත්වයක් මට ලැබුණා. ඉතින් ඒ වගේම මහාචාර්යවරයෙකු ලෙසට විශ්වවිද්‍යාල ජීවිතයෙන් විශ්‍රාම යනතෙක් වගේම අදටත් හිඟ නොවන ආදරයක් ගෞරවයක් ලබනවා.

කොහෝම නමුත් විශ්වවිද්‍යාල ජීවිතයේදී ඉහළටම ගිහින් මහාචාර්යවරයකු වීම මගේ හිතේ තිබිච්ච හීනයක්. ඒ වගේම වටිනා සිනමා නිර්මාණ කරණයේ යෙදී සිනමාකරුවෙකු ලෙස යම් දිනක ශ්‍රී ලාංකේය කලාවට යමක් කළ යුතුයි කියන සිහිනයක් පුංචි කාලේම ඉඳන් තිබුණා. හදවතට සමීප ගීත රචනය මාගේ පුංචි කාලේ ඉඳලාම තිබිච්ච දක්ෂතාවයක ප්‍රතිඵලයක්. එහෙම බැලුවහම පුංචිකාලෙ මා දැකපු සිහින තමයි අද සැබෑ වෙලා තියෙන්නෙ.

ඉතින් ඒ වගේම ආදරේ කියන්නේ සදාකාලික පරම රමණීය දෙයක්. ඒ නිසා වයසක් කාලයක් සීමාවක් නෑ ආදරය කරන්න. මිය යන තෙක්ම ජීවිතේ ජීවත් කරවන්නේ ආදරය. කොටින්ම කිව්වොත් විශ්වයේ පැවැත්ම තීරණය කරලා තියෙන්නෙත් ආදරය. ඇත්තටම අදටත් මම ආදරය කරනවා .මමත් හොඳ ආදරවන්තයෙක්.

මම උදෑසන 4ට අවදි වෙලා රාත්‍රී දහයට නින්දට යනකම කරන්න අර්ථාන්විත වැඩ යෙදෙනවා. කවදාවත් මම මගේ කාලය අනර්ථව වැයකරන්න කැමති නැහැ. මෙවැනි දින චරියාවක් නිසා අදටත් මට තනිකඩ ජීවිතේ ගැන කලකිරිමක්, පාළුවක්, තනිකමක් දැනෙන්නේ නැහැ. කවදාවත් මම මගේ නිර්මාණයකට වත් තනිකම, පාළුව කාන්සිය කියන දේ එකතු කරගෙනත් නැහැ. මොකද අද වෙනකම් ඒ දේවල් මට ජීවින්ට ගැටළු විදිහට දැනිලා නැහැ.

මම හරිම ආසයි හැමෝම සතුටින් ඉන්නවා දකින්න. ඒ නිසා හැමදාම මටත් සතුටින් ඉන්න ලැබෙනවා කියලා මම හිතනවා .ඊට අමතරව ජීවිතය සරල වීම කියන්නෙම අපි හොයන නිරාමිස සතුට සොයා ගන්න පුළුවන් වෙනවා කියන එක. කොහොම නමුත් සතුට කියන පරම ධනයෙන් නම් මම ගොඩක් පොහොසත්.

දැන් මට වයස අවුරුදු හැත්තෑ දෙකක්. වයස කියන්නේ ඉලක්කමක් විතරයි. අපේ දක්ෂතාවයෙන් වැඩ කරන්න වයස බාධාවක් වෙන්නෙ නැහැ. කොටින්ම දැන් මම වයසයි මට වැඩ කරන්න අමාරුයි නිර්මාණ කරනයේ යෙදෙන්න අමාරුයි කියන සිතිවිල්ලක්වත් මගේ හිතට තවම ඇවිත් නැහැ.

ඉතින් ඒ වගේම නිරෝගීකම ආරක්ෂා කර ගැනීමට මම කෑම බීම ගැනනම් ගොඩක් සැලකිලිමත් වෙනවා. තෙල්, පිටි ,සීනි, මිරිස් වගේ කෑම හරිම අඩුවෙන් පාවිච්චියට ගන්නේ. ඊට අමතරව සෑම දිනකට විනාඩි 45ක කාලයක් උදෑසන ව්‍යායාම සඳහා කාලය ගත කරනවා. බොගොඩ වැව අද්දර මම හදාගත්ත පාරක විනාඩි හතලිස් පහක් ව්‍යායාම වෙනුවෙන් මම ඇවිදිනවා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.