Paper Article

තමන්ට නැති ආතල් අනිත් එකා ගන්නවා දකිනකොට සමාජය කුහක වෙනවා-ජනප්‍රිය ගායක අමල් පෙරේරා

සංගීත ක්ෂේත්‍රයේ කවුරුත් දන්න හඳුනන දක්ෂ ජනප්‍රිය ප්‍රවීණ ගායන ශිල්පියෙක් තමයි අමල් පෙරේරා කියලා කියන්නේ. ඉතින් ඒ වගේම තමයි ඔහුගේ එකම පුතු නදීමාල් පෙරේරා කියලා කියන්නෙත් නව පරපුරේ කවුරුත් ආදරය කරන ජනප්‍රිය කඩවසම් ගායන ශිල්පියෙක්. ඉතින් ඒ වගේම නිරන්තරයෙන්ම වේදිකාව තුලුන් දැකගන්න ලැබෙන මේ තාත්තයි පුතයි ගැන සමාජජාල මාධ්‍ය තුලින් නිරන්තරයෙන්ම කා අතරත් කතා බහට ලක් වෙනවා. කොහොම නමුත් මේ ප්‍රවීණ සංගීත වේදියා පහුගිය දවසක පුවත්පතක් එක්ක එකතුවෙමින් මෙන්න මේ විදිහටයි කතා බහ කරලා තිබුනේ. මේක කලාකරුවන්ට විතරක් නෙවෙයි හැමෝටම අමාරු කාලයක්. හැමෝම ඒකට මුහුණ දෙන්න ඕන. කලාකරුවන්ට වඩා පහළ ආදායම් මට්ටමක් තියෙන මිනිස්සු ඕන තරම් මේ රටේ ඉන්නවා. එහෙම තත්ත්වයකදී කලාකරුවො අපිට වැඩ නැහැ කිය කිය විවේචන කරලා හරියන්නේ නැහැ. කලා කටයුතු වැඩිපුර තිබුන කාලේ වැඩිපුර මුදල් ලැබුණා තමයි. දැන් වැඩ අඩුවීමත් එක්ක සල්ලි මදි කියන එකත් ඇත්ත තමයි. ඒත් අපි වැඩ කරපු කාලෙ කීයක් හරි ඉතුරු කරගන්න දැනගෙන ඉන්න ඕනේ. මේ වගේ තත්ත්වයකට මුහුණ දෙන්න පුළුවන් මට්ටමක් හැම කෙනෙක්ම ගොඩනගාගෙන තියෙන්න ඕන.

මේ වගේ රටක කොහොමත් තමන්ගේ තැන තියාගන්න නම් ඉතුරුවක් තියෙන්නම ඕන. නැත්නම් එක් එක්කෙනාට නෝණ්ඩි වෙලා ඉල්ලන් කන්න වෙනවා. සල්ලි නැතිව කන්න බොන්න නැතිව අනිත් අය ඉස්සරහ චාටර් වෙන්න වෙනවා. සමහර වෙලාවට සමහරු කන්න බොන්න දීලා එයාලා වෙනුවෙන් නිකන් සිංදු කියන්නත් එන්න කියනවා. එතකොට අඩුවට විකිණෙන්න වෙනවා. ඒක තමන්ගේ ප්‍රතිරූපයට හානියක්. තමන්ගෙ නම්බුව තියාගෙන ඉන්න නම් අතේ කීයක් හරි තියෙන්නම ඕන. මම කියලත් මහා ලොකු ඉතිරියක් කරන මනුස්සයෙක් නෙමෙයි. හැබැයි මට කාටවත් බය නොවී ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් මම හදාගෙන තියෙනවා. කාටවත් පාවිච්චි නොවෙන විදිහට වැඩ කරන්න මම දන්නවා. හම්බ කරනවා, ඉතිරි කරනවා කියලා හැබැයි හම්බවෙන හැම වැඩේම භාරගෙනත් හරියන්නේ නෑ. කිසියම් ප්‍රමිතියකට අවශ්‍ය නිර්මාණ ටික විතරක් භාරගන්න ඕන.

කලාකරුවාගේ පෞද්ගලිකත්වය කියන එක මිනිස්සු ලොකුවටම අදාළ කරගන්නේ මේ මෑතකදී සෝෂල් මීඩියා කරළියට එනවත් එක්ක. දැන් හැමෝගෙම අතේ ස්මාට් ෆෝන් එකක් තියෙනවා. එතකොට තමන් කැමැති හෝ අකැමැති ඕනම කලාකරුවෙන්ගේ එකවුන්ට් එකට ගිහිල්ලා ඕනම කෙනෙක්ට කමෙන්ට් එකක් දාන්න පුළුවන්කම තියෙනවා. තමන් කැමැති අයට හොඳ කමෙන්ට් දානවා. තමන් අකැමැති අයට නරක කමෙන්ට් දානවා. කලාකාරයා තමන්ගේ පෞද්ගලික ජීවිතයේ හැමදේම සෝෂල් මීඩියා දාන්න ගත්තම පෞද්ගලිකත්වය කොහොමත් සීමා වෙනවා. මිනිස්සු කලාකරුවෙක්ගේ පෞද්ගලිකත්වය කොච්චර අදාළ කරගන්නවාද කියන එක හොඳටම තේරෙනවා මගේ සිද්ධිය ගත්තොත්. මටයි පුතාටයි ප්‍රශ්නයක් වුණු වෙලාවේ කුඩ්ඩා කිය කිය කෑ ගැහුවා. කුඩු විකුණනවා කියලා ලේබල් කළා. මම කියන්නේ කලාකරුවෙක් පෞද්ගලිකත්වය අදාළ කරගන්නේ නැතිව කලාව රසවිඳින්න පුළුවන්නම් හොඳයි. ඒත් මිනිස්සු එහෙම කරන්නෙ නෑ,

මත්ද්‍රව්‍ය සහ කලාව අතර තියෙන සම්බන්ධය මේකයි. කංසා හෝ වෙනත් මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරන කෙනෙක්ට නිර්මාණකරණ හැකියාව ලැබෙන්නේ නැහැ. නමුත් නිර්මාණ කරමින් ඉන්න කෙනෙක් කංසා පාවිච්චි කරනකොට සමහර විට ඔහුට කරන දේ වඩාත් හොඳින් කරන්න පුළුවන් වෙනවා වෙන්න පුළුවන්. සමහර විට නිර්මාණකරණයට වඩාත් ආසන්න වෙන්න ඉන් උත්තේජනයක් ලැබෙන්න පුළුවන්. කොහොමත් ඒ හරහා වයිට් එකේ චේන්ජ් එකක් වුණාම එතැනින් පස්සේ කලාකරුවා විවිධ හැඩතලවලට යනවා. ඕවා ඇහුවම සංස්කෘතිය විනාශයි, යූත් එක විනාශ වෙයි වගේ කතා මිනිස්සු කියන්නේ කුහකකමට. මේ රට කුහක මිනිසුන්ගෙන් පිරිච්ච රටක්. බලන්න දැන් අර යොහානිට කියන කතා ටික. ඒ දරුවාගේ වාසනාවට බොහෝ දේවල් ලැබුණා. මේකේ ඉන්න එවුන් ටික මොනවද නොකිව්වේ. මම දැක්කා මෑතකදී ගිටාරයක් කොහෙදෝ වැදිච්ච කතාවකටත් නොසෑහෙන කතා කියලා තිබුණා. සමාජය හරි කුහකයි තමන්ට නැති ආතල් එකක් අනිත් එකා ගන්නවා දකිනකොට. තමන්ට නොලැබෙන දේවල් අනිත් මිනිස්සු භුක්ති විඳිනවා දකිනකොට. ඒකයි ඔය වගේ දේවලින් සමාජය කෙලෙසන්න එපා කිය කිය සමහර මිනිස්සු ප්‍රතික්ෂේප කරන්නේ.

මම කියන්නේ කෙනෙක් ජාත්‍යන්තරයට යන්නත් වාසනා ගුණයක් තියෙන්න ඕන. ගොඩක් කලාකරුවෝ ඕකට උත්සාහ කළා. හැබැයි යන්න පුළුවන් වුණේ නෑ. යොහානිගෙ නිබ්බ වාසනාවකට අමිතාබ් බච්චන් ඒ ගීතය ඇහුවා. ඉතින් ඇයට පුළුවන් වුණා ඒ පාර විවෘත කරගන්න. ලංකාවේ බහුතරයකට ජාත්‍යන්තරයට යන්න බැරි ප්‍රශ්නය වෙන්නේ දක්ෂතාව නැතිකම නෙමෙයි. වාසනාව නැතිකම. හැබැයි එහෙමයි කියලා යොහානිට වඩා දක්ෂ අයට ජාත්‍යන්තරයට යන්න බැරි වුණාම ඒ ළමයට කුහකකම් කරලා වැඩක් නෑ. අපි ඇයව අගය කරන්න ඕන. රටක් විදිහට සතුටු වෙන්න ඕන.

කොහොමත් මං විස්වාස කරන්නේ මම ජීවිතේ වින්දේ නැත්නම් මගේ ප්‍රතිරූපය නැති වෙනවා. අනිත් කලාකාරයො ප්‍රතිරූපය කියන එක කොහොම අර්ථ දනවද කියලා මම දන්නෙ නැහැ. හැබැයි මම ප්‍රතිරූපය කියන්නේ මම මම විදිහට ඉන්න එකට. මගේ ප්‍රේක්‍ෂකයො පිළිගන්න ඕන. මට අනිත් අය වගේ සිල් අරගෙන ඉන්න බෑ, මම ජීවත් වෙන ක්‍රමයක් තියෙනවා. ඒකෙ ඇතුළේ මම තෘප්තිමත් සහ මම විඳිනවා. ඉතින් මම විඳින එක නැවැත්තුවොත් කොහොමත් මට ප්‍රතිරූපයක් නෑ. මම කියන්නේ මම ජීවත් වෙන විදිහ මගේ දරුවන්ට සහෝදරයට, බිරියට, යාළුවන්ට, මවුපියන්ට හොඳ නම් සමාජය මොනවා හිතයිද කියන තැනට කොටු වෙන්නේ නෑ. මම කැමැතියි මම විදිහට ඉන්න. එතකොට ඔය කියපු වැඩ දෙකම වෙනවා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.