Paper Article

ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ අපි දෙන්නා එක්කෙනෙක් කියලා-මල්පිපෙන කාලේ නිල්නෙතු සහ පිණිමුතු

අපේ කළා ක්ෂේත්‍රයට එකතු වුනු දැන්නම් අපේ රටේ ඉතාම ජනප්‍රිය නවක සුන්දර තරු දෙකක් ගැන තමයි අපි අද කියන්න යන්නේ. මේ දෙන්නගේ විශේෂත්වය තමයි මේ දෙන්නා එකටම ඉපදිලා එකටම ජීවිතයේ හැම මොහොතකම ලඟින් ඉන්න නිවුන් සහෝදරියන් දෙදෙනෙක් වීම. මේ දෙන්නාගෙන් අක්කා තමයි අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර, නංගි කනුෂ්කි ප්‍රේමචන්ද්‍ර. මේ දෙන්නව ඔබට මේ දිනවල පුංචි තිරය ඔස්සේ හමුවෙන්නෙ මල් පිපෙන කාලේ ටෙලි නාට්‍යය හරහායි. ටෙලි නාට්‍යයට අනුව අක්කා වන නිල්නෙතුගේ චරිතය රඟපාන්නෙ හැබෑ ජීවිතයේත් අක්කා වන අනුෂ්කි. නංගි වන පිණිමුතුගෙ චරිතයට රඟපාන්නෙ හැබෑ ජීවිතයේ නංගි වන කනුෂ්කියි.

ඉතින් මේ ආදරණීය සුන්දර සහෝදරියන් දෙදෙනා ඔවුන්ගේ අලුත්ම තොරතුරු ගැන වගේම පෞද්ගලික ජීවිතේ ගැනත් පහුගිය දවසක පුවත්පතකට පවසලා තිබුනේ මෙන්න මේ විදිහටයි. ඇත්තටම මල් පිපෙන කාලේ ටෙලි නාට්‍යයට අපිව තෝරගත්තේ ඔඩිෂන් එකකින්. අධ්‍යක්ෂ තුෂාර සර් අපි දෙන්නව ඔහුගේ ඉස්සරහයින් වාඩි කරගෙන මට කිව්වා ඔයා තමයි නිල්නෙතු. නංගි දිහා බලලා ඔයා තමයි පිනිමුතු කියලා ඔහු හරියටම චරිත දෙක ස්වරූපයට අනුව බෙදලා දුන්නා. ඇත්තටම මේ චරිත සඳහා ලැබුණු අසීමිත ජනප්‍රියත්වය ගැන කතා කරනවා නම්, සමහර අය අපිව හොයාගෙන ගෙදරටම ඇවිල්ලා තියෙනවා අපිව බලලා යන්න ඕනේ කියලා.

අපි දෙන්නා දෙන්නෙක්මද කියලා දැනගන්නයි ඒ අයට තියන ලොකුම වුවමනාව. එක රසිකයෙක් නුවර ඉදන් අපිව බලලා යන්නම කියලා ආවා. අපි දෙන්නා පදිංචි වෙලා ඉන්න මිනුවන්ගොඩනේ ඔහු මිනුවන්ගොඩට ම ඇවිල්ලා අපිව බලලා ගියා. ඒ චරිත දෙකේ ඉන්න නිවුන්නුගේ වයස අවුරුදු විසි එකයි. අපිටත් වයස අවුරුදු විසි එකයිනේ. ඒ නිසා ඒකත් මනාව ගැළපුණා කියලා හිතනවා.

ඇත්තටම අපි දෙන්න චරිත මාරු කරගෙන නිරූපණය කරපු අවස්ථාවක් හෝ දෙකක් තිබුණා. අපේ ප්‍රඩක්ෂන් එකේ බොහෝ දෙනාට අපි දෙන්නව අනන්තවත් පැටලෙනවා. ඔයා අහවලා නේද කියලා කිහිප සැරයක් අහල තමයි අපිට කොස්ටියුම් වුණත් දෙන්නේ.

වැඩි දෙනෙක් හිතාගෙන ඉන්නේ අපි දෙන්නා එක්කෙනෙක් කියලා. ඩබල් ඇක්ටින් කරනවා කියලා තමයි හිතාගෙන ඉන්නේ. අපි ටික්ටොක් එකේ වීඩියෝ කිහිපයක් අප්ලෝඩ් කරල තිබුණා. ඒවා දැකලා සමහරු පුදුමයට පත්වෙලා තිබුණේ මේවා තනි අයෙකු විසින් කරන්නාවූ වීඩියෝස් කියලා. පස්සේ අපි දෙන්නෙක් කියල දැනගත්තම ඒකටත් හොඳ ප්‍රතිචාර දක්වලා තියෙනවා. අපි දෙන්නා එක්කෙනෙක් කියලා හිතාගෙන ඉන්න බොහෝ දෙනෙක් අපි දෙන්නටම මැසේජ් කරනවා.

අපි නිවුන්නු කියලා දන්නැති ටිකක් දුරින් ටිකක් හිතවත් වෙන අයියා කෙනෙක් දවසක් මට මගදි හමු වුණා. ඔහු බයිසිකලේක ඇවිත් හිටියෙ. මගෙත් එක්ක කතා කරලා ඔහු පිටත් වෙලා ගිහිල්ලා ටිකක් දුර යද්දි නංගි ඉස්සරහට ඇවිල්ලා. ඒ අයියා හොඳටම බය වෙලා. හොල්මන් කියලා හිතාගෙන. අපි දෙන්න ඔහු හරියට දැක්කට පස්සේ තමයි බිය නැති වෙලා ගියේ. අපි දෙන්නා දැනට සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පළවෙනි වසරේ ශිෂ්‍යයාවෝ. ඉතින් සමහර සූම් ලෙක්චර්වලදී අපි දෙන්නට දෙන්න මාරු වෙමින් ඉඳපු අවස්ථාවන් තියෙනවා.

ඇත්තටම අපිට රඟපානවා කියලා ටාගට් එකක් තිබුණෙ නැහැ. ඩාන්සින් පැත්තෙන් ඉදිරියට යන්න තමයි හිතාගෙන හිටියේ. ඒ වෙනුවෙන් තමයි මේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්නෙ. කවද හරි නර්තනය පැත්තෙන් අපි දෙන්නම වෘත්තීන්වල නියැළේවි. නමුත් රංගනය කියන වෘත්තීයෙනුත් ඈත් වෙන්නේ නැහැ. දැනටමත් නිර්මාණ රැසකට ආරාධනා ලැබිල තියෙනවා රඟපාන්න. මියුසික් වීඩියෝ එකකත් පසුගිය දවස්වල රඟපෑවා. හොඳ චරිත රඟපාන්න තමයි අදහස් කරගෙන ඉන්නේ කියලයි අනුෂ්කි අවසාන වශයෙන් පවසලා තිබුනේ.