Paper Article

ගොඩක් අය මාව දැන් දකින්නේ අනියම් පෙමක හිමිකාරියක් වගේ-සුරූපී නිලි නිපුනි පූජිතා ගුණවර්ධන

මේ දවස් වල අපේ රටේ බොහෝ දෙනෙක් අතරේ කතා බහට ලක්වෙන ඉතාම ජනප්‍රිය ගීතයක් තමයි අන්සතු ඔබ ගීතය. අසම්මත ප්‍රේමය ගැන කියවෙන එම ගීතයේ රූප රචනයට පෙනී ඉන්න සුන්දර යුවතිය තමයි නිපුනි පූජිත ගුණවර්ධන කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් ඇයගේ අලුත්ම තොරතුරු කතා බහ කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

ඇත්තටම මට දැන් ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගීතය ගැන වගේම ගොඩාක් දෙනෙක් මගේ රඟපෑම ගැන කතා කරනවා. ගොඩාක් සතුටුයි හොඳ නිර්මාණයකින් ප්‍රේක්ෂකයන් අතරට එන්න ලැබීම ගැන. ගොඩක් අය මාව දැන් දකින්නේ අනියම් පෙමක හිමිකාරියක් වගේ, ඉතින් මාව දකින්න කැමැති එහෙම නම් ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ නිර්මාණය ඇතුළේ මම සාර්ථක නිසානේ ඒ ආකාරයට දකින්නේ.

මම ප්‍රසිද්ධ නිළියක් නෙමේ. සීමිත නිර්මාණ ප්‍රමාණයක් තමා කරලා තියෙන්නේ. දැනට අවුරුදු හයකට කලින් වෙළෙඳ දැන්වීම් කීපයක් කළා. හීන හොයන සමනල්ලු සහ A/L චිත්‍රපටයේ චරිතය කළා. 2018 වර්ෂයේ ඉඳන් ප්‍රේමයේ නගරය වේදිකා නාට්‍යයේ අවුරුදු දෙකක් රඟපෑවා. තරුණ සේවා සභාවේ සම්මාන උළෙලේදී ඒ රඟපෑම වෙනුවෙන් කුසලතා සම්මානයකුත් ලැබුණා. ඒ වගේම 2019 මිස් ශ්‍රී ලංකා තරගයට සහභාගි වෙලා අවසාන වටයට ආවා. මම ඉපදුණේ නම් අම්පාරේ. දැන් නම් ස්ථිර පදිංචිය කඩවත.

අන්සතු පෙම කියන්නේ හරිම ස්වභාවික වැඩක්. ගීතයක් වුණාට ඒ මිනිත්තු ගණන ඇතුළේ කරන්න ලොකු දෙයක් තිබෙන බව වැටහුණා. මූණේ ඉරියව් සහ ශරීරයේ චලනය තුළ තමා වැඩේ සිද්ධ වුණේ. ඉතින් ඒ වගේම මේ වැඩේට දවස් දෙකක් ගියා. පළවෙනි දවසෙම පුහුණුවීම් කළා. දෙවැනි දවසේ තමයි රූපගත කිරීම කළේ. ත්‍රිවීලර් එක කැරියර් එකක දාලා ෂූට් කළේ. මුලින් බය හිතුනා. පස්සේ ආරක්ෂිතයි කියලා තේරුම් ගත්තා.

මෙහි එන අන්සතු ප්‍රේමය ගැන අදහසට නම් මගේ කැමැත්තක් නැහැ. හැබැයි නිර්මාණයට කැමැතියි. ආදරයත් එක එක ආකාරයට දකින්න පුළුවන්. අසම්මත පෙමක් කිව්වත් මෙතන තියෙන්නේ ආදරයම තමයි. කොයි තැනකවත් කුණුහරුපයක් නැහැ. මේ දෙන්නා ඒ හැඟීමට මුහුණ දෙනකොට කොච්චර අපහසුතාවකට පත්වෙනවද? සීමාසහිත ආදරයක් තියෙන්න පුළුවන්. ඇත්තටම මම අන්සතුත් නැහැ, කාසතුත් නැහැ. මට ඕන මගේ විදිහට ගමනක් යන්න. ඇත්තටම මම සාරි අඳින කෙනෙක් නෙමේ. ගොඩක් නිදහසේ ඉන්න කැමැති කෙනෙක්.

මම තාම අවිවාහකයි. නමුත් ගොඩාක් අය කියනවා තාත්වික රඟපෑමක නිරත වුණා කියලා. කොහොමද එහෙම රඟපාන්නේ කියලා අහනවා. කොටින්ම කිවුවොත් මෙහිදී මම මේක්-අප් එකක්වත් භාවිත කළේ නැහැ. සීයට සීයක්ම ස්වභාවික පෙනුමෙන් තමයි රඟපෑවේ. නිළියන් සුදු වෙන්න ලස්සන වෙන්න ඕන කියන කතාව බොරු කියලා ඔප්පු කළා. මමත් ආදරය කරලා තියෙනවා. නමුත් නොතේරුම්කම නිසා ඒ දේවල් මග නතර වුණා. ඊට පස්සේ කවදාවත් ආදරේ ගැන හිතලා නැහැ කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.