Paper Article

ගොඩක් අය දැන් මට කතා කරලා ජංගි හොරා ගැන අහනවා-ජනප්‍රිය ප්‍රවීණ නිලි දිල්හානි ඒකනායක

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි දිල්හානි ඒකනායක කියලා කියන්නේ. යසපාලිත නානායක්කාරගේ දේදුන්නෙන් සමනලියක් සිනමා පටයෙන් ශ්‍රී ලාංකීය සිනමාවට පා තැබූ ඇය අපේ සිනමා ක්ෂේත්‍රය තුළ ඉන්න එදත් අදත් කවුරුත් එකසේ ආදරය කරන දක්ෂ සුන්දර රංගන ශිල්පිනියක් කිවුවොත් හරියටම හරි. ඉතින් ඒ වගේම ඇය රංගනයෙන් දායක වුනු ඉදිරියේදී තිරගත වීමට නියමිත සිනමා නිර්මාණ ගැන මේ දිනවල අතිශයින් කතාබහක් ඇතිවෙලා තියනවා. ඉතින ඒ තමයි ආචාර්ය සෝමරත්න දිසානායක මහතාගේ වෙනස්ම ආරක සිනමා නිර්මාණය වන Underpants Thief එහෙමත් නැත්නම් ජංගි හොරා කියන සිනමා නිර්මාණය.

ඉතින් මේ සිනමා පටය ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් දිල්හානි ඒකනායකව සම්මුඛ සාකච්චාවකට එකතු කරගෙන තිබුණා. ඉතින් එහිදී ඇය වැඩිදුරටත් පවසලා තිබුනේ මෙන්න මේ වගේ කතාවක්. මෙය නිර්මාණය වෙන්නේ මීට අවුරුදු හතරකට විතර කලින්. මේ වගේ කතාවක් සිනමාවට නගන්න යනවා කියලා සෝමරත්න අයියා මට පිටපත දුන්නාම මම ඒක කියවලා බලලා මගේ පැත්තෙන් වෙන්න ඕනේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් ගැන කිව්වා. ඒ මොහොතේම සෝමේ අයියා මගේ අදහසට එකඟ වුණා. ඒ එකඟතාවෙන් පස්සේ තමයි අපි සිනමා නිර්මාණය කළේ.

මේක මේ අපි කතා කරන්න බය වෙන්න හෝ ලැජ්ජා විය යුතු තේමාවක් නෙවෙයි. අපේ සමාජය තුළ සිද්ධ වෙච්ච නැති දෙයක් නෙවෙයි. අපි දන්නවා ගැහැනියක් ගඟක ඇළක දොළක නානවා නම් හොරෙන් බලන් ඉන්න කොටසක් ඉන්නවා. ඒ වගේම තමයි දැන් කාලේ නම් බාත්රූම් එකට කැමරාවක් දාලා බලන් ඉන්න අයත් අපිට එදිනෙදා සමාජයේ අහන්න දකින්න ලැබිලා තියෙනවා. මෙවැනි ආකාරයට හැසිරෙන්නේ සාමාන්‍ය මට්ටමින් එහාට ගිය යම් කිසි මානසික ගැටලුවක් තියෙන අය නිසා. අන්න එවැනි වූ පුද්ගලයෙක් වටා තමා මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ.

එහෙම කෙනෙක් පවුලක හිටියොතින් ඒ ගෙදර අයගේ හැසිරීම තමයි මගේ චරිතය තුළින් මම නිරූපණය කරන්නේ. අපි දන්නවනේ අපේ සමාජය තුළ මෙවැනි පුද්ගලයෙක් අහුවුණාම මිනිස්සු සාමාන්‍යයෙන් කරන්නේ ගස් බැඳලා ගහනවා අතපය කඩනවා. ග්‍රීස් යකා වැනි විවිධ නම් වලින් හඳුන්වනවා. නමුත් එවැනි තත්ත්වයකට පත්වුණු කෙනෙක් පවුලේ ඉන්නවා නම් කළ යුත්තේ ඉන් ඒ මනුස්සයට ගැලවෙන්න උදව් කරන එක. ඔය කාරණය තමා මේ චිත්‍රපටය තුළින් සමාජ ගත කරන්න උත්සාහ කරන්නේ.

මේ සිනමා නිර්මාණය ගැන බොහෝ දෙනා කතා වෙනවා. මම අන්තර්ජාලයේ හෝ සමාජ මාධ්‍ය තුළ සැරිසරන කෙනෙක් නෙවෙයි. නමුත් මට කතා කරලා කට්ටිය ජංගි හොරා ගැන අහනවා. මම ආ ඇත්තද, ඉතින් හොඳයිනේ කියලා කියනවා. මොකද මේ කාලය නැවත සිනමාව පණගන්වන්න ලොකු ශක්තියක් යොදවන්න වෙලා තියෙන කාලයක්. ඉතින් මේ Underpants Thief චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට දැමීමත් එක්ක මම දැකපු එක දෙයක් තමයි වෙනස් විදියේ පටන් ගැන්මකට ඉඩක් තියෙනවා කියන දේ.

මේ නම දාද්දි සෝමේ අයියටත් තිබුණා ප්‍රේක්ෂකයා කොයි විදියට භාර ගනීදෝ කියලා. හැබැයි ඒ නම දාපු නිසානේ මේ තරම් කතා බහකට මේ වෙද්දී ලක්වෙලා තියෙන්නේ. අනික මේ රටේ මොන තරම් නම් හොරු ඉන්නවද? විශාල මහා පරිමාණයේ හොරු අතරේ මේකේ මේ පොඩි ජංගියක් හොරකම් කරලා තියෙන්නේ. මට කියන්න තියෙන්නේ ඔය වචන දෙක වැරදි අර්ථයෙන් ගන්න ඕනේ නැහැ. සාමාන්‍ය ජීවිතේ තියෙන වචන දෙකක්. ජංගියට ජංගිය කියන්නේ නැතුව වෙන මොනවා කියන්නද? අනිත් අතට හොරාට හොරා නොකියා මොකක් කියන්නද? එතකොට ඒ දෙක එකතු වුණාම අවුල්ද?

ජංගි හොරා කිව්වම මේ නමට පවා බොහෝ දෙනා විවිධ දේ කියනවා. හැබැයි අපි එක දෙයක් දන්නවා. ඒ තමයි අපිට මොන විදියේ ප්‍රතිචාර ලැබුණත් විශාල කොටසක් බලාගෙන ඉන්නවා මේ චිත්‍රපටය නරඹන්න. ඒ නිසා මේ නම යෙදීම ගැනත් මම සතුටු වෙන්නේ නැවත මේ හරහා සිනමාශාලා වෙත ප්‍රේක්ෂකයා ගෙන්වා ගැනීමට යම්කිසි හැකියාවක් තියෙනවා කියන දේ දැනෙන්න පටන් අරන් තියෙනවා. අපිට අපේ සිනමාව නැවතුණ තැනින් ආරම්භ කර ගන්න හොඳ ප්‍රවේශයක් වෙයි මේ සිනමා නිර්මාණය කියලයි ප්‍රවීණ රංගන ශිල්පිනිය අවසාන වශයෙන් පවසලා තිබුනේ.