Paper Article

කවුරු බෙහෙත් කළත් හසිනි නොහිටින්න අද වික්ටර් රත්නායක කෙනෙක් නැහැ-ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක

අපේ රටේ සංගීත ක්ෂේත්‍රය තුල නොමැකෙන නමක් රැන්දු අග්‍රගණ්‍ය ප්‍රවීණ ගායන ශිලියෙක් තමයි වික්ටර් රත්නායකයන් කියලා කියන්නේ. දැඩි ලෙස රෝගාතුරව සිට සුවය ලද ඔහු මේ දිනවල අලුත්ම ගීත කීපයක් පටිගත කරමින් සිටිනවා. ඉතින් අසනීප වූ පසුව මේ දක්වා මාධ්‍යයෙන් ඈත්ව සිටි ඔහු අවුරුදු එකහමාරකට පමණ පසුව පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් මෙන්න මේ විදිහටයි කතා බහ කරලා තිබුනේ.

මං ඉපදිලා තියෙන්නේ නුවර ඉස්පිරිතාලෙ. මොකද ඒ වෙද්දී තාත්තයි අම්මයි ගම්පහෙන් කඩුගන්නාවට ඇවිත් හිටිය නිසා, නැත්නම් තාත්තගෙ ගම පිළිකුත්තුවෙ. අම්මා උඩුතුත්තිරිපිටියේ. මගෙ පළවෙනි සරල ගී වැඩ සටහන තිබුණු ස්වදේශීය සේවයෙ. ඔය වැඩ සටහනට සිංදු හරතක් ඕනෑ වුණා. එක සිංදුවක් ලියලා දුන්නෙ සේන වීරසේකර. මං සේනට කිව්වා මට ඕනැ ජනප්‍රිය ගීත රචකයෙක්ගෙ ගීත නෙවෙයි. ජනප්‍රිය නැති අයගෙ හොඳ ගීත කියලා. එතකොට සේන කිව්වා, එහෙනම් අපි අරිසෙන් අහුබුදු ළගට යමු එයාව මං දන්නවා මගේ ගුරුතුමා කියලා. මං කැමති වුණා.

අපි දෙන්නා ගල්කිස්ස, හුලුදාගොඩ පාරෙ තිබුණු අහුබුදුවන්ගෙ ගෙදර ගියා. මං කිව්වා මට ගීතයක් දෙකක් ලියලා දෙන්න කියලා. ඒ වෙලාවෙ අහුබුදු ඇහුවා මගේ වංහුං. තාත්තගෙ රස්සාව ගැන එහෙම. මගෙ තාත්තා ඩිස්පැන්සරිවල බේත් කලවම් කරන කෙනෙක් කියලා මම උත්තර දුන්නා. ඔසද වටු අහුබුදු ඒ වචනෙට පිරිසුදු සිංහල වචනෙ දුන්නේ ඒ විදිහට.

මට උවමනා වුණේ මේ ක්ෂේත්‍රයේ ඉන්න අලුත් අය දිරිමත් කරන්න. ඒ නිසා තමයි තරුණ පිරිසකගේ ගී තනු සහ ගී පද රචනා කීපයක් තෝරාගෙන ගායනා කරන්න තීරණය කළේ. අනෙක ඉතින් නිර්මාණ නොකර නිසොල්මනේ බලා ඉන්න පුරුද්දකුත් මට නැහැ. මම පොරොන්දුවකුත් දුන්නනේ සුවවූ පසුව ගීපොද මල් වරුසාවක් තිළිණ කරනවා කියලා. පොරොන්දුවක් දුන්නොත් ඒක ඉෂ්ට කරන්න ඕනේ.

මම රෝගීව පසුවෙද්දීද ඔහුට විවිධාකාරයේ අවලාද සහ අපවාදයන්ට මුහුණ දෙන්නට සිදුවූ බව රහසක් නොවේ. ඇත්තෙන්ම ඒ ගැන කලකිරීමක් නැහැ. සිදුවූ සියල්ල උපේක්ෂා සහගතව භාරගත යුතුයි. එදා ඉඳලා මම වැඩ කළේ එහෙමනේ. මේක විවේචන, විචාර හැම දේටම මුහුණ දෙමින් ආ ගමනක්නේ. ලාභ අලාභ, නින්දා අපහාස මේවා හොඳට පුරුදුයි. ඒ අවස්ථාවේදී හෂිනි මට ලොකු ශක්තියක් වුණා. මේ හැම දෙයක්ම කරන්න ධෛර්යය ලැබෙන්නේ ඇගෙන්.

දොස්තර මහත්තුරු කිවේ, කොහොම හරි මාව රෝද පුටුවකට දාලා දෙන්නම් කියලා. අද මම සනීප වෙලා ඉන්න හැටි සිංදු කියන හැටි දැක්කාම දොස්තරලටත් පුදුමයි. මම මැරිලා ගොඩ ආවේ. මට බේත් කලේ ප්‍රියංකර ජයවර්ධන, ශමිලා විතාන, මහාචාර්ය සමන් ගුණතිලක, නියෝමාලී අමරසේන, හර්ෂ සමරසිංහ, අලා සදීකින් කියන දොස්තර මහත්තුරු. තරංගා වික්‍රමසූරියගෙන් දැනටත් මම සිංහල බේත් ටිකක් කරනවා. ඒ අය බේත් කළත් හසිනි නොහිටින්න වික්ටර් රත්නායක කෙනෙක් නැහැ කියලයි මේ ප්‍රවීණ ගායන ශිල්පියා අවසාන වශයෙන් පවසලා තිබුනේ.