Paper Article

කරන්නම් වාලේ ගීත නිර්මාණය කරන්න මම කැමති නැහැ-කීර්ති පැස්කුවෙල් මහතාගේ ලේලිය චේතනා රණසිංහ

දෙරණ ඩ්‍රීම් ස්ටාර් වේදිකාවෙන් බිහි වුණු අපේ රටේ ඉතාම දක්ෂ ජනප්‍රිය සුරූපී ගායිකාවක් තමයි චේතනා රණසිංහ කියලා කියන්නේ. ඉතින් ඒ වගේම ඇය සතු නර්තන හැකියාවද දෙරණ නර්තන රියැලිටි තරඟයක් තුළින් දැක ගන්නට ලැබුණා. ඉතින් ඒ වගේම ඇය විවාහ වුණේ ප්‍රවීණ ගායක කිර්ති පැස්කුවෙල් මහතාගේ පුතු වන කසුන් පැස්කුවෙල් සමඟයි. ඒ වගේම කසුන් පැස්කුවෙල් කියලා කියන්නේ සංගීත ක්ෂේත්‍රයේදී තමන්ගේ පාඩුවේ ගමනක් යන දක්ෂයෙක් කිවුවොත් හරියටම හරි. කොහොම නමුත් කාලයක් නිහඬව හිටි චේතනා නැවතත් ඇයගේ ආදරණීය රසිකයින් අතරට ඇවිත් තියෙනවා. ඉතින් ඒ ගැන ඇය පහුගිය දවසක පුවත්පතකට කියලා තිබුනේ මෙන්න මේ විදිහටයි. මම සාමාන්‍ය පෙළ කරන කාලේ තමා දෙරණ ඩ්‍රීම්ස්ටාර් තරගයට සහභාගී වෙන්නේ. එතකොට වයස අඅවුරුදු 16යි. හරිම සුන්දර කාලයක් සහ ජීවිතේ අමතක නොවන කාල පරිච්ජේදයක් කිව්වොත් නිවැරදියි. ඒ කාලයේ ලොකු අවබෝධයක් තිබ්බේ නැහැ මොනවද කරන්න ඕනේ කියන. ඒ තරඟය තුළින් ලැබුණු අත්දැකීම් තමා මගේ සංගීත ගමනට ලොකු රුකුලක් වුණේ.

මගේ නර්තන හැකියාව වුණත් ප්‍රේක්ෂයන්ට මුලින්ම දැක ගන්න ලැබුණේ දෙරණ නාළිකාවේම රියැලිටි තරගයක් තුළින්. ඒ සියල්ල කාලයකට පස්සේ යළි මතක් කරන්නත් එක්ක තමා අලුත් ගීතය සංගීතය සහ නර්තනය දෙකම එකතුවෙන් යන නිර්මාණයක් කරන්න ඕනේ කියලා හිතුවේ. සංගීතය නිසා තමා අපි ජීවත් වෙන්නේ. පුංචි කාලයේ මම ඉඳන්ම සංගීතයට ඇළුම් කරපු කෙනෙක්. මේ වෙද්දී මම විශාරද විභාගෙත් කරලා තියෙන්නේ. ඒ එක්කම මට ඕනේ වුණා හොඳින් අධ්‍යාපන කටයුතු අවසන් කරන්න. මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධියත් සම්පූර්ණ කළා. මම කොහොමත් ආසාවෙන් හිටියේ වෘත්තියක නියැළෙන ගමන් සංගීත කටයුතු කරන්න.

මට වෙනස් විදියේ වැඩක් කරන්න කාලයක් තිස්සේ ලොකු ආසාවක් තිබ්බා. මොකද වසර ගණනාවකට පස්සේ තමා මගේම තනි නිර්මාණයක් විදියට ගීතයක් කරන්නේ. කාලයකට පස්සේ කරන නිසා ලොකු කාලයක් තිස්සේ හිතුවා මොනවගේ ගීතයක් ද කරන්න ඕනේ කියන දේ. ඊට පස්සේ පසන් ලියනගේ අයියට තමා ගීතය කරන්න භාර දුන්නේ. ගීතය ලිව්වේ ෂෙහාන් ගලහිටියාව අයියා. පසන් තමා ගීතය සංගීතවත් කළේ. වචන එහෙට මෙහෙට කරමින් හොඳම නිර්මාණයක් කරන්න කාලයක් ගත වුණා.

හරියටම ගත්තොත් රොමේෂ් සුගතපාල අයියා එක්ක කරපු නොකියූ ආදරේ ගීතයෙන් පස්සේ අවුරුදු 7කට පස්සේ තමා මගේ තනි නිර්මාණයක් විදියට මේ ගීතය එන්නේ. ඒ අතරතුර කාලයේ වෙනත් අයගේ ගීත නිර්මාණවලට මම දායක වුණු අවස්ථා තිබ්බා. තව කසුන් එක්ක මම නිල්වන් ජලාශේ කියලා යුග ගීතයක් ගායනා කළා. ඊට පස්සේ එයත් එක්කත් යුග ගීතයක් කරන්න බැරි වුණා. එයත් රැකියාවක නිරත වෙලා ඉන්නේ. ඒ එක්කම මගේ ඉගෙනීම් කටයුතු සහ රැකියාවේ කටයුතු නිසාත් මම කාර්යබහුල වෙලා හිටියා. ඒ කාර්යබහුලකම සහ විවිධ හේතු බලපෑවා මෙච්චර කාලයක් ගීතයක් නොකරන්න. විශේෂම දේ තමා අද හොඳ නිමාවකින් රූප රචනාවක් එක්ක ගීතයක් අවසන් කරන්න ලොකු මුදලක් තියෙන්න ඕනේ. කරන්නම් වාලේ ගීත නිර්මාණය කරන එක තේරුමක් නැහැ. ඒ නිසා කාලයක් අරන් හොඳ දෙයක් කරනවා කියන තැන මම හිටියේ. ඔක්තෝබර් පළවෙනිදා තමා මම වෛවර්ණ නාරි ගීතයේ වීඩියෝව රිලීස් කළේ. මේ ගීතය අඬන සින්දුවක්වත් මල් සින්දුවක්වත් නෙවෙයි. හැපි ඩාන්ස් එකක් එක්ක යන වෙනස් විදියේ වැඩක්. බොලිවුඩ් රිදම් එක පොඩ්ඩක් එකතු කරලා තියෙනවා. ඒ එක්කම මගේ නර්තන හැකියාවත් එකතු කරලා තමා මෙහි රූප රචනාව නිර්මාණය කරේ. මේ සියල්ල නිසාම මේ වෙද්දී හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඉස්සරහටත් බලන් ඉන්නවා ප්‍රේක්ෂකයින් ආදරෙන් තව තවත් මේ ගීතය වැළඳ ගනී කියලා.

මේ කාලය ගත්තම සමහර අය නිර්මාණ එළිදක්වන්න මැලිකමක් තියෙනවා. නමුත් මම දකින්නේ එක පැත්තකින් ගොඩක් අය නිවෙස්වලට වෙලා ඉන්න නිසා ඒ අයගේ රසවින්දනයට හොඳ දෙයක් දුන්නොත් භාර ගනියි කියලා. අවාසි පැත්තකට තියෙන්නේ ප්‍රසංග එහෙම නැති නිසා ගීතය ගායනා කරන්න ලැබෙන අවස්ථා ඇහිරිලා තියෙන එක. නමුත් අද වෙද්දී සමාජ මාධ්‍ය හරි ප්‍රභලයි. විවිධ ආකාරයට තාක්ෂණයේ දියුණුව එක්ක අපිට අපේ නිර්මාණ රසික රසිකාවියන් අතරට අරන් යන්න අවස්ථා නිර්මාණය වෙලා තියෙන යුගයක්.

මම දකින්නේ ඉස්සරට වඩා දැන් නව මාධ්‍යයන් ප්‍රබල නිසා හොඳ නිර්මාණයක් කළොත් ඉතා ඉකමනින් රසිකයින් අතරට යන්න පුළුවන්. මම වැඩියම භාවිත කළේ ෆේස්බුක් ගිණුම නමුත් මේ වෙද්දී ඉන්ස්ටග්‍රෑම් හරහාත් මගේ නිර්මාණ මා වටා ඉන්න රසික රසිකාවියන්ට මම සමීප කරනවා. මම උත්සාහ කරන්නේ නව මාධ්‍යයන්වල හොඳ පැත්ත ප්‍රයෝජනයට අරන් අපේ නිර්මාණ වැඩි පිරිසක් අතරට යවන්න උත්සාහ කරන එක. ඉතින් ඒ වගේම රැකියාවක් කරන ගමන් තමා මේ සංගීත කටයුතු කරගෙන යන්නේ. ඒ නිසා සංගීතය කියන්නේ මගේ ජීවනෝපාය උපයා ගන්න කරන දෙයක් නෙවෙයි. සංගීතය කියන්නේ මම ආසාවට කරන දෙයක්. මම හිතන්නේ සංගීතය වෘත්තිමය නොවුණු එක හොඳයි කියලා. මොකද නිදහස තියෙනවා හොඳ දැනෙන නිර්මාණ පමණක් කරන්න කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Comment