Paper Article

කට්ට කාලා ආවාම ඕනෑම අභියෝගයක් එක්ක ඉස්සරහට යන්න පුළුවන්-දක්ෂ සුරූපී නිලි නයෝමි තක්ෂිලා

අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන වේදිකාව තුළින් රංගනයට පිවිසුනු දක්ෂ ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනියක් තමයි නයෝමි තක්ෂිලා කියලා කියන්නේ. ඉතින් ඒ වගේම රන්තිලි වැව ටෙලි නාට්‍යයේ මුතු මැණිකේ ලෙසත්, නීල පබළු ටෙලිනාට්‍යයේ පූජා ලෙසත් ප්‍රේක්ෂකයින් අතරට පැමිණි ඇයව මේ දිනවල අඳුන්ගිර ටෙලි නාට්‍ය හරහා දැකගන්න ලැබෙනවා. ඉතින් මේ සුන්දර රංගන ශිල්පිනිය ඇයගේ අලුත්ම තොරතුරු ගැන පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් මෙන්න මේ විදිහටයි කතා බහ කරලා තිබුනේ. මේ දවස්වල මම නිදහස උපරිම විඳිමින් සතුටින් ජීවත් වෙනවා. මේ දිනවල අදුන් ගිර ටෙලි නාට්‍යයේ රූගත කිරීම් කෙරෙනවා. ඊට අමතරව ආරිය වංශික කියලා නාට්‍යයක රූගත කිරීම් අවසන් කළා. එය ඉදිරියේදී දැක ගන්න පුළුවන් වෙයි.

මට පොඩි කාලේ රංගන ශිල්පිනියක් වෙන්න පුංචි අදහසක් තිබුණා කියලා මම හිතෙනවා. අපි පොඩි කාලයේ වැවෙන් නාලා හවසට කාටුන් බලන්න ඕනෑ නිසා කෙටි පාරකින් දුවගෙන ගෙදර එනවා. ඒ කාලයේ ගෙදරදි බලපු චිත්‍රපටවල සිද්ධි මම වැවේ ඉඳන් ගෙදර එන අතරමගදී තනියම රඟපානවා. මගේ පාසලේ නැටුම්වත් රංග කලාවවත් තිබුණේ නැහැ. ඒක පොඩි පාසලක්. පසුව අනුරාධපුරය නගරයේ ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයට ඇතුළත් වුණාම මට ආසාවක් ආවා නැටුම් හරි රංගකලාව හරි කරන්න ඕන කියලා.

මම අධ්‍යාපනවේදී නාට්‍ය හා රංග කලාව උපාධියට තමයි කොළඹ ආවේ. ටවර් හෝල් නාට්‍ය හා රංග කලා පාසලේ මම ඩිප්ලෝමාව හැදෑරුවා. එය පූර්ණකාලීන පාඨමාලවක්. එය සම්පූර්ණ කරන්න මම කොළඹ නැවතිලා සිටියා. ඩිප්ලෝමාවෙන් පසුව උපාධිය සම්පූර්ණ වෙන්න අවුරුදු දෙකක් විවෘත විශ්වවිද්‍යාලයට අපිව ඇතුළත් කරනවා. එයට අර්ධ කාලීනව සම්බන්ධ විය හැකි නිසා මම නැවත ගමට ගියා. මම නාට්‍ය පාසලේදී සහභාගි වූ කෙටි නාට්‍යයක් දැකලා අඛිල සපුමල් අයියා මට එයාගෙ හිනාවෙලා මිනිත්තුවක් වේදිකා නාට්‍යයට කතා කළා. ඊට පසුව මම නැවත කොළඹ ආවා. ඒ වේදිකා නාට්‍යයට මට හොඳම නිළිය සම්මානය ලැබුණා. වේදිකා නාට්‍යවල මගේ රංගනය දැකලා තමයි මට ටෙලි නාට්‍ය සඳහා ආරාධනා ලැබුණේ.

මම මුලින්ම රඟපෑවේ ස්වර්ණවාහිනී නාලිකාවේ මීදුම් අම්මා කියන ටෙලි නාට්‍යයේ. වාසනාවකට මට රඟපාන්න ලැබුණේ මාලිනී ෆොන්සේකා මහත්මියගේ දුවගේ චරිතය. ඇත්තෙන්ම මට කැමරාවට මුහුණ දෙන අත්දැකීම ඒ වන විට තිබුණේ නැහැ. මම ඒ දේවල් ඉගෙන ගත්තෙ මාලනී මැඩම්ගෙන්. ඇයගෙන් මම බොහෝ දේවල් ඉගෙන ගත්තා. ඒ අවස්ථාව ලබා දුන්නට මම එම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළ සමීර හසුන් අයියට ස්තූති වන්ත වෙනවා.

අද වන විට වේදිකාවෙන් රංගනයට පිවිසෙන පිරිස අඩුයි. වේදිකාවෙන් ක්ෂේත්‍රයට පැමිණෙන්න ලොකු කට්ටක් කන්න වෙනවා. වේදිකාවෙන් එන පිරිස අඩුවීමට හේතුව ඒකයි. අනෙක් අයට වඩා දක්ෂයන් වේදිකාවෙන් බිහිවෙනවා. අපි තුළ තිබෙන සහජ දක්ෂතාව වේදිකාව හරහා මැණිකක් ඔපමට්ටම් කරනවා වගේ ඔප මට්ටම් කරනවා. ඒ වගේම තමයි ඒ කට්ට කාලා ආවාම ඕනෑම අභියෝගයක් එක්ක එයාට ඉස්සරහට යන්න හැකියාව ලැබෙනවා. ඒක තමයි සාර්ථක වෙන්න හේතුව වෙන්නේ. මම හිතනවා මට ඒ වාසනාව හිමි වුණා කියලා. ඕනෑම ක්ෂේත්‍රයක වැඩ කරන්න දැනුම අවශ්‍යයි. විශේෂයෙන්ම මේ ක්ෂේත්‍රය ඇතුළේ දැනුම සහ බුද්ධිය නොතිබුණොත් අපිට වැඩි කල් රැඳී ඉන්න බැහැ.

මූල්‍යමය පැත්තෙන් ගත්තොත් ටෙලි නාට්‍යයකින් චිත්‍රපටයකින් ලැබෙන මුදල වේදිකා නාට්‍යයකින් අපිට ලැබෙන්නෙ නැහැ. නමුත් ඊට වඩා විශාල ආත්ම තෘප්තියක් වේදිකාව තුළින් අපට ලැබෙනවා. අපහසුතා ගැන කතා කළොත් අපට බොහෝ වෙලාවට පුහුණු වීම් කරන සුදුසු ස්ථානයක් සොයා ගන්න අපහසුයි. ඒ වගේම නාට්‍යවේදියකු දරන වියදමවත් නාට්‍යයක් පෙන්නලා ආවරණය කර ගන්න බැරි තත්ත්වයක් තිබෙනවා. ඒ නිසාම නාට්‍යවේදීන් නිර්මාණ කරන එක අතහරිනවා. මම හිතනවා වේදිකා නාට්‍ය නරඹන ප්‍රේක්ෂකයන් ප්‍රමාණය වැඩිවීමක් සිදු වෙනවා නම් ඒ ගැටලුවලට යම්කිසි පිළියමක් ලැබෙයි කියලා.

සම්මානිත රංගන ශිල්පිනියක් වෙන්න හිතාගෙනම තමයි මම මේ ක්ෂේත්‍රයට ආවේ. වේදිකාව තුළ මං යම් තරමක් දුර ආවා. තවත් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. මම දැන් පෙම්වතියක්, එයා ක්ෂේත්‍රයේ කෙනෙක් නොවෙයි. ව්‍යාපාරිකයෙක්. ඔහුගෙනුත් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඉතින් ඒ වගේම තව අවුරුදු දෙකක් ඇතුළත විවාහ වෙන්න හිතාගෙන ඉන්නවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.